ගැට්ලින්ටත් අත්පුඩියක් අකැපද? | සිළුමිණ

ගැට්ලින්ටත් අත්පුඩියක් අකැපද?

ප්‍රශාන්ත ඇල්පිටිය

පටන් ගන්නේ කොතැනින්ද? ඔහුටවත් හිතා ගැනීමට හැකි වූවාදැයි නොදනිමු. ජීවිතය ම වරද්දා ගත් චරිතයක් සුපිරිසුදු චරිතයක් එක්ක තරග බිමට එනකොට සුපිරිසුදු චරිතයට වයස අවුරුදු 30 යි. ජීවිතය වරද්දා ගත් චරිතයට වයස අවුරුදු 35 යි.

තුරුණු විය කෙමෙන් ඔහුගෙන් ගිළිහෙනවා. වයස අවුරුදු 35 ක් කියන්නේ මලල ක්‍රීඩාවේ මීටර් 100 ඉසව්ව එක්ක බලනකොට මහලුද නැද්ද කියලා හිතන අය ඔහු ධාවන පථයේ කඟවේනා එක්ක තරගයට පිටියට එනකොට හූ කියනවා. කඟවේනා ඉස්සරහා ඔහු කවුද? ක්‍රීඩාවට ආයුබෝවන් කියලා ගෙදර ඉඳගෙන රේස් එක බලන්න ඕනා මිනිහා කඟවේනකු එක්ක විහිළු කරනවාද? ප්‍රේක්ෂකයන් එහෙමත් හිතන්න ඇති.

කඟවේනාගේ තීරණාත්මක තරගය ඇරඹුණා. කඟවේනාව පස්සට ඇද දැමූ තමන්ට හූ කියපු ප්‍රේක්ෂකයන්ගේ කටවල් වසා දැමූ තත්පර 9.92 කින් සියල්ල කණපිට පෙරළූ ඔහු අමෙරිකාවේ ජස්ටින් ගැට්ලින්ය.

2017 ලන්ඩන් ලෝක මලල ක්‍රීඩා ශූරතාවලියේ වැඩිම අවධානය යොමු වූ තරගය වූයේ පිරිමි මිටර් 100 තරගයටයි. ඒ වෙන කිසිම හේතුවක් නිසා නොව මලල ක්‍රීඩා ඉතිහාසයේ විශිෂ්ටතම කෙටි දුර ධාවන ශූරයා වූ ජැමෙයිකාවේ යුසේන් බෝල්ට්ගේ අවසන් මීටර් 100 තරගයත් එය වූ නිසාමය.

එම නිසාම ඔලිම්පික් ක්‍රීඩාංගණයේ බහුතරයක් මෙන්ම ලොවපුරා ලක්ෂ සංඛ්‍යාත ක්‍රීඩාලෝලීන්ගේත් එකම බලාපොරොත්තුව වූයේ බෝල්ට්ගේ ජයග්‍රහණයකි. එහෙත් ගැට්ලින් සිය තරග දිවියේ දෙවැනි වතාවටත් බෝල්ට්ව පරාජය කළේය. බෝල්ට් හට ලෝකඩ පදක්කමකි. එහි රිදී පදක්කම අමෙරිකාවේ 21 හැවිරිදි ක්‍රිස්ටියන් කෝල්මන්ටය.

මීටර් 100 අවසානයත් සමඟම ගැට්ලින් සහ බෝල්ට්ගේ නිරහංකාර බව පැහැදිලිවම දක්නට ලැබුණි. ගැට්ලින් හිස නමා බෝල්ට්ට ආචාර කළේය. බෝල්ට් ද ගැට්ලින්ට හදවතින්ම සුබපැතුවේ ඔහුව වැලඳ ගනිමිනි. එමෙන්ම ක්‍රීඩාලෝලීන් තරගයට පෙර ගැට්ලින්ව පිළිගත් ආකාරය ගැනත් බෝල්ට් තම අප්‍රසාදය පළ කළේය.

"මට නම් හිතා ගන්න බැහැ. ඔවුන් ගැට්ලින්ට සැලකූ ආකාරය ගැන. මම සැම විටම තරගකරුවෙක් ලෙසට ඔහුට ගෞරව කළා. මම තරග කළ හොඳම තරගකරුවන් අතර ඔහු සිටිනවා. ඔහු කාලයක් තරග නොකර හිටියා. අද සිටින තත්ත්වයට පැමිණීමට ඔහු සෑහෙන මහන්සි වුණා. ඔහු වේගයෙන් දුවනවා. ඔහු යළිත් ඇවිත් හොඳින් තරග කරනවා." බෝලට් පැවසීය.

ගැට්ලින් ද බෝල්ට්ව අගය කළේය. "හුඟක් අය සිතන්නේ අපි දෙන්නා තරහයි කියලයි. එහෙම නැහැ. යුසේන් බෝල්ට් කියන්නේ ශ්‍රේෂ්ඨ ක්‍රීඩකයෙක්. උතුම් මිනිසෙක්. ඔහු ක්‍රීඩාවෙන් සමු ගන්නේ ඉතා විශාල හිඩැසක් ඇති කරලයි. ඒ ඔහුගේ චරිතයත් ක්‍රීඩා දක්ෂතා නිසා. මම සැම විටම ඔහුට ගරු කළා."

