ඇන්ඩ්‍රොයිඩ් දුරකථනයේ සිංහලෙන් කියන දේවල් ටයිප් වෙනවා | Page 2 | සිළුමිණ

ඇන්ඩ්‍රොයිඩ් දුරකථනයේ සිංහලෙන් කියන දේවල් ටයිප් වෙනවා

මෙතෙක් කල් දුරකථනය හරහා අපිට වචනයෙන් කියන දේවල් ඉංග්‍රීසි භාෂාව හරහා පමණක් ටයිප් කිරීමේ අවකාශය තිබුණත් මෑතකදී ගූග්ල් සමාගම සිංහල වොයිස් ටයිපිං හෙවත් සිංහල බසින් අපි පවසන දේවල් ස්වයංක්‍රීයව ටයිප් වන ආකාරයේ පහසුකමක් සලසා දුන්නා. ඒ හින්දි, මරාති, නේපාලි සහ ශ්‍රී ලංකාවේ භාවිතා වන දෙමළ ඇතුළු තවත් භාෂා තිහක් සමගයි. මේ සඳහා ඔවුන් ලොව වටා සිටින එම භාෂාවන් කතා කරන අයගේ සහයෝගය ලබාගෙන ඇති අතර ඔවුන්ගේ යාන්ත්‍රික ඉගෙනුම් ඇල්ගොරිතමවලට එම වචන හඳුනා ගැනීමේ හැකියාව දැන් තිබෙනවා. මුදාහැරීමෙන් පසු අප භාවිත කිරීමේදීද දත්ත එක් රැස් කරගන්නා නිසා ඉන් තවදුරටත් වචන හඳුනාගැනීම සඳහා ඊට හැකියාව ලැබෙනවා.

ගූගල් සමාගම අපේ එදිනෙදා වැඩ කටයුතුවලට බෙහෙවින් සමීප ආයතනයක්. ජීමේල්, ගූග්ල් ඩොක්ස් ලිපි ගොනු, සිතියම්, ඡායාරූප සහ බ්ලොග් කටයුතු ආදි බොහෝ දේ සඳහා ඔවුන්ගේ නිෂ්පාදන හැම කෙනෙක් ම නිතර භාවිතා කරනවා. දැන් මේ පහසුකම ඔවුන් හඳුන්වා දෙන්නේ ඔවුන්ගේ ම කීබෝඩ් ඇප් එකක් වන Gboard ඇප් එකට සමගාමීව යි. ඇන්ඩ්‍රොයිඩ් කියන්නේ ගූගල් සමාගමට අයිති මෙහෙයුම් පද්ධතියක් වුවත් එය ඇත්තටම මුලින්ම හඳුන්වා දුන්නේ 2016 මැයි මාසයේදී ඇපල් දුරකතන සඳහා වන අතර එසේ කරන ලද්දේ හුදෙක් එහි අත්හදා බැලීම් සිදු කරගැනීම උදෙසා යි. පසුව එම වසරේම දෙසැම්බර් මාසයේදී ඇන්ඩ්‍රොයිඩ් සඳහා මෙය ලැබුණා. දැන් ගූග්ල් සමාගම විසින් නිපදවන දුරකථනවල පෙරනිමි කීබෝඩ් එක ලෙස එය භාවිත වන අතර, අනෙකුත් දුරකථනවලට ද Play Store එක හරහා එය ස්ථාපනය කරගත හැකියි.

