
මහාචාර්ය සඳගෝමි කෝපරහේවා
පාඨක අවධානය තමා වෙත රඳවා ගැනීමට සමත් සංස්කෘත පද බහුල මිශ්‍ර සිංහල ශෛලියකින් ලේඛනයේ යෙදුණු හේමපාල මුනිදාස මහතා, මෙරට පාඨකයන් අතර වඩාත් ප්‍රසිද්ධියට පත් වන්නට වූයේ පුවත්පත් කලාවේදියකු වශයෙනි.
ලංකාවේ ඉංග්‍රීසි පාලන සමයේ දී මෙන් ම, නිදහස ලැබීමෙන් පසුව ද සිංහල ජනතාව අතර ජාතිකත්වය, භාෂා සාහිත්‍ය ඇල්ම, දේශපාලන අවබෝධය ඇති කරලීම සඳහා දායක වූ ප්‍රවෘත්ති පත්‍ර කීපයක ප්‍රධාන කර්තෘවරයා වීමෙන් ද, අලුතින් පුවත්පත් ආරම්භ කිරීමට පුරෝගාමි වූ පත්‍ර කලාවේදියකු වශයෙන් ද, තමාට ම ආවේණික වූ සුවිශේෂ ලේඛන ශෛලියකින් තීරු ලිපි, කතුවැකි මෙන් ම ප්‍රබන්ධ කථා රචනා කළ ව්‍යක්ත ලේඛකයකු වශයෙන් ද කීර්තියක් දිනාගත් හේමපාල මුනිදාස මහතා, සිංහල පුවත්පත් ඉතිහාසයේ අමරණීය නාමයක් ඇති කර ගනිමින් සිංහල පාඨක ලෝකයේ ගෞරවයට පාත්‍ර වූ පත්‍ර කර්තෘවරයෙකි.
වැලිමඩට නුදුරු අඹගස්දෝව නම් ගම් පියසේ දී වර්ෂ 1903 ජූනි මස 22 වනදා මෙලොව උපත ලැබූ හේමපාල මුනිදාස මහතා, අකුරු ඉගෙනීම ඇරැඹුවේ බුස්දුලීල ගමේ වැස්ලියන් සමාගමට අයත් පාසලෙනි. එම පාසලේ සවන පන්තිය දක්වා ඉගෙනීම සිදු කොට, පසුව පාසල් යෑම අත්හැර දමා, සිංහල, පාලි, ඉංග්‍රිසි භාෂා පිළිබඳව අවබෝධයක් ලබා සිටි කරෝලිස් අප්පුහාමි සිය පියාණන් වෙතින් ඉංග්‍රීසි භාෂාව පිළිබඳ මූලික දැනුමක් ලබා ගත්තේ ය. පාසල් යෑම අතරමඟ නතර කොට නිවෙසෙහි රැඳී සිටි කාලයේ දී සිය පියාණන් විසින් රැස්කොට තුබූ ‘සරසවි සඳරැස’, ‘සිංහල බෞද්ධයා’ යන පුවත්පත් පරිශීලනය කිරීමේ අවස්ථාව ද හේමපාල මුනිදාසට ලැබිණ. තුදුස්වන වියේ දී පමණ තම මිතුරකු සමඟ දෙගුරුන්ගේ ද අවසරයක් නොමැතිව ගෙදරින් නික්ම ගොස්, හල්දුම්මුල්ලේ උඩුවේරිය වත්තක නැවතුණේ ය. ‘ඌව ප්‍රාන්තය’ යන සිරස්තලය යටතේ පුවත්පතකට ප්‍රථම වරට ලිපියක් මෙතුමා සපයා ඇත්තේ ද මේ කාලයේ දී ය. පසුව නැවත නිෙවසට පැමිණි මොහු, ඒ වන විට මුද්‍රණයෙන් ප්‍රකාශයට පත්ව තුබූ සිංහල ග්‍රන්ථ හා ප්‍රවෘත්ති පත්‍ර කියැවීමට යොමු වුණේ ය.
