
1935 පළ වූ ‘සිංහල බෞද්ධයා’ මංගල වෙසක් කලාපයෙන් උපුටා ගැනිණි.
“සම මෙතින් යෙදී සියල් ලෝසතුන් ධර්ම ක්ෂීරයෙන් ගොපනය කළ අමා මෑණියෙනි! සමස්ත සත්වකාය ධර්මාමෘතයෙන් පෝෂණය කළ බුදු පියාණනි! සසර ගිම් නිවා ලෝක සත්වයාට ශාන්ති සුඛය දැනවීම සඳහා ලොව’ඹර පහළවුණු පුන්සඳාණනි! ජගදාකාශයෙහි පැවැති මොහාන්ධකාරය විද්වංශනය පිණිස උදාවුණු දිවාකරයාණනි! ඔබ පිළිබඳ තෙමඟුල් සිදුවුණු අද මාගේ හෘදය මණ්ඩලය ඔබ වහන්සේට දෙව්රමක් වේවා! මාගේ චිත්තසන්තානය ‘බුත්සරණක්’ වේවා! මාගේ සිරස සමනොළ ගිරක් වේවා! මාගේ යුග’ත මල් සුමුඟක් වේවා! මාගේ සිරුර පාපිස්නක් වේවා! මාගේ මුඛය පංචශිඛයෙක් වේවා!
එදා සුරන්ගේ නඳු’නුයනට නිගා දෙමින් සෑකුල නරනිඳුන්ගේ නයන රසාංජනයක්ව පැවැති නමුදු දැන් දුර්දශාපන්න දීන ජන සමූහයක් විසින් ආශ්රිත නිශ්ශොභී වනලැහැබක්ව පවත්නා ලුම්බිණි උයනෙහි දී සරා සඳරැසින් සකලාම්බරය සමලංකෘතවුණු අද වන් දිනයෙක ජනතිව එදා සුජාතාදී සුවිනීතයන්ගෙන් ශොභිතව සවන් සවන රැසින් බැබළුණ නමුදු අද දුර්වාච්ය දුර්ගුණ ජනසමූහයක් විසින් සේවිත උරුවෙල් දනව්වේ ගයා ශීර්ෂයේ නෙරංජරා නදීතීරයේ ඇසතු රුක්මුල අදවන් දවසක වැඩ හිඳිමින් සමස්ත ලෝකයේ සකල කාලාන්තරයන්හි පහළවුණු සෙසු කිසිම වීරයෙකු විසිනුදු ගැනීමේ නොයෙදුණු ජීවෙශවරවූ ලෝකේශ්වර වූ භවෙශවරවූ තෘෂ්ණා වංඪකයා ගලග්රහයෙන් ගෙන, ඔහු සතුන් සිරකර තබන සංසාර චක්‍රාවාටයේ මර්මස්ථානය ගවේෂණය කොට, ජීවිතයේ අබිරහස ස්වයම්භූඥානයෙන් විසඳූ මහා වීරයාණන් වහන්ස! එදා මාන්‍ය මලය රජුන්ගේ සාලවනොද්යානයව පැවති නමුදු අද නටබුනෙන් ගැවසුණු නිසරු බිමක්ව පවත්නා කුසී නගරයෙහි දී නිරුපාධිශෙෂ නිබ්බාන ධාතුවෙන් පිරිනිවන් පෑ තැන් සිට ඔබ ගුණ සත්‍යයෙන් ඔද වැඩුණු, භක්තියෙන් පිරි මැඩුණු ව්යක්තයෝ ගායනය කෙරෙති. එහෙයින් ම ලොව මහා ගද්‍ය කාව්‍යයන් නිපැදිණ. මහා පද්යකාව්යයන් නිබැඳිණ. පොත්ගුල් පිරිණ. විවිධ සාහිත්‍යය පුෂ්ටිත විණ. දග්ධයන් විදග්ධයන් විණ. විදග්ධයන් ව්‍යක්තයන් විණ. ව්‍යක්තයන් විශාරදයන් විණ. විශාරදයන් විනෙය ජනයන් විණ. එහෙත් ස්වාමිනි! සූවිසි ශතවර්ෂයක් මුළුල්ලේ කෙරුණු මේ වැණුම, මේ බැණුම, මේ ගැයුම වූකලී මහ සයුරට අස්ලොමක් හෙලා පැන් බිඳක් ගෙන මේ සයුර යයි පෑමක් වැන්න!
