
අන්තර්ජාතික වොලිබෝල් සම්මේලනය (එෆ්. අයි. වී. බී.) වාර්ෂිකව කාන්තා සහ පිරිමි තරගාවලියන් දෙකක් පවත්වනු ලබයි. ඒ කාන්තාවන් සඳහා එෆ්. අයි. වී. බී. ලෝක ග්‍රෝන් ප්‍රී සහ පිරිමින්ට ලෝක ලීග් තරගාවලීන්ය.
2017 කාන්තා ලෝක ග්‍රෝන්ප්‍රී තරගාවලිය චීනයේ ජියැන්ග්සු ප්‍රාන්තයේ නැන්ජින්ග් නුවරදී පැවැත්විය. ඒ ජූලි මස 07 සිට අගෝස්තු 06 දක්වාය. මෙවර පැවැත්වූයේ එහි 25 වැනි තරගාවලියයි. මෙවර එහි පළමු කාණ්ඩයේ ශූරතාව හිමිකර ගත්තේ බ්‍රසීලයයි. ඒ අවසන් තරගයේදී තරග වට 3 - 2 කින් ඉතාලිය පරාජය කරමිනි. මෙවර තෙවැනි - සර්බියාව, සිවුවන - චීනය, පස්වැනි - සම නෙදර්ලන්තය සහ අමෙරිකාවටත් හිමි විය.
මෙවර ජයග්‍රහණය බ්‍රසීලයට සුවිශේෂිතය. ඒ මෙම ශූරතාව ඔවුන් හිමිකර ගත්තේ වාර්තාගත 12 වැනි වතාවට බැවිනි. ඔවුන් මීට පෙර 1994, 96, 98, 2004, 05, 06, 08, 09, 13, 14, 16 වසරවලදී මෙහි ශූරියෝ වෙති. මීට අමතරව ඔවුන්ට අනුශූරතා 05 කි. එමෙන්ම තෙවැනි ස්ථාන (ලෝකඩ) 02 කි. ඒ අනුව ඔවුන්ට හිමි මුළු පදක්කම් ගණන 19 කි. මීට අමතරව අමෙරිකාවට ශූරතා 06 කි. රුසියාවට ශූරතා 03 කි.
ගිය වසරේදී මෙන්ම මෙවරත් මෙම තරගාවලියේ වටිනාම ක්‍රීඩිකාව බවට පත්වූයේ බ්‍රසීලයේ නටාලියා පෙරෙයිරාය. ඇය 28 හැවිරිදිය. අඩි 6 උසැතිය. මෙවර දස්කම් අනුවත් එක් දෙයක් පැහැදිලිය. එනම් නටාලියා මේ වන විට ලොව විශිෂ්ටතම වොලිබෝල් ක්‍රීඩිකාවක් බවය.
නටාලියා ෂීලියෝ පෙරෙයිරා 1989 වසරේ අප්‍රේල් මස 04 වැනිදා උපත ලැබුවාය. ඒ පාරානා ප්‍රාන්තයේ පොන්ටා ග්‍රොසා නුවරදීය. පාරානා බ්‍රසීලයේ ප්‍රාන්ත 26 න් එකකි. එම ප්‍රාන්තයට අපූරු නමක් පටබැඳී තිබේ. ඒ ප්‍රින්සෙසා ඩොස් කැම්පොස් හෙවත් කෙතේ කුමරියයි.
ඇය මේ වන විට වෘත්තීයමය වශයෙන් තුර්කියේ ෆෙනබාර්චේ කණ්ඩායමට ක්‍රීඩා කරන්නීය. මීට පෙර ඇය බ්‍රසීලයේ ඔසාස්කෝ වොලිබෝල් සමාජයට 2006 - 11, රියෝ ද ජනෙයිරෝ පිලට 2011 - 13, 14 - 16 සහ වොලෙයි අමිල් කණ්ඩායමට 13 - 14 දක්වාත් ක්‍රීඩා කළාය. ෆෙනබාර්චේ පිලට ඇය ක්‍රීඩා කරන්නේ 2016 වසරේ සිටය.