ධර්මපාල තුමා ප්‍රමුඛ හේවාවිතාරණ සහෝදරයන් විසින් රාජගිරියේ පවත්වාගෙන යනු ලැබූ පේෂකර්ම විද්‍යාලයට 1918 දී බැඳුණ හේමපාල මුනිදාස මහතා, එහි පේෂ කර්මාන්තය පිළිබඳ පුහුණුවක් ලැබූ අවධියේ දී පාඨශාලාවකට ගොස් ස්වකීය ඉංග්‍රීසි භාෂා ඥානය ද වර්ධනය කර ගත්තේ ය. 1921 දී පේෂකර්ම ආචාර්යවරයකු ලෙස මඩකලපුවේ රජයේ පේෂකර්ම විද්‍යාලයේත්, පසුව හොරේතුඩුවේ පේෂකර්ම ආයතනයේත් ඉගැන්වීමෙහි යෙදී සිටි අතර ම වික්ටර් ද ලැනරෝල් මහතාගේ ‘කවීන්ද්‍රයා’ සඟරාවට පද්‍ය නිබන්ධත්, පුවත්පත්වලට ලිපි සැපයීමත් සිදු කර ඇත.
ස්වෝත්සාහයෙන් පාලි, සංස්කෘත භාෂා ද, සිංහලය ද තවදුරටත් ඉගෙන, අටළොස් වන වියේදී ග්‍රන්ථකරණයට පිවිසි මෙතුමා ප්‍රථමයෙන් ‘වන චාරිකාව’ නම් නවකතාව ලියුවේ ය. එම අත් පිටපත ප්‍රතිශෝධනය සඳහා ඇඩ්මන් ගුණරත්න මුදලිතුමාට බාර දී ඇති අතර, ඒ මහතාගෙන් වූ ප්‍රමාදයකින් එය නැති වී තිබේ. එයින් මහත් කම්පාවට පත් වූ නමුදු පසුබෑමට ලක් නොවී ලේඛන කටයුතුවල යෙදුණු මෙතුමා, ‘ප්‍රසාද්සිංහ’ නම් නවකථාව ලියා පළ කළේ ය. එය රචනා වී ඇත්තේ ඩබ්ල්යු. ඒ. සිල්වාගේ ‘ලක්ෂ්මී’ නවකතාව කියැවීමෙන් ලත් ආභාසයෙනි. පළමුවන ලෝක මහා සංග්‍රාමය පසුබිම් කොටගෙන 1923 දී ‘වයලා’ නම් නවකථාව ලියා පළ කළ හේමපාල මුනිදාස මහතා, තරුණ වියේ දීම දක්ෂ ලේඛකයකු ලෙස පාඨකයන්ගේ ප්‍රසාදයට පත් වන්නට විය.
පාඨක අවධානය තමා වෙත රඳවා ගැනීමට සමත් සංස්කෘත පද බහුල මිශ්‍ර සිංහල ශෛලියකින් ලේඛනයේ යෙදුණු හේමපාල මුනිදාස මහතා, මෙරට පාඨකයන් අතර වඩාත් ප්‍රසිද්ධියට පත් වන්නට වූයේ පුවත්පත් කලාවේදියකු වශයෙනි. මෙතුමාගේ පුවත්පත් කලා මෙහෙය අවධි තුනක් යටතේ සලකා බැලිය හැකි ය.
1. 1924-30 දක්වා ‘ස්වදේශ මිත්‍රයා’ පත්‍රයේ උපකර්තෘවරයකු ලෙස කටයුතු කළ අවධිය.
2. 1934-41 දක්වා ‘සිංහල බෞද්ධයා’ පත්‍රයේ ප්‍රධාන කර්තෘවරයා ලෙස කටයුතු කළ අවධිය.
3. 1941-57 දක්වා ‘සිංහල බලය’, ‘සිංහලේ’ යන පත්‍ර ආරම්භ කරමින් ඒවායේ කර්තෘත්වය දැරූ අවධිය.