එහෙයි ස්වාමින් වහන්ස! ඔබ ගුණය ඒසා උදාරය, ඒසා උත්තරීතරය, ඒසා උත්කෘෂ්ටය, ඒසා උත්තමය, ඒසා උත්කර්මවත්ය. ඔබ නුවණ ඒසා වෛථුල්යය, ඒ සා වෛශාරද්‍යය, ඒසා වෛචිත්රය. ඔබ චරිතය ඒසා සුවිශිෂ්ටය, ඒසා සුදාන්තය, ඒසා සුමධුරය. හිමියනි! ඔබ ගුණ වණන වියත්තු ආලවක, අංගුලිමාල, රුචි රෝම, බරරෝම ආදී සැහැසින් දැමූ හැටි වයති. ඔබ බල වණන වියත්තු කූටදත්ත, පොකඛරසාද, සච්චක ආදී සිව් වේදයෙහි කෙළ පැමිණි මහා බහු ශ්‍රැත වාදභට්ටයන් බැමූ හැටි ගයති. ඔබ තෙද වණන වියත්තු ඔබ පිටදුන් රුකත්, ඔබ පා තැබූ ගලත්, ඔබ වැළඳූ පයත්, ඔබ දැවූ අළුත්, ඔබෙන් සෙසුවූ ඇටත් අතුල්‍ය වූ අසදෘශ පූජිත වස්තූන්වූ හැටි බෙණෙති. ඔබ නැණ වණන වියත්තු නිගණ්ඨනාථ පුත්‍ර, අජිත කේශකම්බල, සංජෙය්ය බෙලට්ඨි පුත්‍ර, පූර්ණ කාශ්‍යප, මක්ඛලි ගෝසාල, කකුධ කාත්‍යායන ආදි දර්ශනවාදීන් නැමූ හැටි කියති.
වැළි එෙකක් ඇත ස්වාමිනි! මේ මහා දර්ශනවාදීන් නැමීම නම් ඔබ නැණ සපුවට විෂය වන මහාශවර්ය්යයෙකි. ඔබ නුවණින් විස්මිතවුණු පුරාතන ගත්කරුවන් විසින් නිවටුනැයි පැවසුණු නමුදු මොවුහුද මහා දර්ශනවාදියෝ ය. කුශාග්‍ර බුද්ධිමත් පඬිවරයෝය. විප්ලව මතධාරී ශාස්තෘවරයෝය. මගේ හිමිපාණන් ගේ අසදෘශවූ, අතුල්‍යවූ, අසාධාරණවූ, අප්රතිහතවූ, අසමසමවූ ප්‍රඥා චක්ඛුවට අසුවුණු ජීවිතයේ අබිරහස මොවුනට දුරවබෝධවූ නමුදු මොවුහුද මහා ප්‍රඥ සමෘද්ධියකින් සජ්ජිතව විසූ සාධුවරයෝ ය. ඔවුන් දැමූ හැටි වැණීම නම් මාහිමියන් වහන්සේට ගෞරවයෙකි. එහෙත් ස්වාමිනි! අංගුලිමාල, ආලවකාදීන් දැමීම ඔබවහන්සේගේ ගුණයට කෙබඳු වැණීමක් ද? ඔවුහු මාහිමි සක්විත්තන් හමුවේ අසරණ ගැත්තෝ ය. ඔබ මුවින් නික්මුණු බසත්, කයින් නික්මුණු ඇටත්, සැයින් නික්මුණු අළුත් නිබ්බානයෙන් සියවස් ගණනක ඇවෑමෙනුදු සැහැසි පුද්ගලයන් නොව භීරුක - භීෂණ ජාතීන් නැමූහ. රාෂ්ට්රයන් සැදූහ. ද්විපයන් මැවූහ.