නටාලියා ජාත්‍යන්තර තරග වරම ලැබුවේ 2010 වසරේදීය. එතැන් සිට ඇය බ්‍රසීලය පසුගිය කාලයේදි ජාත්‍යන්තරව අත්කර ගත් බොහෝ ජයග්‍රහණවලට තම දායකත්වය ලබා දුන්නාය.
ඊට 2012 ලන්ඩන් ඔලිම්පික් උළෙලේදී රන් පදක්කම හිමිකර ගැනීමත් අයත්ය. මීට අමතරව ලෝක ශූරතාවලියන්හි ද්විත්ව පදක්කම්ලාභිනියකි. ඒ 2010 ජපානය රිදී සහ 2014 ඉතාලිය ලෝකඩ පදක්කම්ය.
එමෙන්ම ලෝක ග්‍රෝන්ප්‍රී තරගාවලියේදී නටාලියා හිමි කර ගෙන තිබෙන මුළු පදක්කම් ගණන හයකි. ඊට රන් ත්‍රිත්වයකි. ඒ 2009 ජපානයේ ටෝකියෝ, 2016 තායිලන්තයේ බැංකොක්, සහ මෙම වසරේදීය. රිදී පදක්කම් ද්විත්වයකි. ඒ 2010 චීනයේ නින්ග්බෝ සහ 2011 දී මැකාවුහිදීය. එමෙන්ම 2015 අමෙරිකාවේ නෙබ්‍රස්කා ප්‍රාන්තයේ ඔමාහා නුවරදී ලෝකඩ පදක්කමකි.
තවද අන්තර්ජාතික වොලිබෝල් සම්මේලන ලෝක කුසලාන තරගාවලියේ රිදී පදක්කමක් ද ඇයට හිමිය. එය ඇය හිමිකර ගත්තේ 2007 වසරේ ජපානයේදීය. මීට අමතරව එෆ්. අයි. වී. බී. ලෝක ග්‍රෝන් චැම්පියන්ස් කුසලාන තරගාවලියේදීත් නටාලියා සමඟ බ්‍රසීලයට පදක්කම් ත්‍රිත්වයකි. ඊට රන් ද්විත්වයකි. ඒ 2005 ජපානයේ නගෝයා සහ 2013 ටෝකියෝවේදීය. එමෙන්ම රිදී පදක්කම 2009 එරටේදීම ටෝකියෝ සහ ෆුකෝකා නුවරවලදීය.
නටාලියාගේ දස්කම් ජාත්‍යන්තරව දක්නට ලැබුණු තවත් තරගාවලියක් ලෙසට පෑන් - ඇම් කුසලාන තරගාවලිය දැක්විය හැකිය. එහිදී නටාලියාට රන් සහ රිදී 02 බැගින් මුළු පදක්කම් සතරකි.
තවද ස්විස්ටර්ලන්තයේදී පැවැත්වෙන ජාත්‍යන්තර ආරාධිත තරගාවලියක් වේ. එය හැඳින්වෙන්නේ මොන්ට්‍රි වොලි මාස්ටර්ස් නමිනි. නටාලියාට එහිදී ද්විත්ව රන් පදක්කම්ය. ඒ 2009 සහ මෙම වසරේදීය.
දකුණු අමෙරිකානු ශූරතාවලි ත්‍රිත්වයකටත් නටාලියා හිමිකම් කියන්නීය. ඒ 2009, 13 සහ 15 වසරවලදීය. ඉහත ජාත්‍යන්තර තරගාවලියන්හිදී ඇයට සම්මාන රැසකුත් හිමි වී තිබේ.
කෙසේ වෙතත් නටාලියාගේ වර්ණවත් තරග දිවියේ විශාල අඩුවක් ද තිබේ. "ඔව්. ඒක හරි. මට තවමත් ලෝක ශූරියක් වීමට නොහැකි වී තිබෙනවා. මගේ අරමුණ ඉදිරියේදී එය ඉටුකර ගැනීමයි." නටාලියා පවසන්නීය.