ඩී. ඩබ්ලිව්. වික්‍රමාරච්චි මහතා, 1924 දී ‘ස්වදේශ මිත්‍රයා’ පත්‍රය ආරම්භ කළ අවදියේ දී ම එහි උපකර්තෘවරයකු ලෙස සේවයට බැඳුණු හේමපාල මුනිදාස මහතා, එම පත්‍රයට විශාල පාඨක පිරිසක් යොමු කරවා ගැනීමට සමත් වූ තීරු ලිපි, කතුවැකි හා සිරස්තල ලිවීමෙහි යෙදුණේ ය. ‘ස්වදේශ මිත්‍රයා’ පත්‍රයේ එකල පළ වූ ‘අධිකරණ ප්‍රවෘත්ති’ නම් ලිපි පෙළ මෙතුමාගේ කීර්තියට පමණක් නොව පත්‍රයේ දියුණුවට ද විශාල රුකුලක් විය. ඊට පෙර එම ලිපි පෙළ ලියන ලද්දේ මාර්ටින් වික්‍රමසිංහ විසිනි. ‘සුර විනෝද’, ‘මනු විනෝද’ යන ආරූඪ නම්වලින් එකල ‘ස්වදේශ මිත්‍රයා’ පත්‍රයට ලිපි ලියූ හේමපාල මුනිදාස මහතා, ජාතික නිදහස් සටන සඳහා පාඨකයන් යොමු කරවීම, භාෂා සාහිත්‍යය හා ආගමික ප්‍රබෝධය ඇති කිරිම, සමාජ ශෝධනය වැනි අරමුණු ඉටු කර ගැනීම සඳහා ද පුවත්පත මාධ්‍යයක් කර ගැනීමට උත්සාහ කළේ ය.
මේ කාලයේ දී ඇෆ්. ආර්. සේනානායක මහතාගේ “ලංකා මහජන සභාව” නම් සමාගමේ ප්‍රකාශනය වූ ‘මහජන’ සඟරාව’ සංස්කරණය කළ හේමපාල මුනිදාස මහතා, එයට සමකාලීන ලේඛකයන්ගේ ගද්‍ය-පද්‍ය නිර්මාණ ලබා ගනිමින් ඔවුන් සමඟ සමීපාශ්‍රයක් ද ඇති කර ගත්තේ ය. මෙම ‘මහජන’ සඟරාව ජ්‍යෙෂ්ඨ පත්‍ර කලාවේදියකු වූ ඩී. ඩබ්ලිව්. වික්‍රමාරච්චි මහතාගේ කළමනාකාරිත්වයෙන් අරඹන ලද්දකි. 1926 අවසාන කාලයේ දී එංගලන්තයේ ‘ටිට්බිට්ස්’ සංග්‍රහය අනුගමනය කරමින් ‘ලටපට’ නමින් මාසික විනෝද ප්‍රකාශනයක් ද සම්පාදනය කිරීමට සමත් වූ මෙතුමා, එහි අලෙවිය පිටපත් තිස්දහස දක්වා වැඩි කර ගත්තේ ය.
සමකාලීන සිංහල පුවත්පත් අතර ප්‍රමුඛස්ථානයක් හිමි කර ගැනීමට ‘ස්වදේශ මිත්‍රයා’ පුවත්පතට හැකියාව ලැබුණේ හේමපාල මුනිදාස බඳු පත්‍ර කලාවේදීන්ගේ දායකත්වය නිසා ය. 1926 දී ‘ස්වදේශ මිත්‍රයා’ පුවත්පතේ වෙසක් පත්‍රය සංස්කරණය කළ මෙතුමා, 1927 දී ලංකාවේ පළමු වරට ඒ පත්‍රයේ ‘වෙසක් කලාපය’ ග්‍රන්ථාකාරයෙන් ප්‍රකාශයට පත් කරමින් එම පත්‍රයට විශාල ප්‍රසිද්ධියක් ලබා දුන්නේ ය. 1930 දී ‘ස්වදේශ මිත්‍රයා’ පත්‍රයෙන් අස් වී ‘ලක්මිණ’ නමැති දිනපතා සිංහල පුවත්පතේ සේවයට බැඳුණේ ය. එදිනෙදා ප්‍රවෘත්තිවලට මුල් තැනක් දුන් එම පත්‍රයේ විශේෂ තීරු ලිපි ආදියට එතරම් අවධානයක් යොමු නොකළ නිසා ‘සීදේවී’ නමින් කුඩා පත්‍රයක් ආරම්භ කොට සංස්කරණය කළේ ය. ප්‍රමාණවත් අරමුදල් නොමැති වීම නිසා එම පත්‍රය සමසක කාලයක දී නවතා දැමීමට සිදු විය.
