
ලාංකේය පාපන්දු ක්ෂේත්‍රයේ සුපිරි තරු එකිනෙකා ගැටෙන ප්‍රධානම පාපන්දු තරගාවලිය වන ඩයලොග් චැම්පියන්ස් ලීග් පාපන්දු තරගාවලිය ඊයේ (02 දා) සුපර්සන් සහ බ්ලූ ස්ටාර් අතර තරගයෙන් ආරම්භ විය. අද ඉතිරි කණ්ඩායම් දහසයම තරගබිමට පිවිසීමට නියමිතය.
පසුගිය වසරේ ලීග් ශූරයන් වූ කොළඹ කණ්ඩායම, මොරගස්මුල්ල කණ්ඩායම සමඟ කොළඹදී තරග කරයි. කොළඹ කණ්ඩායම පසුගිය වසර දෙකේදීම අඛණ්ඩව ශූරයන් වීමට සමත් වූ අතර, රිනවුන් කණ්ඩායම එම තරගාවලි දෙකේදීම අනුශූරයන් වීමද විශේෂත්වයකි.
රිනවුන් කණ්ඩායම මෙවර සිය පළමු තරගයට එක්වන්නේ මෙකී තරග ඉතිහාසයේ වැඩිම වතාවක් ශූරයන් බවට පත්ව සිටින සෝන්ඩර්ස් කණ්ඩායම සමඟය. සෝන්ඩර්ස් කණ්ඩායම 12 වතාවක් ශූරයන් බවට පත්ව තිබේ. 1985 - 86 - 87 තරගාවලිය ආරම්භයේ පටන් අඛණ්ඩව ශූරයන් වූ සෝන්ඩර්ස් කණ්ඩායම අවසන් වරට 2004 දී ශූරයන් වීමට සමත්ව තිබේ. සෝන්ඩර්ස් කණ්ඩායමට අමතරව රත්නම් පස්වතාවක්, රිනවුන් සිවුවතාවක්, නිගම්බු යූත් සහ කොළඹ කණ්ඩායම දෙවතාව බැගින් ශූරයන් වීමට සමත්ව ඇත.
සුපර් සන්, බ්ලූ ස්ටාර්, කොළඹ, මොරගස්මුල්ල, පෙලිකන්ස්, ශ්‍රී ලංකා පොලිසිය, අප්කන්ට්‍රි ලයන්ස්, මාතර, ජාවාලේන්, ක්‍රිස්ටල් පැලස්, රිනවුන්, සෝන්ඩර්ස්, නිගම්බු යූත්, ශ්‍රී ලංකා යුද හමුදාව, සොලිඩ්, නිව් යංග්ස්, ශ්‍රී ලංකා නාවික සහ ශ්‍රී ලංකා ගුවන් හමුදා කණ්ඩායම් මෙවර තරගාවලියට එක්ව සිටියි. සෑම සති අන්තයකම තරග පැවැත්වීමට නියමිත අතර, තරග 150 කට අධික සංඛ්‍යාවක් මෙහිදී පැවැත්වේ. එකී තරග දෙසැම්බර් දෙවැනි සතිය දක්වා පැවැත්වීමට නියමිතය. එක් කණ්ඩායමකට විදේශ ක්‍රීඩකයන් තිදෙනකු බැගින් සහභාගි කරවීමට අවස්ථාව ලබාදී ඇති අතර, තිස් දෙනකුගෙන් සමන්විත සංචිතවලට වයස අවුරුදු 22 ට අඩු ක්‍රීඩකයන් හය දෙනකු ඇතුළත් කිරීම අනිවාර්ය කර තිබීම විශේෂත්වයකි.