ඔබ ධරමානව වැජඹෙමින් කූටදත්ත, පොකඛරසාද, සච්චකාදීන් නැමීම ඔබ නැණයට කුමන වැණීමක්ද? ඔවුහු මාහිමි දිවාකරයන් හමුවේ කදෝකිමියෝ ය. සමස්ත ලෝකයම කලඑළිවී අනනත විද්යානතර පහළවී අහස පොළොව ගැටලන සා බුද්ධි ප්රබෝධයකින් යුක්තව නූතන සමයේ වෙසෙන කුශාග්‍ර බුද්ධිමත් මහා චින්තකයෝ පවා, ලොව’ඳුරුව පැවති ඈත අතීතයේ විසූ ඔබ වහන්සේ ඉතිහාසාරම්භයේ පටන් අද වන තෙක් මිහිකත කුස දිනූ පැණවතුන්ගේ අනුපමෙය්‍ය, අප්‍රතිපුද්ගල, අග්රෙසරයා යයි කියන්නාහ. වැළි කවර කථා ද? ඔබ පා තැබූ ගලත්, වැළඳු පයත්, දැවූ අළුත් සෙසුවූ ඇටත් අසදෘශ පූජනීය වස්තූන් වීම පුදුමයක් වන්නේ කෙසේද? ඔබ ජනිත දේශයට මුළු ලොව සිරස නමන්නේ ය. ඔබ සමය රැඳි රටට මුළු ලොව යුගත් නගන්නේ ය. ඔබ බස හඳුනන දාසයා ස්වාමියා විසින් සේවිතය, ඔබ බස ඇසූ දිනයා මහේශාක්යයා විසින් භාවිතය, ඔබ වත පිරූ හීනයා ශ්‍රේෂ්ඨයා විසින් පූජිතය. එමතුද? ඔබ බස රැඳුණු කරදාසියත්, ඔබ රුව අනුව හැඩ ගැසුණු මැටි ගොඩත්, ඔබ රුව නෙළුණු කලුගලත්, ඔබ නම අනුව යෙදුණු අකුරු පෙළත්, ඔබ හැඳි වතේ පැහැය රැඳුණු රෙදිකඩත් පූජ්‍ය වස්තූහුය. ඉදින් ස්වාමිනි! ඔබ වහන්සේගේ පාදස්පර්ශයෙන් පරිශුද්ධවූ ගලත්, බුද්ධත්වයට පත්වීම සඳහා පිටදුන් රුකත්, වැළඳු පාත්‍රයත්, භෂ්මාවශිෂ්ටවූ කයත් අසදෘශ පූජ්‍ය වස්තූන් වීම විස්මයක්ද?
සර්වනිර්දෝෂවූ - සර්වතොභද්රවූ - සර්වලෝකස්වාමි වූ බුදුහාමුදුරුවන්වහන්ස! මිනිස් ලොවට සාහිත්‍යය දුන් සරස්වතීත්, සංගීතය දුන් මෝහනීත්, ප්‍රතිමා ශිල්පය හා ගෘහ නිර්මාණ ශිල්පය දුන් විශ්වකර්මයාත්, සදාචාරය දුන් මහබඹාත්, ජනාවාසය දුන් ඉසුරාත් ඔබගේ බුද්ධකායයෙන් නික්මුණු සවණක් ගන බුදු රැස් දහරේ කිසියම් අංශුමාත්‍රයකින් නිපණැයි සිතම්හ. වැඩි පද කුමට කියම් ද? පෙරදිග සාහිත්‍යයේ ජනිතත්වයත්, ජගත් සාහිත්‍යයේ පෝෂි තත්ත්වයත් වූයේ ඔබ බස නිසා ය. පූර්වදිග සංගීතයේ උත්පත්තිය වූයේ ඔබ ගුණ වැණුම නිසා ය. ජගත් ප්‍රතිමා ශිල්පයේ ප්රාදුර්භවය වූයේ ඔබ රුව නෙළනු නිසා ය. ජගත් ගෘහ නිර්මාණ ශිල්පයේ උන්නතිය වූයේ ඔබට සේනාසන සැලසීම නිසා ය. ලොක සදා චාරොත්පත්තිය සිදුවූයේ ඔබ බිණූ බස නිසා ය. වන මිගුන්ගෙන් හා වනචාරීන්ගෙන් ගැවැසුණු වනගත රාෂ්ට්රයන් ශිෂ්ට ජනපද බවට පත්වූයේ ඔබ දෙසූ පිළිවෙත් පැතිරීම නිසා ය.
