වැඩි ම කලක් පත්ත­ර­වල පළ වූ තීරු ලිපිය | Page 4 | සිළුමිණ

වැඩි ම කලක් පත්ත­ර­වල පළ වූ තීරු ලිපිය

 

කස්තුරි

එතුමාගේ අත්අකුරු ඉතා කුඩා ප්‍රමාණයේ විය. එහෙයින් ම අධිවේගී ව ලිවීමේ හැකියාව එතුමන් කෙරෙහි දක්නට ලැබිණ. එකට ලියන විට වෙනත් අයකු තීරු තුනක ලිපියක් ලියා අවසන් වන විට මුනිදාස සූරිහු තීරු අටක ලිපියක් ලියා අවසන් කරන තරම් එතුමාගේ ලේඛන ශක්තිය වේගවත් විය. එසේම ඒ ලිපි තම මතකයෙන් ගෙන දිගින් දිගට ම ලියාගෙන යෑමේදී කිසි විටෙක අකුරක් හෝ වචනයක් හෝ කපා ලියන්නට එතුමනට අවශ්‍ය නොවීය.

සිය පාණ්ඩිත්‍යයේ අනන්‍යතාවත්, පුවත්පතේ බැබළීමත් උදෙසා විධිමත්ව සිතා බැලූ කතුවරුන් කිහිපදෙනකුගේ මෙහෙයවීම මත එක්දහස් නවසිය ගණන්වල මුල දශකයේ පටන් පළවූ තීරු ලිපි විශේෂාංගය පසුකලෙක පත්‍ර කලාවේ විශේෂාංගයක් බවට පත් වූ බව මෑත යුගයේ පත්තර කලා ඉතිහාසය දෙස විමසුම් ඇසින් බලන්නකුට දකින්නට තිබෙන සත්‍යයකි. ඒ මුල් යුගයේ විද්වත් පඬිවරුන් වශයෙන් හැඳින්වෙමින් පත්තර සංස්කරණය කළ අය පවා තමන් ලියන කතුවැකියට අමතර ව එවන් වූ තීරු ලිපියක් ලියන ලද්දේ ආරූඪ නමක් උපයෝගී කරගෙන ය. එහෙයින් පාඨකයන් කතුතුමාගේ කතුවැකිය කියවන්නා හා සමාන වූ කුතූහලයකින් ද යුතුව එතුමන් ලියන තීරු ලිපිය කියවන්නට පුරුදූ වූහ. එයින් නව සාහිත්‍යංගයක් ගොඩනංවා ගැනීමට ද ඔවුනට හැකි විය.

උදාහරණයක් වශයෙන් හේමපාල මුනිදාස මහතාණන් විසින් වර්ෂ 1926 න් පටන්ගෙන ‘ස්වදේශ මිත්‍රයා’ පත්‍රයට ලියන ලද ‘අධිකරණ ප්‍රවෘත්ති’ ලිපිය හැඳින්විය හැකිය. එය එකල රසවතුන්ගේ සිත් තුළ හැඟීම් තියුණු කරමින් ලියැවුණු දැනුම් ආකරයක් බඳු තීරු ලිපියක් විය. ඒ ගමන්ම එතුමා ‘ලෝකය හා ජන සමාජය’ නමින් විචිත්‍ර තීරු ලිපි පෙළක්ද එකල ‘ස්වදේශ මිත්‍රයා’ පත්‍රයට ලියන්නට ඇරැඹීය. ලෝකයත් අපේ ජන සමාජයත් වෙතින් සොයා ගත් තොරතුරු කැටි කිරීමකි. ඉන් කලකට පසුව එතුමන් ‘සිංහල බෞද්ධයා’ හි කතුවරයා බවට පත් වූ පසුව ඒ ලිපිය ‘තොරතුරු’ මැයෙන් ‘සුර විනෝද’ නම් වූ ආරූඪ නාම‍යෙන් සතිපතා පළ කරන ලද්දේ ය. එය වර්ෂ 1933 නේ සිට වර්ෂ 1941 දක්වාත් පසුව එතුමන් ‘සිංහල බලය’ පුවත්පත් ඒ වර්ෂයේ ආරම්භ කර 1949 දක්වාත් සතිපතා නොකඩවා ම එම තීරු ලිපිය ලියූහ. ඉන්පසුව ඇරැඹුණු ‘සිංහලේ’ පුවත්පතේ ද ඉඩ ලැබෙන පරිදි එතුමන් අතින් ‘තොරතුරු’ ලිපියක් ලියැවිණ. එහෙයින් ලංකාවේ සිංහල පත්තර කලා ඉතිහාසයේ වැඩි ම කලක් පළවූ තීරු ලිපිය ලිවීමේ ගෞරවය හිමි වන්නේ හේමපාල මුනිදාස සූරීන්ට ය. එතුමෝ එයින් තමන් කියවූ පොත්වල රැඳි දෙයින්, ඇසූ කරුණුවලින් හා දුටු දේවල්වලින් සතිපතා පාඨක ලෝකයේ ඇත්තන්ගේ නුවණට තව තවත් නුවණ එක්කළහ.

