සුමුදු චතුරාණි ජයවර්ධන
‘මුනිදාස’ යන නම් නාමය ලද්දෝ අදීනයෝ ම වෙති. අප හොඳින් දන්නා මුනිදාසයෝ දෙපළකි. එක් අයෙක් කුමාරතුංග මුනිදාස ය; අනෙකා හේමපාල මුනිදාස ය. මේ මුනිදසුන් දෙපළ ම අදීන බවත්; ඒ මගින් ම ඇති කරගත් චින්තනයත්, ශාස්ත්‍රාභිලාෂී බවත් හේතුවෙන් ඉතිහාසය බැබළැවූ බවත් සත්‍යයකි.
බ්‍රිතාන්‍ය යටත්විජිත සමයේ මෙරට සිංහල පුවත්පත් කලාව කලඑළි කළ දැවන්තයෝ තිදෙනෙකි. ඒ මාර්ටින් වික්‍රමසිංහ, හේමපාල මුනිදාස හා පියදාස සිරිසේන යන පුවත්පත් කලාවේදීහු ය. මේ අතර හේමපාල මුනිදාස නාමය පත්‍රකලා සම්ප්‍රදාය ඇතුළත යුග පෙරළියකට තුඩු දුන් නාමයකි.
පුවත්පත් කලාවේදියා කවුරුන් කෙසේ කීවත් අනන්‍යයන්ගෙන් වෙන් කර හඳුනා ගත හැක්කෙකි. කිසියම් පුද්ගලයකුගේ හිස වටා කීර්ති කදම්බයක් මවන්නට ඔහුට අවැසිවන්නේ බොහෝ විට සාර සුභාවිත එක් එක් ශීර්ෂපාඨයක් පමණක් විය හැකිය. එසේම තවත් පුද්ගලයකු ආගාධයේ පතුලට ම ඇද දමන්නටත් ඒ ලෙසින් ම එක වැකියකට හැකි ය. මේ වදන් කිහිපය අදාළ වන්නේ සාර, සුභාවිත හා අදීන යන පද තුනට ඇතුළත් ව ලේඛනයේ නිරත වන්නන්ට ය.
අනුන් ප්‍රකට හෝ කුප්‍රකට කරන පුවත්පත් කලාවේදියා ප්‍රසිද්ධිය නොතකන්නෙකි. සාමාන්‍ය ජනයා අතර හේ සැරිසරන්නේ නිදහස්ව ය; බියෙන් සැකෙන් කරදරයෙන් තොර ව ය. එහෙත් එය පැස්බරාගේ සැඟවීම වැන්නකි. කෙසේ සැඟවුණත් ඔහුගේ ලේඛන ආරෙන්, අනන්‍යතාවෙන් ඔහු හඳුනාගත හැකි වන්නේ ය. ඒ හඳුනාගැනීමට ද පෙර කීවා සේ අනන්‍යතාව හා සාර සුභාවිත බව තිබිය යුතු ම ය. හේමපාල මුනිදාසයෝ එවැන්නෙකි. ඔහු හඳුනාගැනීම අපහසු නොවන්නේ එතරම් ම අනන්‍ය ලේඛන ප්‍රභාවක් ඔහු ප්‍රකට කළ බැවිනි.
සිව් පනස් වසකට සීමා වූ මේ අනන්‍ය ලේඛකයාගේ, පුවත්පත් කලාවේදියාගේ ජීවන කාලයෙන් අඩකටත් වඩා ගෙවූයේ එකල අත්‍යවශ්‍ය ව තිබූ ජාත්‍යාභිමානී මනස ගොඩනැංවීම ට ය. ඔහු ඒ හාස්කම කළේ පොදු ජනතාවගේ අභිමානවත් අතීතය මතක් කර දෙන, ඔවුන්ගේ මනස පුබුදු කරවන කතුවැකි ලිවීමෙනි. එදා ප්‍රබල ව තිබූ පරගැති පුවත්පත් වලට අභියෝගයක් වූ ‘ස්වදේශ මිත්‍රයා’ පත්‍රයේ උපකර්තෘවරයකු වී ජාතිය අවදිකිරීම අරමුණු කරගෙන ඔහු ලියූ අභීත ලිපි කියැවීමෙන් ප්‍රසාදයට පත් අනගාරික ධර්මපාලතුමා ඔහු ‘සිංහල බෞද්ධයා’ පත්‍රයේ ප්‍රධාන කර්තෘ ධූරයට පත් කළේ ය.
පුවත්පත් කලා ජීවිතයෙන් ඔබ්බට ගොස් ඔහු නවකතා කිහිපයක් ද, පරිවර්තන කිහිපයක් ද, කෙටිකතා සංග්‍රහ කිහිපයක් ද සිංහල සාහිත්‍යයට දායාද කළේය. ප්‍රසාද්සිංහ, වයලා, මළවුන් අතර ජීවිතය හා වනචාරිකාව ඇතුළු නවකතා කිහිපයක් ඔහු ලියූ අතර ; සකලසේන, නාරිගැටය ඇතුළු කෙටිකතා සංග්‍රහ කිහිපයක් ද රචනා කළේ ය. භාරත ගීතය හා පංචතන්ත්‍රය සිය පාඨකයන්ට ඔහු දුන් අමිල දායාදයන් ය. මේ සියල්ල ම ඔහුගේ චින්තනයෙන් පෝෂණය වූ හෙළ චින්තනය නඟාසිටුවූ නිර්මාණ ය.
‘හේමපාල මුනිදාස විමර්ශන’ ඔබ වෙත අප තිළිණ කරන්නේ සත්මඬල හැම මසක ම අවසන් සතියේ නිකුත් කරන විශේෂ අතිරේක මාලාවේ දහතුන්වැන්න ලෙසිනි. හොඳ දේ විරල වන්නා සේම මුනිදාසයන් ගැන සෙවීම ද පහසු කරුණක් වූයේ නැත. පුවත්පත් කලා ඉතිහාසයත්, සාහිත්‍ය ඉතිහාසයත් පීරන්නට අපට සිදු වුණි; තොරතුරු සොයා ගැන්ම අතිශය අසීරු විය. තම රූපය ගැන බොහෝ පඬිවරු සැලකිලිමත් නොවූ බව ඔබ දනියි. එබැවින් එතුමාගේ සේයාරූ ද සොයා ගැන්ම අතිශය අසීරු විණි. රූපයේ අනිත්‍යතාව දැන සිටින කෙනකුට සේයාරූවලින් ඇති ඵලය කිම..මෙකල එවැනි අය විරල ය හ.
මේ ඔබ අතට පත් වන හේමපාල මුනිදාස විමර්ශන විශේෂ අතිරේකය අප ඒ දැරූ පරිශ්‍රමයේ ඵලය යි. මේ විශේෂ විමර්ශනය වටිනාකමක් ලබන බැව් අප දන්නේ මෙතෙක් එතුමා ගැන මෙවන් විමර්ශනයක් කර නොමැති බැව් අප දන්නා නිසා ය. මේ ආයාසකර කාර්යයට විවිධ ලෙස සහය දුන් සැමට තුති පුදන අතර ම සෝමසිරි කස්තුරිආරච්චි මහතාට අපේ විශේෂ ස්තූතිය හිමි වේ.
සත්මඬල සැම විටම ශාස්ත්‍රාභිලාෂී ඔබ වෙනුවෙනි. ඉතිහාසය පීරන්නට අප මැළි නොවන්නේ ඒ නිසා ය.