හේමපාල මුනිදාස මහතාගේ පුවත්පත් කලා ජීවිතයේ මීළඟ වැදගත් අවධිය එළඹෙන්නේ ‘සිංහල බෞද්ධයා’ පුවත්පතට සම්බන්ධ වීමෙන් පසුව ය. 1906 දී අනගාරික ධර්මපාලතුමා විසින් අරඹන ලද ‘සිංහල බෞද්ධයා’ සිංහල පාඨකයන් අතර ප්‍රසිද්ධියට පත්ව තුබූ පුවත්පතකි. කෙසේ වුව ද 1930 ගණන් පමණ වන විට මේ පුවත්පතේ අලෙවිය ක්‍රමයෙන් පහත වැටෙමින් පැවති අතර, එහි දියුණුව සඳහා පියවර ගත යුතුව තිබිණ. මේ පුවත්පත යළිත් උසස් තත්ත්වයකට පත් කර ගැනීමේ අරමුණින් කටයුතු කළ මහා බෝධි සමාගමේ කළමනාකාර යූ. බී. දොළපිහිල්ල මහතා, 1931 දී හේමපාල මුනිදාස සහ අයි. ඇම්. ආර්. ඒ. ඊරියගොල්ල යන තරුණ පත්‍ර කලාවේදීන් දෙදෙනා සම කර්තෘන් ලෙස ‘සිංහල බෞද්ධයා’ පත්‍රයට බඳවා ගත්තේය.
03 වැනි පිටුවෙන්
1934 දී ‘සිංහල බෞද්ධයා’ ප්‍රධාන කර්තෘ පදවියට පත් වූ හේමපාල මුනිදාස මහතා, 1940 දක්වා විවිධ ලිපි, විශේෂාංග, තීරු ලිපි හා කතුවැකි පළ කරමින් සිංහල පාඨකයන් අතර ප්‍රසිද්ධියක් දිනා ගත්තේ ය. මේ යුගය ‘සිංහල බෞද්ධයා’ පත්‍රයේ මෙන් ම හේමපාල මුනිදාසගේ පුවත්පත් කලා ජීවිතයේ ද ස්වර්ණමය යුගය ලෙස සැලකිය හැකි ය. ‘සිංහල බෞද්ධයා’ පත්‍රයට ‘සුර විනෝද’ නමින් හේමපාල මුනිදාස ලියූ ‘තොරතුරු තීරුව’ එකල පාඨකයන් අතර ඉතා ජනප්‍රිය වූවකි. වරක් එම තීරු ලිපිය නිසා හේමපාල මුනිදාස මහතාට සහ එම පත්‍රයේ ප්‍රකාශකයා වූ රාජා හේවාවිතාරණ මහතාට උසාවි යෑමට ද සිදු විය. සිංහල පුවත්පත් ඉතිහාසයේ තීරු ලිපියක් නිසා උසාවි යෑමට සිදු වූ ප්‍රථම සිංහල ලේඛකයා ද හේමපාල මුනිදාස ය.
මෙම තීරු ලිපිය නිසා තමාට වූ අපහාසය සම්බන්ධයෙන් රු. 50,000ක අලාභයක් ඉල්ලා ආචාර්ය ඒ. පී. ද සොයිසා මහතා නඩු පවරා ඇත. නියමිත නඩු දිනයේ දී විත්තිකරුවන් වූ රාජා හේවාවිතාරණ සහ හේමපාල මුනිදාස අධිකරණයට ගියහ. එවිට එක් දොරටුවකින් අධිකරණ ශාලාවට ඇතුළු වුණු ආචාර්ය සොයිසා, විත්තිකරුවන් දෙස බලා එක්වර ම අධිකරණයට ආචාර කොට අනෙක් දොරටුවෙන් නික් ම ගියේ ය. නඩුව ද එයින් අවසන් විය.
‘සිංහල බෞද්ධයා’ පත්‍රයේ ළමා පිටුවට ‘බෞද්ධ මාමා’ යන ආරූඪ නාමයකින් නොයෙකුත් වීර කථා නිතර ලියන ලද්දේ හේමපාල මුනිදාස මහතා විසිනි. 1933 අගෝ. 30 වනදා දේවමිත්ත ධම්මපාල (කලින් අනගාරික ධර්මපාල) හිමියන්ගේ අපවත්වීම නිමිති කොටගෙන විශේෂ අතිරේකයක් නිකුත් කර ඇත. 1934 දී ‘සිංහල බෞද්ධයා’ පත්‍රය පිටු 80කින් යුක්ත වෙසක් කලාපයක් සාරගර්භ ලිපිවලින් යුක්තව පළ කළේ ය. ‘මා බෞද්ධයෙක් වූයේ ඇයි?’ යනුවෙන් ඇස්. ඩබ්ලිව්. ආර්. ඩී. බණ්ඩාරනායක මහතාගේ ලිපියක් ද එයට ඇතුළත් වී අතැ.