කෙසේ වෙතත් මීටර් 100 පදක්කම් ප්‍රදානයේදීත් නරඹන්නන්ගෙන් ගැට්ලින්ට පළවූයේ බලවත් අප්‍රසාදයකි. වත්මන් අන්තර්ජාතික මලල ක්‍රීඩා සම්මේලනයේ සභාපති සහ හිටපු විශිෂ්ඨතම මැදි දුර ධාවන ශූරයකු වන බ්‍රිතාන්‍යයේ සෙබස්තියන් කෝ ද ඉහත පිරිසට අයත්ය. "ඇත්තම කියනවා නම් ජස්ටින් ගැට්ලින් මෙහි තරග නොකළ යුතුව තිබුණා. ඒ ජීවිතාන්තය දක්වා තරග තහනමක් ඔහුට පැනවිය යුතුව තිබුණු නිසයි." කෝ පැවසීය.

ජස්ටින් ගැට්ලින්ට මෙවැනි දැඩි අප්‍රසාදයකට ලක්වීමට සිදුවී තිබෙන්නේ වෙන කිසිවක් නිසා නොව දෙවතාවක්ම තහනම් උත්තේජක භාවිතා කිරීමේ වරදට තරග තහනම්වලට ඔහු ලක්වීම නිසාය. මුලින්ම 2001 වසරේදීය. එහිදී ඔහුට දෙවසරක තරග තහනමකි. පසුව එය වසරකට සීමා වූයේය. ඒ අභියාචනයක් ඉදිරිපත් කිරීමෙන් පසුවය.

ගැට්ලින් දෙවන වතාවටත් තහනමකට ලක්වූයේ 2006 වසරේදීය. එම තහනම වසර අටක කාලයක් සඳහාය. නමුත් එයත් පසුව සිවු වසරක් දක්වා අඩු කෙරිණි. එම තහනම නිසා ඔහු විසින් පිහිටුවා තිබූ මීටර් 100 ලෝක වාර්තාව (තත්පර 9.77) අවලංගු කරනු ලැබීය.

"ක්‍රීඩාවේ දුෂ්ටයා ලෙසට මාව පිළිගන්නේ ඇයි කියලා මට නම් හිතාගන්න බැහැ. නරක ළමයෙක් ලෙසට සැලකීමට මම කරන්නේ මොනවාද? මම ඕනෑම කෙනකුට නරක ලෙසට කතා කරනවාද? මම නරක විදිහට හැසිරෙනවාද? මම එහෙම නැහැ." ගැට්ලින් පවසයි.

"තරගයක් නිමා වූ විට මම සැම දෙනාටම සුබ පතනවා. ඔවුන්ට අතට අත දෙනවා. එහෙම කරන එක නරක ළමයෙක් විදිහට මම සළකන්නේ නැහැ. මගෙන් වූ වැරදිවලට මම දඬුවම් ලැබුවා. ඒ වෙනුවෙන් ස්වේච්ඡා සේවා කටයුතු කළා. මම ළමුනට කථා කරනවා. ඒ නිවැරැදි මාවත තෝරා ගන්න කියලා. මට කළ හැකි දේ එපමණයි." ඔහු තවදුරටත් පවසන්නේය.

ජස්ටින් ගැට්ලින් 1982 වසරේ පෙබරවාරි මස 10 වැනිදා උපත ලැබීය. ඒ නිව්යෝර්ක් ප්‍රාන්තයේ බෘක්ලින් නුවරය. ඔහුගේ උස අඩි 6 අඟල් 1 කි. හෙතෙම උසස් අධ්‍යාපනය ටෙනිසි විශ්ව විද්‍යාලයෙන් ලැබීය.

ඔහුගේ හොඳම පුද්ගලික දක්ෂතා මෙසේය. ඒ මීටර් 60 තත්පර 6.45 (2003), මීටර් 100 - තත්පර 9.74 (2015), මීටර් 200 - තත්පර 19.57 (2015) වශයෙනි.

ඔලිම්පික් ක්‍රීඩා උළෙලහිදී ගැට්ලින්ට රන් පදක්කමකි. ඒ 2004 දී මීටර් 100 සඳහාය. තවද රිදී ද්විත්වයකි. ඒ මීටර් 100 සහාය (2004) සහ මීටර් 100 (2016) ඉසව්වලටය. එමෙන්ම ලෝකඩ පදක්කම් දෙකකි. ඒ මීටර් 200 (2004) සහ මීටර් 100 (2012) සඳහාය.

ලෝක ශූරතාවලියන්හිදී ඔහුට මුළු පදක්කම් 08 කි. රන් 03 කි. මීටර් 100 - 200 (2005) සහ මීටර් 100 (2017) දීය. රිදී 05 කි. ඒ මීටර් 100 සහාය (2013/17), මීටර් 100 (2013/15) සහ මීටර් 200 (2015) ලෙසිනි.

මීට අමතරව ඔහු ලෝක ගෘහස්ථ ශූරතාවලියන්හිදී ද්විත්ව රන් පදක්කම්ලාභියෙක් ද වේ. ඒ 2003 සහ 2012 වසරවලදි මීටර් 60 ඉසව්වෙනි.

මෙවැනි දක්ෂතා නිසාම මලල ක්‍රීඩා ඉතිහාසයේ කෙටි දුර ධාවන තරගවල විශිෂ්ටතම ශූරයකු ලෙසට ජස්ටින් ගැට්ලින් සැළකිය හැකිය. එසේ වුවත් දෙවතාවක්ම තරග තහනම්වලට ලක්වීම නිසා ඔහුගේ ක්‍රීඩා දිවියට එක්වූ කළු පැල්ලම් මකා දැමීම නම් කිසිදා කිරීමට නොහැකි වනු ඇත.

  

Comments