මලල ක්‍රීඩා ලෝක ශූරතාවලිය ලෝකයට සිරි අපට සොරි | සිළුමිණ

මලල ක්‍රීඩා ලෝක ශූරතාවලිය ලෝකයට සිරි අපට සොරි

මිනිස් සිරුරේ අසිරිය විඳ ගත් දහසයවැනි මලල ක්‍රීඩා ලෝක ශූරතාවලිය එංගලන්තයේ දී නිමාවූයේ යුසේන් බෝල්ට්ගේ අවසන් රංගනය ද කඳුළින් තෙමාලමින්ය. මීටර් 100 ඉසව්ව ජස්ටින් ගැට්ලින් ඉදිරියේ පමණක් නොව ක්‍රිස්ටියන් කෝල්මන් ඉදිරියේ ලෝකඩ පදක්කමට සීමාවන විට අවසන් බලාපොරොත්තුව වූයේ මීටර 100 සහාය දිවීමේ තරගය පමණි. නමුත් බෝල්ට්ට එකී තරගය අවසන් කර ගැනීමට පවා නොහැකි විය. සැබැවින්ම මලල ක්‍රීඩා ලෝකයේ පුරාවෘත්තයක් බඳු බෝල්ට් පරාජය වීද? මෙය බෝල්ට් ගැන කතා කරන ඕනෑම අවස්ථාවක මතු විය හැකි පැනයකි. ලෝක මලල ක්‍රීඩා ඉතිහාසයේ පමණක් නොව හෙට බෝල්ට් ගැන කතා කළද, පරාද වූ පරාජය කළ හැකි ක්‍රීඩකයකු ද යන්න ගැටලුවකි. මීටර් 100 සහාය දිවීමේ තරගයෙන් හිස් අතින් හා මිටර් 100 ඉසව්වෙන් ලෝකඩ පදක්කමින් නතරවීමට බෝල්ට් සිදුවුවද හෙතෙම රන් බෝල්ටමය. ධාවන පථයේ නොකිළිටි ක්‍රීඩකයකු වූ බෝල්ට් ක්‍රීඩාපිටියේ ආදර්ශයකි. ඒ නිසා මෙවර ලන්ඩන් ධාවන පථයේ බෝල්ට්ගේ හැකියාවන් සැඟව ගියද හෙතෙම දිනා ගත් ප්‍රතිචාර තුළ මේ පරාජයන් දෙක කුමන පරාජයන් ද?

මේ දිනවල ලාංකේය ක්‍රීඩාව ගැන කතාබහ කිරීමට ඇත්තේ කුමක්ද? ක්‍රීඩා පිටි පාළුවට ගොස්ය. ක්‍රිකට් ලොව අංක එකේ කණ්ඩාමට එරෙහිව එස්. එස්. සී. පිටියේ පැවැති ඉන්දු - ලංකා දෙවැනි ටෙස්ට් තරගයට එක් වේග පන්දු යවන්නකු සමඟ පිටියට පිවිසීමට තරම් ලාංකේය ක්‍රිකට් ක්‍රීඩාව බංකොලොත්ය. ලන්ඩනයේ පැවැති දහසයවැනි ලෝක ශූරතා මලල ක්‍රීඩා තරගාවලියේදී විදේශ රටවල සිට ශ්‍රී ලංකාව නියෝජනය කරන මැරතන්, ක්‍රීඩක දෙපලට තරගයක් අහවර කරගැනීමට තරම්වත් ශක්තියක් නැත. මේ අතර ඇසෙන්නේ පරණ කුණුකන්දල් පමණි. ඒවා සියල්ලක්ම අවසන් වන්නේ විකට සිදුවීම්වලින්ය. අවසානයේ බඩවල් කටවල් අල්ලාගෙන සියල්ලට සිනාසී සතුටින් විසර යාමට හැකිය. දහසයවැනි මලල ක්‍රීඩා තරගාවලිය නිමා වුවද, බෝල්ට්ගේ අවසන් තරග දෙක හැර අපට අප ගැන වගේ වගක්වත් නැත. 1948 - 2000 ඔලිම්පික් මෙන්ම 1997 - 2007 මලල ක්‍රීඩා ලෝක ශූරතාවලි හැර ඉතිරි සියල්ල හුදෙක් විනෝද චාරිකාවලට පමණක් සීමා වූ බව සැබෑය.