ඒ සඳහා ඔබ කළ යුත්තේ ප්ලේ ස්ටෝර් එක වෙත ගොස් 'Gboard' ලෙස සර්ච් කිරීමයි. එවිට නිල් පැහැති කී බෝඩ් එකක් මත ගූග්ල් ලාංඡනය වන ‘G’ අකුර ඇති අයිකනයක් සහිත ඇප් එකක් දක්නට ලැබේවි. එය තෝරාගත් විට ලැබෙන තිරයේ තිබෙන ඉන්ස්ටෝල් (Install) බොත්තම මත ක්ලික් කරන්න. විනාඩි කිහිපයක් ඇතුළත එය බාගත වී ඔබේ දුරකථනයට ලැබේවි. දැන් එම තිරයේ ම දකින්නට ලැබෙන Open යන බොත්තම මත click කරන්න. එවිට ඔබට එහි සැකසීම් විවෘත වෙනවා. ඔබ මේ වන විටත් එය ස්ථාපනය කරගෙන ඇත්නම් කීබෝඩ් එකේ වම්පස ඉහළ ඇති G අකුර මත ක්ලික් කර; එවිට ලැබෙන සැකසුම් දැති රෝදය මත ක්ලික් කිරීමෙන් ද සැකසුම් වෙත යන්නට පුළුවන්. දැන් සැකසුම් අතර ඇති Voice typing යන්න තෝරාගන්න. එහි භාෂා ලයිස්තුවක් දකින්නට ලැබෙන අතර එහි පහළට වන්නට ඇති ‘සිංහල’ යන්න තෝරා ගන්න. දැන් back කර (පසුපසට ඇවිත්) සැකසුම්වල ඉහළින් ම ඇති ‘Languages’ මෙනු අයිතමය තෝරා ඉන් ‘Sinhala (Sri Lanka)’ යන්න ඉදිරියෙන් ඇති ස්විචය සක්‍රීය කරන්න. එය සක්‍රීය වී නැත්නම් හෝ අළු පැහැ ගැන්වී ඇත්නම් එම පිටුවේ ම ඉතා ඉහළින් ඇති use system language යන ස්විචය අක්‍රිය කරන්න. එවිට පහතින් ඇති සියලු භාෂා සක්‍රීය වන අතර ඔබට අවශ්‍ය භාෂාව තෝරා ගත හැකි යි. ඊළඟට කරන්නට තිබෙන්නේ ඔබට ටයිප් කිරීමට අවශ්‍ය ඕනෑම යෙදුමක් වෙත ගොස් ටයිප් කිරීම සඳහා Gboard එක තෝරා ගෙන ඉහළ ඇති මයික්‍රොෆෝන අයිකනය මත ක්ලික් කිරීමයි. දැන් ඔබට, ඔබ කියන ඕනෑම දෙයක් ඒ ලවා ටයිප් කරවා ගත හැකියි. ඇතැම් ටැබ් පරිගණකවල සහ දුරකථනවල මෙම ‘සිංහල’ යන්න නො පෙන්වන අතර ඉදිරි කාලයේ දී ඒවාට ද සිංහල බස ලැබෙනු ඇතැයි අපේක්ෂා කරන්නට පුළුවන්.

Gboard යතුරු පුවරුවේ මීට අමතර ව විශේෂාංග රැසක් තිබෙනවා. ඒවා අතර ටයිප් කරන අතරතුරදීම ගූගල් සෙවුමක් කරගත හැකි වීම, ටයිප් කරද්දී ටයිප් කරන වචනය සඳහා යෝජනා ඉදිරිපත් වීම මෙන්ම ඊළඟ ටයිප් කිරීමට උත්සාහ කරන වචනය සඳහා ද යෝජනා ලබාදීම මෙහි විශේෂාංග වෙනවා. ඉංග්‍රීසි භාෂාව ඇතුළුව තවත් භාෂා සියයක පමණ සහයෝගය ලබාදී ඇති නිසා ලොව වටා බොහෝ දෙනෙක් මෙම භාවිත කිරීමට පෙලඹී තිබෙනවා. මෙහි තිබෙන ඩික්ෂනරිය ඔබේ google ගිණුමට සම්බන්ධ වී ඇති නිසා ඔබ ටයිප් කරන නව වචන (නම් ගම් ආදිය) හඳුනාගෙන, ඒවා එහි ගබඩා කරගැනීමට සමත් වන අතර පසු කාලීනව භාවිත කිරීමේදී එම වචන යොදාගනිමින් වචන යෝජනා ඉදිරිපත් කිරීම සිදු කරනු ලබනවා.

