
ප්‍රශාන්ත ඇල්පිටිය
සිවුවැනි වරටත් ආසියානු කලාපයේ වොලිබෝල් ශූරියන් බවට පත්වීමට ජපානය සමත් විය. ඒ පිලිපීනයේදී පැවැති 2017 ආසියානු කාන්තා වොලිබෝල් ශූරතාවලිය ජය ගනිමිනි. මෙවර අවසන් මහා තරගයේදී ජපානය තරග වට 3 - 2 කින් තායිලන්තය පරාජය කළේය. ඒ ලකුණු 26 - 28, 20 - 25, 25 - 16, 25 - 16, 15 - 7 ක් වශයෙනි. එහිදී ශ්‍රී ලංකාවට 13 වැනි තැන හිමිවිය.
මෙවර පැවැත්වූයේ 19 වැනි ශූරතාවලියයි. එය සුපුරුදු පරිදි ආසියානු වොලිබෝල් සම්මේලනය විසින් සංවිධානය කරනු ලැබීය. ඊට ආසියානු සහ ඔෂේනියා කලාපයන් නියෝජනය කරමින් රටවල් 14 ක් සහභාගි විය. මෙම ශූරතාවලිය මුල්වරට පැවැත්වූයේ 1975 වසරේදීය. එය මුලින්ම සිවු වසරකට වරක් පැවැත්විය. නමුත් 1987 වසරේ සිට එය දෙවසරකට වරක් පැවැත්වෙයි.
මෙහි ඇති විශේෂත්වය නම් තවමත් මෙම ශූරතාව හිමිකර ගැනීමට සමත් වී තිබෙන්නේ රටවල් ත්‍රිත්වයක් පමණක් වීම නිසාය. ඒ චීනය, ජපානය සහ තායිලන්තයයි. මින් චීනයට ශූරතා 13 කි. අනුශූරතා තුනකි. ජපානයට ශූරතා සතරකි. ඒ 1975, 83, 2007 සහ මේ වසරේදීය. ඔවුනට අනුශූරතා 07 කි. තායිලන්තය ශූරියන් වූයේ 2009 සහ 13 දීය. මේ අතර දකුණු කොරියාවට අනුශූරතා 07 කි. කසක්ස්තානයට 2005 දී අනුශූරතාවයකි.
2017 ආසියානු කාන්තා වොලිබෝල් ශූරතාවලිය අගෝස්තු 09 සිට 17 දක්වා පැවැත්විය. ඒ පිලිපීනයේ මැනිලා සහ ලාගුනා නුවරවලදීය. මෙවර සහභාගි වූ රටවල් මුල් වටයේදී කාණ්ඩයන් සතරක් යටතේ තරග කරන ලදී.
එහිදී ශ්‍රී ලංකාව අයත් වුයේ 'සි' කාණ්ඩයටයි. මුල් වටයේදී ශ්‍රී ලංකාව සහභාගි වූ තරග ත්‍රිත්වයම පරාජයට පත් විය. ඒ වියට්නාමයට 3 - 0, දකුණු කොරියාවට 3 - 0 සහ නවසීලන්තය හමුවේ 3 - 1 ක් ලෙසිනි. දෙවන වටයේදී ශ්‍රී ලංකාව තරග වට 3 - 2 කින් හොංකොං පරාජය කිරීමට සමත් වුවත් තවදුරටත් ඉදිරියට යාමට හැකි වූයේ නැත. අවසානයේදී 13 වැනි තැන තේරීමේ තරගයට සහභාගි වූ ශ්‍රී ලංකා ක්‍රීඩිකාවෝ තරග වට 3 - 0 කින් මාලදිවයින පරාජය කළහ.
ශ්‍රී ලංකාව මෙම ශූරතාවලියට සහභාගි වන්නේ 1991 වසරේ සිටය. ශ්‍රී ලංකාවේ දස්කම් මෙසේය. 1991 - 12 වැනි තැන, 1993 – 14, 2001 - 09, 2007 - 10, 2009 - 14, 2011 - 12, 2013 - 15, 2015 - 14, 2017 - 13 වැනි තැන.
මේ අතර මෙවර ශූරතාවලියේ අවසන් පූර්ව තරග ප්‍රතිඵල මෙසේය. ජපානය වට 3 - 0 කින් චීනය පැරදවිය, තායිලන්තයට තරග වට 3 - 0 ක ජය දකුණු කොරියාව හමුවේදීය. තෙවැනි තැන තේරීමේදී දකුණු කොරියාව වට 3 - 0 කින් චීනය පරාජය කළේය.
මෙවර ශූරතාවලියේ වටිනාම ක්‍රීඩිකාව බවට පත්වූයේ ජපානයේ රිසා ෂිනාබේය. ඇය 27 හැවිරිදිය. ඇගේ උස අඩි 5 අඟල් 8 කි. මේ වන විට රිසා නියෝජනය කරන්නේ හිසාමිට්සු ස්ප්‍රිංග්ස් කණ්ඩායමයි. ඇය 2012 ලන්ඩන් ඔලිම්පික් ක්‍රීඩා උළෙලේ ලෝකඩ, 2014 ලෝක ග්‍රෝන් ප්‍රී තරගාවලියේ රිදී සහ 2011 ආසියානු ශූරතාවලියේ රිදී පදක්කම් හිමිකරගත් ජපන් කණ්ඩායම්වලත් සාමාජිකාවකි.