කොළඹ තරුණ කවි පරපුරට අයත් තරුණ කිවිවරුන් කලඑළි බැසීමත්, දේශපාලන නිදහස අරබයා මෙන් ම බෞද්ධයන්ගේ අයිතිවාසිකම් පිළිබඳ වේගවත් කතුවැකි ලියැවුණේත්, ‘දේවා දේව වාදය’ වැනි වාද මාර්ගයෙන් බෞද්ධ ඇදහීම් පිළිබඳ විමසීම් ඇති වූයේත් හේමපාල මුනිදාස මහතා ‘සිංහල බෞද්ධයා’ පත්‍රයේ ප්‍රධාන කර්තෘත්වය දැරූ අවධියේ දී ය.
මේ සමයෙහි දී සිංහල පාඨකයන් අතර ප්‍රචාරයට පත් ව තුබූ අනෙක් ප්‍රධාන සිංහල පුවත්පත් වූයේ පියදාස සිරිසේන කර්තෘත්වයෙන් පැවැති ‘සිංහල ජාතිය’, මාර්ටින් වික්‍රමසිංහගේ කර්තෘත්වයෙන් පැවැති ‘දිනමිණ’, පියසේන නිශ්ශංකගේ කර්තෘත්වයෙන් පැවැති ‘සිළුමිණ’ යන පුවත්පත් ය.
‘සිංහල බෞද්ධයා’ පත්‍රයේ තමන් විසින් පළ කරන ලද ‘දේවාදේව වාදය’ මුල්කොටගෙන පැන නැඟුණු මතභේදයක් නිසා, 1941 දී එහි කර්තෘත්වයෙන් සිය කැමැත්තෙන් ම ඉල්ලා අස් වූ හේමපාල මුනිදාස මහතා, ඉන්පසුව කලක් “සිංහල ජාතිය” පුවත්පත පවත්වාගෙන යෑමට උදවු කර ඇත.
අන්‍යයන්ගේ පාලනය යටතේ පැවැති පුවත්පත්වල සේවය කිරීමෙන් පසු තමාගේ ම අයිතිය යටතේ පුවත්පතක් පැවැත්වීමේ අදහසින් “සිංහල ජාතිය” පත්‍රයේ අයිතිය පියදාස සිරිසේන මහතාගෙන් ලබා ගැනීමට මේ කාලයේ දී හේමපාල මුනිදාස මහතා යොමු වී ඇත. කෙසේ වුව ද, එසමයෙහි පැවැති ලෝක යුද්ධ තත්ත්වය නිසා කඩදාසි ලබා ගැනීම දුෂ්කර වූ හෙයින් නව පත්‍රයක් පවත්වා ගැනීමට අරමුදල් සොයා ගැනීම අපහසු විය. එමෙන් ම මේ සමයේ දී ඩී. බී. ජයතිලක මහතා ද අලුත් පත්‍රයක් පැවැත්වීමට හේමපාල මුනිදාස සමඟ සාකච්ඡා පවත්වා ඇත.
හේමපාල මුනිදාස මහතාගේ පුවත්පත් කලා ජීවිතයේ අවසාන අවධිය 1941 - 1957 දක්වා කාල පරිච්ඡේදයයි. මේ වකවානුව සමාජ දේශපාලනික මෙන් ම සංස්කෘතික වශයෙන් ද වැදගත් වූ අවදියකි. දේශඵාලන නිදහස ලැබීම, දේශපාලන පක්ෂ බිහිවීම, මැතිවරණ පැවැත්වීම සහ රාජ්‍ය භාෂාව පිළිබඳ ප්‍රශ්නයේ දේශපාලනීකරණය ඉන් සමහරකි. 1941 ජූලි මස 12 වනදා හේමපාල මුනිදාස මහතාගේ කර්තෘත්වයෙන් බිහි වූ “සිංහල බලය” සීමාසහිත ලංකා ජාතික ප්‍රවෘත්ති පත්‍ර සමාගමේ පුවත්පතක් විය. මෙම පත්‍ර සමාගම කලින් “ස්වදේශ මිත්‍රයා” පුවත්පත පවත්වාගෙන ගියේ ය. පසුව ඇස්. ඩබ්ලිව්. ආර්. ඩී. බණ්ඩාරනායක මහතා, එම පුවත්පත මිලයට ගැනීමෙන් පසු එය “සිංහල මහ සභා සහ ස්වදේශ මිත්‍රයා” යන දිග නමින් පළ විය. හේමපාල මුනිදාස කර්තෘත්වය යටතේ “සිංහල බලය” බවට පත්වූයේ මේ පුවත්පත යි. “සිංහල බලය” මේ ආකාරයෙන් ඇරැඹුණේ බණ්ඩාරනායක මහතාගේ වුවමනාව හා උපකාරය මත ය.
