
ප්රශාන්ත ඇල්පිටිය
ඒ අගෝස්තු මස 26 වැනිදාය. ක්රීඩා ලොවේ බහුතරයකගේ අවධානය යොමුවී තිබුණේ අමෙරිකා එක්සත් ජනපදයේ නෙවාඩා ප්රාන්තයේ පැරඩයිස් නගරයේ පිහිටි ටී. මොබයිල් සංකීර්ණයේ පැවැති සටනක් වෙතටයි. එය සුවිශේෂි බොක්සිං තරගයකි. එය බොක්සිං ක්රීඩා ඉතිහාසයේ වැඩිම මුදලක් පිරිනැමූ තරගයක් විය. එම නිසා එය හැඳින්වූයේ 'සල්ලි සටන' ලෙසටයි.
මෙහිදි තරග කළේ සුවිශේෂී තරගකරුවන් දෙදෙනෙකි. එහි විශේෂත්වයක් තිබිණි. එනම් එහිදී තරග කළේ ක්රීඩා දෙකක තරගකරුවන් දෙදෙනෙක් වීම නිසාය. ඔවුන් වූයේ අමෙරිකාවේ ෆ්ලොයිඩ් මේවෙදර් සහ අයර්ලන්තයේ කෝනර් මැක්ග්රෙගර්ය.
මේවෙදර් 40 හැවිරිදි බොක්සිං ශුරයෙකි. හෙතෙම බර පංති 05 කින් ලෝක ශූරතා 11 ක්ම හිමිකරගත් සුපිරිම ක්රීඩකයෙකි. ඔහුගේ ප්රතිවාදියා වූ කෝනර් 29 හැවිරිදිය. හෙතෙම අමෙරිකානු මිශ්ර ආත්මාරක්ෂක සටන් කලාවේ වත්මන් ලයිට්වේට් ලෝක ශූරයාය. ඔහු තරග කරන්නේ යූ. එෆ්. සී. හෙවත් අල්ටිමේට් ෆයිටින් ශූරතාවලියටයි.
මේවෙදර් මෙම සුවිශේෂි තරගයට එකඟ වූයේ ක්රීඩාවෙන් විශ්රාමගෙන දෙවසරක පමණ කාලයක් ගත වී තිබියදීය. එමෙන්ම කෝනර් වෘත්තීයමය බොක්සිං තරගයකට ඉදිරිපත් වූ ප්රථම වතාවත් මෙය විය. මේවෙදර්ට ද්විත්ව නාම පටබැඳී තිබිණි. ඒ මනි (සල්ලි) සහ ලස්සන කොල්ලාය. කෝනර්ට නොටෝරියස් හෙවත් නොසන්ඩාලයාය. මේවෙදර්ගේ උස අඩි 5 අඟල් 8 කි. කෝනර් අඩි 5 අඟල් 9 ක් උසැතිය.
තරගයට පෙර දෙදෙනාම කටමැත දෙඩූහ. "ඔහු (කෝනර්) මොනවා කිව්වත් මේ සටන නියමිත කාලය තෙක් යන්නේ නැහැ. ඔහුව මම නොක්අවුට් කරනවා." මේවෙදර් එසේ පැවසීය.
කෝනර්ගේ මතය මෙසේ විය. "ඔහුව (මේවෙදර්) නොක්අවුට් කරනවා කියලා මට විශ්වාසයි. ඒ ඇයි කියලා කියනවා නම් මුල් වටයේ සිටම මම වේගවත්ව ක්රීඩා කරන නිසා."
මෙම තරගය ලොව පුරා රටවල් 200 ක පමණ සජීවිව විකාශය කරන ලදි. ඒ රූපවාහිනිය සහ අන්තර්ජාලය ඔස්සේය.
තරගය ඇරැඹිණි. කෝනර් පෙර සඳහන් කළ පරිදිම ඔහු මුල් වටවලදී වේගවත්ව ක්රීඩා කළේය. එහෙත් තරගයේ වට කිහිපයක් ගත වන විට කෝනර් වෙහෙසට පත් විය. අත්දැකීම් බහුල මේවෙදර් ක්රියාත්මක වූයේ එතැන් සිටය.
අවසානයේදී අවසන් සහ 10 වන වටය නිමාවීමට පෙර තරගය නතර කර දැමීමට ප්රධාන තීරක රොබට් බයර්ඩ් තීරණය කළේය. එවිට ලකුණු ලබා ගැනීම අනුව මේවෙදර් ඉදිරියන් සිටියේය. ඒ ලකුණු 89 - 81, 89 - 82 ක් සහ 87 - 83 ක් වශයෙනි.