ජාත්‍යන්තර තරග වරම් දිනා ගන්නත් (ඔලිම්පික්, ලෝක ශූරතාවලි) ලොකු කැප කිරීමක් කරන්න ඕනෑ. හැබැයි අපේ අය එහෙම කරන පාටක් පේන්නවත් නෑ. අපි ඉස්සෙල්ලා දකුණු ආසියාව ජය ගන්න බලන්න ඕනෑ. ඒක නැතුව එතැනින් එහාට කිසිම දෙයක් ගැන හිතලවත් වැඩක් නෑ.

මේ මීට වසර පහකට පෙර ඔලිම්පික් කමිටු සභාපති හේමසිරි ප්‍රනාන්දු කළ ප්‍රකාශයකි. ලාංකේය ක්‍රීඩාවේ සිදුවන සිදුවීම් දෙස විමසිලිමත් වන විට තව වසර 25 කටත් මේ ප්‍රකාශය වලංගුවන බව නම් සහතිකය. මන්ද යත් සියලු දෙනා අතරම ඇත්තේ කතා පමණි. අතීතයේ ලාංකේයන්ට උරුම සිටියේ එක් අන්දරේ කෙනෙකි. එකී අන්දරේ අද සිටියා නම් ඔහුත් මේ අන්දරේලාට පරාජය වනු නිසැකය. අප ලාංකේය ක්‍රීඩාවේ සංවර්ධනයක් බලාපොරොත්තු වෙන්නේ කයිවාරු අන්දරේලාගෙන් මිසක් වැඩකාරයන් ගෙන් නොවන බැවිනි. ක්‍රීඩා අමාත්‍යවරයාට පවා අතපය දිග හැර වැඩක් කිරීමට නම් සිටිය යුත්තේ වැඩකාරයන් මිසක් අදගොලු බිහිරන් නොවේ.

වරුණ ලක්ෂාන්ට මෙවර මලල ක්‍රීඩා ලෝක ශූරතාවලිය හිමි වන්නේ එක් රටකින් ක්‍රීඩකයන් තිදෙනකු පමණක් එක් වන නීතිය යටතේය. ජර්මනියෙන් මේ තරගාවලියට ක්‍රීඩකයන් පස් දෙනකු සුදුසුකම් ලබන්නේ එකී රටවල දක්ෂයන් බහුල බැවිනි. නිමාලි ලියනආරච්චි මීටර් 800 විනාඩි 02:08.45 කින් මූලික වටයේ දෙවැනි තරගය නිම කරන අතර සමස්ත පෙළ ගැස්ම අනුව ඇයට හිමි වන්නේ 45 දෙනකු අතරින් 43 වැනි තැනය. නිමාලිගේ හොඳම කාලය විනාඩි 02:02.58 කි. නිමාලිට ඔලිම්පික් ක්‍රීඩාංගණයේදී පවා සිය හොඳම කාලයටත් ළඟාවීමට නොහැකිවීම කියාපාන ගැටලුව කුමක්ද යන්න බලධාරින් විමසිලිමත් විය යුතුය.

1997 ග්‍රීසියේ ඇතෑන්ස්හිදී සුසන්තිකා මීටර් 200 ඉසව්ව, තත්. 22.39 කට රිදී සහ 2007 දී ජපානයේ ඔසාකාහිදී මීටර් 200 ඉසව්ව තත්. 22.63 කට ලෝකඩ පදක්කම් දෙක දිනා නොගන්නට මලල ක්‍රීඩා ලෝක ශූරතාවලියේද ශ්‍රී ලංකාව පදක්කමක් අහිමි රටවල් අතර තවත් එක් රටක් වනු ඇත.

 

  

Comments