“ස්වකීය ජාතික බලය නැංවීම සඳහා ආධාර හා අනුබල දෙමින් ස්වකීය ශාස්ත්‍ර ඥානය, වීමංසන බුද්ධිය හා භාෂා නෛපුණ්‍යය ලැබීමටත්, ලබා බහුශ්‍රැතයකු වීමටත් කැමැති හැම සිංහල පින්වතකු විසින් ම නොකඩවා කියවිය යුත්තේ සිංහල බලයයි” යනුවෙන් සෑම කලාපයක ම මුල් පිටුවේ සඳහන් විය.
“ජාතියක් වශයෙන් සිංහලයන්ගේත්, දේශයක් වශයෙන් ලංකාවේත් ගෞරවය, උරුමය, බලය හා චිරස්ථිතිය සැලකිය යුතු අවස්ථාවේදීත්, ඒ පිළිබඳ උවදුරු තුරන් කළ යුතු අවස්ථාවේදීත් කවර පුද්ගලයකු හෝ වේවයි, කෙබඳු දේශපාලන මණ්ඩලයක් හෝ වේවයි, නිර්දය එහෙත් නිර්දෝෂ ගුණදෝෂ දර්ශනයට කැප කරන්නෙමු”යි “සිංහල බලය” ප්‍රථම කලාපයෙන් ප්‍රතිඥාවක් සැපයූ හේමපාල මුනිදාස මහතා, එම පත්‍රය හුදෙක් සිංහල මහ සභාවේ දේශපාලනික කටයුතුවලට ප්‍රචාරය ලබාදීම සඳහා පමණක් කැප නොකොට කාලීන විශේෂාංග සඳහා ද අවධානය යොමු කළේ ය.
දෙවන ලෝක මහා සංග්‍රාමය පැවැති සමයේ දී පවා - යුද්ධය පිළිබඳ විවිධ තොරතුරු ගෙන එමින් - පුවත්පත අඛණ්ඩව පවත්වාගෙන යෑමට හැකි වූයේ බණ්ඩාරනායක මහතාගේ සිංහල මහ සභාවේ ආධාරෝපකාර “සිංහල බලය” පුවත්පතට ලැබුණු නිසා ය. “සුර විනෝද” ලියූ “තොරතුරු” කීපයත්, හේමපාල මුනිදාසගේ සුවිශේෂ ලේඛන ශෛලියෙන් ඔපවත් වුණු කතුවැකි සහ යුද පුවත් ඉදිරිපත් කළ ආකාරයත් නිසා ඉතා කෙටි කලකින් පාඨක විශ්වාසය දිනාගත් පුවත්පතක් බවට “සිංහල බලය” පත් විය.
කොළඹ කවීන්ගේ පද්‍ය රචනා එකල වැඩි වශයෙන් පළ වූ පුවත්පතක් වශයෙන් ද, ඩබ්ල්යු. ඒ. සිල්වාගේ කෙටිකතා පළ වූ පත්‍රයක් වශයෙන් ද “සිංහල බලය” වැදගත් තැනක් හිමි කර ගනියි. “සිංහල බලය” පත්‍රය අතිමහත් සිංහල පාඨකයන් සංඛ්‍යාවකගේ භක්ත්‍යාදරය දිනා ගනිමින් පැතිර යෑමටත්, එහි සාර්ථකත්වයටත් ප්‍රධාන හේතුව එහි කර්තෘ තැන්පත් හේමපාල මුනිදාස මහතා බව සිංහල මහ සභාවේ පැවැති එවැනි සංවත්සර සභාවේ දී ඇස්. ඩබ්ලිව්. ආර්. ඩී. බණ්ඩාරනායක මහතා පවසා ඇත.