ධර්මශාස්ත්ර දිවාකරයා උදාගිරි පව්වෙන් යන්තම් නික්මෙමින් සිටි අරුණෝදය සමයේ පහළවී සමස්ත ලෝක ධාතුවත් සත්ව ජීවයත් පරෝපකාරයකින් තොරව විජානනය කළ ස්වාමිදරුවාණන් වහන්ස! ඔබගේ දිව්‍යමය එඩිතර ගුණයත් නිරවශේෂ නිර්භය භාවයත් පළවන්නේ රුචිරෝම, ඛරරෝමාදී සැහැසින් දැමීමෙන් නොවේ. උග්‍ර කුලවාදයෙන් හා ඉස්සර නිම්මාණවාදාදී දෙසැට මිසදිටු ජාලයෙන් බැඳී සිටි මානයෙන් මුග්ධවූ - ඥානයෙන් අන්ධවූ - බලයෙන් උග්රවූ බමුණන්ට කළ අවඥාවෙන් ය. වන වැදී, ආත්මවධ සංඛ්‍යාත අත්තකිලමතානුයෝගයෙහි යෙදීමෙන් ම මෝක්ෂ ප්‍රතිලාභය කටයුතු යයි අනාදිමත් කාලයක පටන් බමුණන් තුළ මුල් බැස පැවති මිත්‍යා විශ්වාසයට ඔබ ගැසූ පහර වූකලි ලෝක ඉතිහාසයේ සඳහන් අති ප්‍රෞඪ වීර ක්‍රියාවය. ගොමාංසාංශුවක් පවා වැළඳූ පුද්ගලයා සැෙඩාල් රැහැට දැමීම පරම ප්‍රතිපත්තිය කොට විසූ බමුණන් හමුවේ මාංස භෝජනය අනුදැන වැදෑරීමෙනුත් ඔවුන්ගේ කුලවාදයට අවඥා කිරීමෙනුත් ඔබ කළේ ලෝක ඉතිහාසයේ සඳහන් අතිඋග්ර ධීර ක්‍රියාව ය.
සර්ව සාධු ශාන්ත ධර්මයන් කැටිකොට. මෛත්‍රියෙන් කලතා, සමාධියෙන් අනා, කරුණාවෙන් හැඩගස්වා, මුදිතාවෙන් ඔජනංවා, ආශ්චර්යයෙන් අලෙවිදී, ප්‍රඥාවෙහි වඩා හිඳුවන ලද සමන්ත භද්රයාණනි! මිසරයේ ස්ථූප, මොසලස් සුසානාගාරය, චීනයේ ප්‍රාකාරය, බැබිලෝනියාවේ එල්ලෙන උයන ආදිය ඥානයෙන් ළපටිවූ නරයෝ ලොව මහ පුදුමයයි පවසති. එහෙත් බ්‍රාහ්ම දේවාදී පරෝපකාරයෙන් ම ආත්ම විමුක්තිය සාධාගතයුතු යයි අනාදිමත් කලක පටන් විශ්වාස කළ පරාත්මලම්බනීයවූ - පරදාසවු - පුරාතන ලෝකයා හමුවේ දෙව් බඹුන් අවඥාවට භාජන කරවමින් ඔවුන් බස් මිථ්‍යා මතිමාත්‍ර බව පළ කරවමින් ඔබ දෙසූ ස්වයං සිද්ධ නිබ්බාන ධම්මය ඊශ්වර නිර්මාණවාදාදී දෙසැට මිථ්‍යාදෘෂ්ටි ගතුවන්ට අවබෝධ කැරැවීමෙන් ඔබ පළ කළ මහා ප්‍රාතිහාර්‍ය්‍යය හා සැසඳෙන කල මේ පුදුම හිමාලය හමුවේ තිරුවානා ගල්කැට බවට පත් වන්නාහ.
බුද්ධං යාව නිබ්බානං සරණං ගච්ඡාමි.