ලලනාවන්ගේ රග්බි කිරුළ පස්වැනි වරටත් නවසීලන්තයට... | සිළුමිණ

ලලනාවන්ගේ රග්බි කිරුළ පස්වැනි වරටත් නවසීලන්තයට...

ප්‍රශාන්ත ඇල්පිටිය

පිරිමින් මෙන්ම වත්මන් කාන්තා රග්බි ක්‍රීඩාවේ ආධිපත්‍යය තමන් සතු බව සනාථ කරමින් පස්වැනි වරටත් කාන්තා රග්බි කිරුළ තමන් සතුකර ගැනීමට නවසීලන්තය ඉකුත් සති අන්තයේදී සමත් විය.

ඒ 2017 කාන්තා රග්බි ලෝක කුසලාන ශූරතාවලියේ අවසන් මහා තරගයේදී ගියවර ශූරියන් වූ එංගලන්තය පරාජය කරමිනි. උතුරු අයර්ලන්තයේ බෙල්ෆාස්ට් නුවර කිංග්ස්පැන් ක්‍රීඩාංගණයේදී පැවැති මෙවර අවසන් තරගයේදී නවසීලන්තය ජය ගත්තේ ලකුණු 41 - 32 කිනි. මෙවර තරගාවලියේ එකම අපරාජිත රට වූයේත් නවසීලන්තයයි. එංගලන්තය පරාජය වූ එකම තරගයත් මෙම අවසන් තරගය විය.

නවසීලන්තය කාන්තා රග්බි ලෝක ශූරතාව මීට පෙර 1998, 2002, 2006 සහ 2010 වසරවලදී හිමිකර ගෙන තිබුණි. මින් අවස්ථා තුනකදීම එංගලන්තය අනුශූරියන් වූහ. කෙසේ වෙතත් 2014 වසරේ පැවැති ලෝක කුසලාන තරගාවලියේදී මුල් ස්ථාන සතරට තේරීමට නවසීලන්තයට හැකි වූයේ නැත.

මෙවර පැවැත්වූයේ අටවැනි කාන්තා ලෝක කුසලාන තරගාවලියයි. එංගලන්තය අනුශූරියන් වූ 05 වන අවස්ථාවත් මෙය වේ. ඒ 1991, 2002, 06, 10 සහ 17 වසරවලදීය. මේ අතර ඔවුන් 1994 සහ 2014 වසරවල ලෝක ශූරියෝ වෙති.

මෙවර තරගාවලියට රටවල් 12 ක් සහභාගි විය. මුල් වටයේදී එම රටවල් කාණ්ඩයන් තුනක් යටතේ තරග කළේය. එහිදී නවසීලන්තය, එංගලන්තය සහ ප්‍රංශය ඔවුන් සහභාගි වූ සියලුම තරග (03) ජය ගත්හ. මේ අතර හොංකොං, ඉතාලිය සහ ජපානය තරග 03 බැගින් පරාජය විය.

මුල් වටයේදී දැවැන්ත ජයග්‍රහණ ලැබූ තරග කිහිපයක් මෙසේය.

නවසීලන්තය 121 - 00 හොංකොං

කැනඩාව 98 - 00 හොංකොං

ප්‍රංශය 72 - 14 ජපානය

එංගලන්තය 56 - 05 ස්පාඤ්ඤය

ප්‍රංශය 48 - 00 ඔස්ට්‍රේලියාව

අමෙරිකාව 43 - 00 ස්පාඤ්ඤය

 

මුල් වටයේ දස්කම් අනුව අවසන් පූර්ව වටයට සුදුසුකම් ලැබුවේ නවසීලන්තය, එංගලන්තය, ප්‍රංශය සහ අමෙරිකාවයි. අවසන් පූර්ව ප්‍රතිඵල මෙසේය.

නවසීලන්තය 45 - 12 අමෙරිකාව

එංගලන්තය 20 - 03 ප්‍රංශය

මෙවර තෙවැනි ස්ථානය තේරීමේ තරගයේදී ප්‍රංශය 31 - 23 කින් අමෙරිකාව පරාජය කළේය. 05 වැනි තැන කැනඩාව හිමිකර ගත්තේ 43 - 12 කින් ඔස්ට්‍රේලියාව පරාජය කරමිනි. 07 වැනි තැන මෙවර වේල්සයටයි. ඒ 27 - 17 ක ජයක් අයර්ලන්තය හමුවේ ලැබීමෙනි. 20 - 15 කින් ස්පාඤ්ඤය පරාජය කළ ඉතාලියට 09 වැනි තැනය. මේ අතර ආසියානු සටනින් 44 - 05 ක ජයක් ලැබූ ජපානයට 11 වැනි තැනය. ප්‍රථම වරට රග්බි කාන්තා ලෝක කුසලානයට සහභාගිවූ හොංකොංට අවසන් ස්ථානයයි.

නවසීලන්තයේ මුල් වටයේ දස්කම් මෙසේය.

නවසීලන්තය 44 - 12 වේල්සය

නවසීලන්තය 121 - 00 හොංකොං

නවසීලන්තය 48 - 05 කැනඩාව

මෙවර අනුශූරියන් වූ එංගලන්තය මුල් වටයේ මෙසේ දස්කම් දැක්වීය.

එංගලන්තය 56 - 05 ස්පාඤ්ඤය

එංගලන්තය 56 - 13 ඉතාලිය

එංගලන්තය 47 - 36 අමෙරිකාව

 

Comments