"ඔහු (කෝනර්) මම හිතුවාට වඩා හුඟාක් දක්ෂයි. ඒ වුණත් මම තමයි වඩා දක්ෂ මිනිහා." මේවෙදර් සිය ජයග්රහණයෙන් පසුව පැවසීය. "මම නම් හිතන්නේ මේ තරගය ළඟින් ගියා කියලයි. ඒ වගේම තරගය ටිකක් කලින් නැවැත්තුවා කියලත් හිතෙනවා." කෝනර් එසේ පැවසීය.
මෙම තරගය පැවැති ස්ථානයේ 20,000 කට පමණ පිරිසකට අසුන්ගත හැකිය. එහෙත් සිටියේ 14,623 ක් පමණි. මීට හේතු වී තිබෙන්නේ ප්රවේශ පත් මිල අධික වීමයි. කෙසේ හෝ තරගයට සහභාගි විම වෙනුවෙන් මේවෙදර්ට අමෙරිකානු ඩොලර් මිලියන සියයක පමණ මුදලකුත් කෝනර්ට මිලියන 30 ක පමණ මුදලකුත් හිමි වේ. නමුත් මේ මුදල් ප්රමාණය තවත් වැඩිවනු ඇත.
"මොනවා වුණත් මෙය මගේ අවසන් සටනයි." මේ වෙදර් තරගයට පෙර පවසා තිබිණි. මෙම ජයග්රහණය ඔහුට සුවිශේෂිතය. ඒ සිය වෘත්තීයමය තරග දිවියේදී ඔහුගේ 50 වැනි තරගයත් මෙය වීම නිසාය. එමෙන්ම ඔහු එක් තරගයක් හෝ පරාජය නොවූ අපරාජිතයෙකි. වෘත්තීයමය බොක්සිං තරගවලදී එවැනි දස්කමක් කිසිදු බොක්සිං ශූරයකුට දැක්වීමට හැකි වී නැත. මින් නොක් අවුට් ජයග්රහණ 27 කි. මේවෙදර් වෘත්තීයමය බොක්සිං ක්රීඩකයකු බවට පත්වූයේ 1996 ඇට්ලන්ටා ඔලිම්පික් ක්රීඩා උළෙලේදී ෆෙදර්වේට් අංශයෙන් ලෝකඩ පදක්කමක් දිනා ගැනීමෙන් පසුවයි. හෙතෙම 1977 වසරේ පෙබරවාරි මස 24 වැනිදා උපත ලැබීය.
1988 වසරේ ජූලි මස 14 වැනිදා උපත ලැබූ කෝනර් වෘත්තීයමය ලෙස ක්රීඩා කරන්නේ 2008 වසරේ සිටයි. ඔහු මේ වන විට මිශ්ර ආත්මාරක්ෂක සටන් තරග 24 කට සහභාගි වී තිබේ. එහිදී ජයග්රහණ 21 කි. මින් නොක්අවුට් ජයග්රහණ 18 කි. පරාජයන් 3 කි. ලෝක ශූරතා දෙකකි.
මේවෙදර් සහ කෝනර් සටන නැරැඹීමෙන් පසුව ඒ පිළිබඳ හිටපු සුපිරි ක්රීඩා තරු ත්රිත්වයක්ම ඔවුනගේ මතයන් දක්වා තිබුණාහ.
"කෝනර් මැක්ග්රෙගර් පුදුමාකාර තරගකරුවෙක්. මේවෙදර්ට 50 - 0. සුබපැතුම්." අමෙරිකන් පිහිනුම් ශූර මයිකල් පෙල්ප්ස්.
"මැක්ග්රෙගර්ට ගෞරවය පුද කරනවා මෙවැනි අවස්ථාවක් ලබා ගැනීම ගැන. මේවෙදර්ට සුබ පැතුම්." පිලිපීන බොක්සිං ශූර මැනි පැකියාවෝ.
"විශිෂ්ට සටනක්. දෙදෙනාටම සුබපැතුම්." අමෙරිකන් බොක්සිං ශූර ජෝර්ජ් ෆෝමන්.
බොක්සිං ක්රීඩා ඉතිහාසයේ වැඩිම මුදල් ප්රමාණයක් පිරිනැමූ තරග කිහිපයක්ම තිබේ. මින් වැඩි ප්රමාණයකට මේවෙදර් දායක වී තිබේ. එමෙන්ම එම තරග ජයගැනීමටත් ඔහුට හැකි වී ඇත.










