ක්‍රීඩාව ගැන දැනුම තියෙන නිලධාරීන් හිඟවීම ලොකු පාඩුවක් ක්‍රීඩා ඇමැති | සිළුමිණ

ක්‍රීඩාව ගැන දැනුම තියෙන නිලධාරීන් හිඟවීම ලොකු පාඩුවක් ක්‍රීඩා ඇමැති

බොහෝ ජාතික ක්‍රීඩා සංගම්, සම්මේලනවලට ක්‍රීඩා සැලසුම් කිරීම ගැන දැනුම තියෙන නිලධාරින් හිඟවීම ලාංකේය ක්‍රීඩාවේ අභාග්‍යයට බෙහෙවින් ම බලපා ඇති බව දයාසිරි ජයසේකර ඇමැතිවරයා පවසයි. ඇමැතිවරයා මේ බව ප්‍රකාශ කළේ වොලිබෝල් ක්‍රීඩාවේ තෙවැනි ජාතික සමුළුවට එක්වූ අවස්ථාවේදීය.

ලාංකේය ක්‍රීඩාවේ පසුබැස්මට මූලික හේතුව දීර්ඝ කාලීන සැලසුම් ජාතික සංගම් සහ සම්මේලනවලට නොමැති බවත් තමා අමාත්‍යවරයා ලෙස ක්‍රීඩා සංගම් ප්‍රධානීන්ට පස් අවුරුදු සැලසුමක් ඉදිරිපත් කරන ලෙස පැවැසුවද මේ දක්වා ඊට ප්‍රතිචාර දක්වා ඇත්තේ සංගම් කිහිපයක් බවද එහිදී වැඩිදුරටත් පැවැසීය.

ජාත්‍යන්තරයේ පසුබෑමකට ලක්ව තිබෙන වොලිබෝල් ක්‍රීඩාව, සිවු අවුරුදු සැලසුමක් මඟින් පෙරට ගෙන ඉදිරි දෙවසර තුළ ආසියාවේ පළමු අට දෙනාට අතරට සහ සිවුවසර අවසානයේ ආසියාවේ පළමු සිවුදෙනා අතරට ගෙනඒමත් ප්‍රධාන ඉලක්කය ලෙස හඳුනාගෙන තිබේ.

වසර සියයක ඉතිහාසයක් පුරා දිවෙන ලාංකේය වොලිබෝල් ක්‍රීඩාවේ පළමු ජාතික සමුළුව චරිත රත්වත්ත සහ දෙවැන්න ඩිලාන් පෙරේරා මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් මීට පෙර පවත්වා තිබේ. මෙවර සමුළුව වොලිබෝල් සම්මේලන සභාපති රංජිත් සියඹලාපිටිය අමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් පැවැති අතර, මෙහිදී ඉදිරිපත් වු කරුණු, නිර්දේශ විශේෂ කමිටුවක් මගින් අධ්‍යයනයකර අවසන් සැලසුම මෙම මස මුල් සතියේදී ක්‍රීඩා අමාත්‍යවරයාට ලබා දීමට නියමිතය.

Comments