22 දා එතුමා විසින් නව සතිපතා පුවත්පතක් අරඹන ලදී. ටැබ්ලොයිඩ් ප්‍රමාණයේ පිටු අටකින් යුත් ‘සිංහලේ’ නමැති මේ පත්‍රයේ ද කතුවරයා වූයේ කලින් ‘සිංහල බලය’ කර්තෘ ධූරය දැරූ හේමපාල මුනිදාස මහතා ය. ‘සිංහලේ’ පළ වූ ආරම්භක කර්තෘ වාක්‍යයෙන් කොටසක් පහත දැක්වේ.
“ස්වාධීනත්වය සමඟ ම, ජාතික නිදහස සමඟ ම, උන්නතියටත්, ව්‍යාප්තියටත්, විභූතියටත් පත් විය යුතු ජාතිකාංග කිසියම් අභාග්‍යයකට මෙන් දිනෙන් දින අවනතියටත්, අභාවයටත් පත්වේගෙන යන අන්දම මහජනයා හමුවේ තබා, විශේෂයෙන් ම සිංහලයන්ගේ ජාතිකාරක්ෂාව සලසා ගැනීමේ පරිශ්‍රමයක් දැරීම පිණිස පටන් ගැනුණු “සිංහලේ” මංගල කලාපය අද ගෞරව භක්ති ප්‍රේමයෙන් යුක්ත ව පාඨකයන් හමුවේ තබනු ලැබේ.
1951 ජූලි මස දී එස්. ඩබ්ලිව්. ආර්. ඩී. බණ්ඩාරනායක මහතා, එක්සත් ජාතික පක්ෂයෙන් සහ ආණ්ඩු පක්ෂයේ අමාත්‍ය ධූරයෙන් ඉල්ලා අස්වීම ප්‍රධාන පුවත ලෙස වාර්තා කළ “සිංහලේ” පුවත්පත, 1951 ජූලි 22 දා “අධිපති ආණ්ඩුව ඇද වැටෙන ලකුණු” යනුවෙන් තවත් ප්‍රධාන ප්‍රවෘත්තියක් පළ කළේ ය. ප්‍රමාණයෙන් හා පිටු ගණනින් කුඩා පුවත්පතක් වුව ද, ‘සිංහලේ’ පත්‍රයෙන් එවකට බලයේ පැවැති එක්සත් ජාතික පක්ෂයත්, එහි නායකයනුත් දැඩි විවේචනයට ලක් වූයේ ය.
1952 පටන්, ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ පුවත්පත වූ ‘සිංහලේ’ පත්‍රය දේශපාලනයට පමණක් කැප නො වී, ජාතික වූ ද, සමාජිය වූ ද ප්‍රශ්න පිළිබඳ කතුවැකි හා විශේෂාංග එක් කිරීමෙන් ප්‍රබල ජාතික පුවත්පතක් බවට පත් විය.
ලේක්හවුස් ආයතනය මඟින් පළකරන ලද පුවත්පත් රට පුරා ප්‍රචලිත වූ අවදියක දී පවා හේමපාල මුනිදාස මහතාගේ කර්තෘත්වයෙන් පැවැති ‘සිංහල බෞද්ධයා’, ‘සිංහල බලය’, ‘සිංහලේ’ වැනි පුවත්පත් ජනතාව අතර ජාත්‍යභිමානී ජනමතයක් ගොඩනැංවීමට සමත් විය. ඊට ප්‍රධාන හේතුව වශයෙන් දැක්විය හැක්කේ හේමපාල මුනිදාස මහතාට සුවිශේෂ වූ ලේඛන ශෛලිය යි.
