සුර­ලොව සිට හේම­පාල මුනි­දා­සයෝ ජාතිය අම­තති | සිළුමිණ

සුර­ලොව සිට හේම­පාල මුනි­දා­සයෝ ජාතිය අම­තති

අරිසෙන් අහුබුදු 

 හේමපාල මුනිදාස අභාවයෙන් 25 වැනි වසර පිරීම නිමිත්තෙන් කේ.බී. සුගතදාස 1982 දී සංස්කරණය කළ අනුස්මරණ කලාපයෙන් උපුටා ගන්නා ලදී.

 

සම්බුදු සසුන සුරකින්නට වරම් ලද

සිංහලයා බලා වැතිරුණු ගිලන් ඇඳ

දෙන්නට බෙහෙත නිසි විටැ සුර ලොවින් ඇද

දම්පල් උපත වියැ ලකැ සත පිනින් සොඳ

 

දම්පල් තුමා ගෙනැ ගිය හටනට පුබුදු

දෙන්නට අත ආමි ඒ පැත්තෙන් මමදු

සිංහල කඩුව වියැ මට පන්හිඳ පුරුදු

හෙම්පල් නමින් සිරි ලකැ වූයෙමි පසිඳු

 

මුනිදස් කුමරතුඟු ගණිසුරු මෙහි පැමිණී

හෙළ බස් හටන මෙහෙයී නුවණින් තිහිණී

සැර බස් හරඹ ගිනි කෙළියෙහි කෙළැ පැමිණී

මුනිදස් මගෙන් පර ගති වන පෙත දැවිණී

 

සිංහල බලය නැංවීමට සතර අතින්

සිංහල පෑන මෙහෙයූවෙමි සතර අතින්

සිංහල ඇස පුබුදුවන්නට පුවත් පතින්

සිංහල යෝ දනිති මා කළ හරිය හිතින්

 

මුඩු බිම් පනත පිටැ ගත් හෙළයන් පන්නා

උඩරට වතුකරය සුද්දන් හැරැ යන්නා

දැක තව කොටසකට බෙදනට සැ‍රැසෙන්නා

මතකද මා බෙදූ රඟ උරුමය පෙන්නා

 

වත්ත විදෙසි බැළයන් හට දෙමු පාවා

තප්පු ලන වෙලේ නායකයන් කීවා

තප්පු ගස ගසා යවනුයි මා ලීවා

ඇත්ත මා කියූ අද වත් වැටහේවා

 

සිංහල අකුරකුත් නො දැනැම සිහළ රටේ

දැන් එන හඩුවා ද පුරවැසි ගොඩට වැටේ

උන්ගේ බස බලෙන් හෙළ දරුවන්ගෙ කටේ

සම්බුදු සසුන හා ජාතිය මකර කටේ

 

පුවත් පතින් නැඟි මා අත ලැබැ සපුරා

සමත් ආනන්ද මිතු ජී.එච්. පෙරෙරා

ටිබැට් මිහිඳු හිමි, ඈ කිවි කැල සමරා

අදත් තොස ලබමි සුර ලොවැ සිටැ ඉඳුරා

 

දම්පල් කුමරතුඟු පියදස් යන තිදෙන

සෙන්පති වෙසින් මෙහෙයූ ජාතික හටන

කම්මුතු කළ තැනින් යළි අරඹන ලෙසින

දැන් සිහළුනේ නැඟැ එවු පෙරමුණ රැගෙන

 

ලියනය නොපණ වී ඇති සමයෙකැ මෙබඳු

එය පණ පොවන හෙණ උණුහුම ගෙනැ පුරුදු

දැය නැඟිටුවන්නට යළි කරවා පුබුදු

පිය සගයෙනි මම ද එමි හෙළයට යළිදු

 

 

 

Comments