එතුමාගේ අත්අකුරු ඉතා කුඩා ප්‍රමාණයේ විය. එහෙයින් ම අධිවේගී ව ලිවීමේ හැකියාව එතුමන් කෙරෙහි දක්නට ලැබිණ. එකට ලියන විට වෙනත් අයකු තීරු තුනක ලිපියක් ලියා අවසන් වන විට මුනිදාස සූරිහු තීරු අටක ලිපියක් ලියා අවසන් කරන තරම් එතුමාගේ ලේඛන ශක්තිය වේගවත් විය. එසේම ඒ ලිපි තම මතකයෙන් ගෙන දිගින් දිගට ම ලියාගෙන යෑමේදී කිසි විටෙක අකුරක් හෝ වචනයක් හෝ කපා ලියන්නට එතුමනට අවශ්‍ය නොවීය. ලිවිය යුතු දේ එසේ ම ලිවිය යුතු ලෙසට ලියැවිණ.

ග්‍රන්ථකරණයේ හෝ පුවත්පත්කරණයේ යෙදෙන කිසියම් ලේඛකයකු ප්‍රධාන වශයෙන් ම අතට අසුවන පොත්පත් හැකිතරම් ම ගවේෂණාත්මක ව කියැවීමට හුරුවීමේ ගතියෙන් යුතු විය යුතු යැයි එතුමන් තිස් ගණන්වල මුල භාගයේ දිනෙක තමන්ගේ ලේඛන ශිෂ්‍යත්වය පැතූවකුට කී මේ වගන්ති කිහිපයෙන් කා හට වුව ද වටහාගත හැකි ය. “පත්‍රකලාවට අත ගසන්නට කලින් මම එකක් කියන්නම්” යැයි හේමපාල මුනිදාස මහතා උද්‍යොගි වුවද පහත් ස්වරයෙන් කතාව ඇරැඹුවේ ය.

දෙවැන්නා අවනත භක්තියෙන් සවන් දෙන්නේ ය.

“පුළුවන් තරම් කියවන්න. අත ගැසෙන හැම එකක් ම කියවන්න පුරුදු වෙන්න. ඒකේ සීමාවක් නෑ. ඇතිවීමක් නෑ, මම ලේඛනයට බහිනකොට මම නොකියවූ කිසිම සිංහල පතක් පොතක් මුද්‍රණය වූ පොත්පත් අතර තිබුණේ නැහැ. පැදුරුමාලය පටන් අරාබි නිසොල්ලාසය දක්වා ඇති ඔක්කොම මම කියවලා ඉවරයි. තේරුණාද? ඇබට්ගේ නැපෝලියන් චරිතය විතරක් මම හත්වතාවක් කියවලා තියෙනවා.”

මේ වනාහී එදා මුනිදාස මහතා කළ අව්‍යාජ ප්‍රකාශයකි. මුනිදාස මහතා බාල වියෙහි පටන් පාඨනයට දක්වා ඇති අස්වාභාවික උද්‍යෝගය අනුව සලකන කල ඔවුන් තුළ වියට වැඩියෙන් වැඩී පැවැති බුද්ධියත්, වයස ඉක්මවා අත්කරගෙන සිටි බහුශ්‍රැතභවත් ආශ්චර්යයක් නොවිය යුතුය.

(කේ.බී. සුගතදාස මහතා ලියූ හේමපාල මුනිදාස අපදානයෙන්.)

“මේ රටේ ගස්වැල්වල තියෙන කොළ ගණනට ද වඩා රටත්, ජාතියත් වෙනුවෙන් අකුරු ලියූ හේමපාල මුනිදාස මහතා පෑනෙන් හොඳ වචන වාත්තු කළ ශ්‍රේෂ්ඨතම ලේඛකයා ය. අවංක භාවය හා දර්ශනයක් ඇතිව ලියූ පළමුවන කතුවරයා වශයෙනුත් නැඟී එන කවියන්ට හා ලේඛකයන්ට අතදුන් උදාර සාහිත්‍ය දානපතියකු වශයෙනුත් සැමවිට ඉහළින් සිටින හේමපාල මුනිදාස මහතාගේ ප්‍රඥාවූ කරුණාක්ෂියට ගොදුරු වුණ මාද ඇතුළු බොහෝ දෙනෙක් ලේඛකයන් වශයෙන් පහළ වූහ” යැයි ශ්‍රී චන්ද්‍රරත්න මානවසිංහ මහතා ලියූ ලිපියක සඳහන් ව තිබිණ.

 

තුරුණු වියෙ­හිදී ම හේම­පාල මුනි­දාස මහ­තාගේ රස­වත් ලේඛ­න­යට ඇදී අග­නු­වර පැමිණ එතු­මන් සමඟ ඇසු­රට වැටී, එකම පත්‍ර­යෙහි සේව­යට පත් ව වෙසෙ­මින් සිටි සමය පිළි­බඳ සත්‍යමය විසි­තුරු ජීවි­තය අලළා පොතක් ලියු­ව­ හොත්, තමන් සමඟ ම මිය පර­ලොව යන පොත් ලියා ඇති­ය­වු­ණුත්, ඇතැම් විශ්ව­වි­ද්‍යාල විචා­ර­ක­ය­නුත් ඒ වනාහි තාත්වික නොවන අසත්‍ය ප්‍රබන්ධ යැයි කියනු ඇත‍.
අයි. ඇම්. ආර්. ඒ. ඊරි­ය­ගොල්ල

Comments