සිය ජිවිත කාලයෙන් අඩකටත් වඩා වැඩි කාලයක් පුවත්පත් කලාවට කැප කළ කෘතහස්ත පත්‍ර කලාවේදියකු වූ හේමපාල මුනිදාස, පාඨකයන් අතර ජනප්‍රිය වූ එමෙන් ම, නූතන සිංහල සාහිත්‍යයේ වර්ධනයට හේතු වූ නවකථා, කෙටිකථා, චරිතාපදාන සහ අනුවාද ග්‍රන්ථ රාශියක් රචනා කළ ව්‍යක්ත ලේඛකයකු වශයෙන් ද ඉමහත් ප්‍රසිද්ධියක් ලබා සිටියේ ය. පුවත්පත් කලාවේ යෙදී සිටියදී ම ග්‍රන්ථකරණයට ද කාලය මිඩංගු කළ මේ ලේඛකයා, සිය ලේඛන කෞශල්‍යය වඩාත් විශද කළේ කෙටිකතාකරණයේ ය. ‘මනාලිය’ (1928), ‘ස්ත්‍රී රත්නය’ (1947), ‘යකාබාස් (1947), ‘නාරිගැටය’ (1948), ‘කින්නර පිස්සුව’ (1953), ‘වහල් වෙන්දේසිය’ (1953), ‘රතු කැට’ (1955) යන කෙටිකතා සංග්‍රහයනුත්, ‘ප්‍රසාද්සිංහ’ (1924), ‘වයලා’ (1925), ‘මළවුන් අතර ජීවිතය’ (1934), ‘පුනරාලෝකය’ (1935) යන නවකතාත් ලියා පළ කළ හේමපාල මුනිදාස මහතා, ග්‍රන්ථකරණය හා ප්‍රවෘත්ති පත්‍රකරණය යන දෙ අංශයේ ම සිය කුසලතාව පෙන්නුම් කළේ ය.
ලේඛන කලාවේ හේමපාල මුනිදාසගේ අනන්‍යතාව ප්‍රකට වූ විශේෂ අංශයක් වූයේ අපදාන රචනයයි. සිංහලයන් තුළ ජාතිකාභිමානය ඇති කිරීමට සමත් වූ ‘වීදිය බණ්ඩාර’ චරිත කතාව, මද්දුමබණ්ඩාරගේ ජීවිතය හා සමය පසුබිම් කර ගනිමින් ලියැවුණු ‘ජීවිත පූජාව’ සහ විශේෂ පුද්ගලයන්ගේ ජීවිත අලළා රචිත ‘රසාවදානය’ (1955) ග්‍රන්ථය චරිත කථා ගණයෙහිලා සැලකිය යුතු උසස් රචනා ය. සංස්කෘත පද බහුල මිශ්‍ර සිංහල ලේඛන ශෛලියකට වඩාත් ප්‍රිය කළ මේ ලේඛකයා, ස්වකීය අනන්‍යතාව ප්‍රකට වන පරිදි ලේඛන කාර්යයේ යෙදුණේ ය.
‘ශික්ෂෝදය’ (1934) නම් පාඩම් පොත් පෙළක් ද, ‘සකලසේන ගුරුන්නාන්සේගේ ලෝක ධර්ම’ (1933) නමින් විචාර ග්‍රන්ථයක් ද ලියා පළ කළ මෙතුමා, ‘පංචතන්ත්‍රය’ එනමින් ම සිංහලයට පරිවර්තනය කළේ ය. මහා භාරතයත්, භගවත් ගීතාවත් එක්කොට ‘භගවත් ගීතය’ නමින් සිංහලයෙන් ඉතා විශාල ග්‍රන්ථයක් ඔහු ලියා පළ කළේ රෝගීව සිටිමින් ය.
1957 වසරේ අවසානයත් සමඟ ලක්දිව මහා ජල ගැල්මෙන් සිදු වූ විපතත් සමඟ, 1957 දෙසැම්බර් 29 වනදා හේමපාල මුනිදාස මහතා ද සිය සිවු පනස් වියේ දී ජීවිතයෙන් සමු ගත්තේ ය. එම වියොව ලංකාදීප ‘වගතුග’ තීරය වාර්තා කළේ මෙසේ ය:
“දුකින් දුක එළඹ සිටියේ ය. ජල ගැල්මෙන් වූ ජාතික විපත පිළිබඳ පුවත්පත්වලට කන් යොමු වී තිබෙන මේ කනගාටුදායක අවස්ථාවේ දී ම හේමපාල මුනිදාස මහතාගේ අභාවය පිළිබඳ දුක්මුසු පුවත පැතිර ගියේ ය. සැපතින් සැපතත්, විපතින් විපතත් ලුහුබැඳ එන බව මහා කවි වාණභට්ටයෝ කීහ.”