සාමාන්‍යයෙන් දහසක් පමණ වූ emoji අතරින් අපිට අවශ්‍ය එක තොරාගැනීම බොහෝ අපහසු කර්තව්‍යයක් වෙන්නට පුළුවන් එහෙත් මෙම ඇප් එක හරහා search කිරීමෙන් මෙන් ම හැඩය ඇඳ දැක්වීමෙන් වුවද emoji සොයාගන්න පුළුවන්. චලනය වන ඡායාරූප හෙවත් GIF ඡායාරූපය ඔබට මේ හරහා සොයා ගත හැකියි. හැබැයි ඒවා නම් භාවිතා කළ හැකි වන්නේ ඊට සහාය දක්වන ඇප්ස්වලදී පමණයි. ඔබට අවශ්‍ය නම් යතුරු පුවරුවේ පසුබිම ඔබ කැමති ඔබ කැමති ඡායාරූපයකට වෙනස් කර ගැනීමට හෝ ඔවුන් ලබා දී ඇති තේමාවකට අනුව සකසා ගැනීමටද සැකසුම් හරහා අවස්ථාව ලබා දී තිබෙනවා. ඉංග්‍රීසි භාෂාව සඳහා නම් ග්ලයිඩ් ටයිපිං හෙවත් ඇඟිල්ල අකුරු අතර පිරිමැදීමෙන් ටයිප් කර ගැනීමේ අපූරු හැකියාවක් ද ලබාදී තිබෙනවා. එහිදී ඔබ ඇඟිල්ල තද කරගෙන ඇදගෙන යද්දී එම අකුරු හඳුනා ගනිමින් ඒවායෙන් වචන සකසා ගන්නට එය සමත් වෙනවා. සිංහල විජේසේකර යතුරු පුවරුව තවමත් ජීබෝඩ් එකට ලබා දී නැති නිසා මෙම ක්‍රමය නම් භාවිතා කිරීමට අපට තවම අවස්ථාවක් නැහැ.

මේ නව භාෂා හඳුනාගැනීමට සමගාමීව ඉංග්‍රීසි බසින් emoji වල නම් කියූ විට ඒවා ටයිප් කරන ආකාරයට ද දැන් මෙය සකසා තිබෙනවා. ඒ අනුව winky face emoji ලෙස කථනයෙන් කියූ විට ඇසක් ඉඟි මැරු ඉමෝජි එක ටයිප් කරන්නට එය සමත් වෙනවා. මේ පහසුකම අනෙකුත් භාෂාවලටද ලබාදෙන බවයි මෙය හඳුන්වා දීම සඳහා ඔවුන් තැබූ බ්ලොග් සටහනින් සඳහන් කරන්නේ.

ඇත්තෙන්ම ජීබෝඩ් සඳහා භාවිතා වන්නේ ද Google Voice Typing නමැති දැනටමත් තිබෙන යතුරු පුවරුව හරහායි. එසේ ම ගූග්ල් සමාගම මේ සිංහල කථන තාක්ෂණය මෘදුකාංග සංවර්ධකයන්ට ලබා දී ඇති නිසා හෙළකුරු ඇප් එක මගින් ද එය භාවිතා කරමින් සිංහල කථනයන් ලබා දී තිබෙනවා. ඔවුන් ද සිංහල භාෂාව හඳුනාගැනීම සඳහා ගූග්ල් සමාගමට වචන 100කට වඩා ලබාදෙමින් සහාය වී ඇති බව දැනගන්නට ලැබෙනවා. මේ විශේෂාංගය භාවිතා කිරීම සඳහා අන්තර්ජාල පහසුකම අනිවාර්යයෙන් ම තිබිය යුතු නමුත් ඕනෑම කෙනකුගේ කටහඬ හඳුනාගන්නට ගූග්ල් සමාගමේ මේ ඇල්ගොරිතමවලට පුළුවන්. කොටින්ම කියනවා නම් ඉතා සුළු සුළු වැරදි සැකසීම සඳහා භෞතික යතුරු පුවරුව භාවිත කළා මිස මෙම ලිපිය සම්පූර්ණයෙන්ම පාහේ රචනා කරන ලද්දේ මේ තාක්ෂණය භාවිත කරමින් බව කීමට සතුටු යි.

තඹරු විජේසේකර

Comments