
බන්දුල ජයමාන්න
ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම පල්ලේකැලේ පැවැති ඉන්දු - ලංකා තෙවැනි ටෙස්ට් තරගයට පිවිසෙන විට ගාල්ලේ සහ සිංහල පිටියේ පැවැති තරග දෙකෙන් ම අන්ත ලෙස පරාජය වී තිබුණි. පල්ලේකැලේද කිසිදු වෙනසක් නැත. එය ද අන්ත පරාජයකි. විවේකය දින දෙකකටත් වැඩි කාලයකි. සිංහල පිටියේ පැවැති දෙවැනි ටෙස්ට් තරගය දිනෙක විවේකයක් ලබා දෙමින් ම අහවර කළ ඉන්දියානුවෝ ශ්‍රී ලංකා ක්‍රිකට් අනාගතය ගැන මීට වඩා හිතපල්ලා කියන තැනට ම මේ තරග තුනේදී පාඩම් කියාදීමට සමත්වූහ. ශ්‍රී ලංකා ක්‍රීඩකයන් නවාතැන් ගෙන සිටි හෝටලයේ ම හදිසි මහා රැස්වීමක් ද කැඳවා තිබුණි.
මේ රැස්වීමට වත්මන ක්‍රිකට් පාලකයන්ගේ ක්‍රියාකිරීත්වය පිළිබඳ කලකිරී මීට සති කිහිපයකට පෙර සියල්ල දමා ගිය අරවින්ද ද සිල්වා පවා පැමිණ සිටීම ශ්‍රී ලංකා ක්‍රිකට් වැටී ඇති අර්බූදයේ ගැඹුර කියාපායි.
මෙකි සාකච්ඡාව අවසානයේ නිකුත් කළ මාධ්‍ය නිවේදනයක සඳහන් වූයේ අපූර්ව සුරංගනා කතාවකි. ලෝකයේ අතිදක්ෂ ක්‍රීඩකයන් කිහිප දෙනකුම අපට සිටින බවත්, ඔවුන් ඒ බව වරින්වර ඔප්පු කර අති බවත්, ඒ වගේම ක්‍රිකට් ක්‍රීඩාවේ දැනුම සම්බන්ධයෙන් ලෝකයේ ඉතා විශිෂ්ට බුද්ධිමතුන් ඔබේ ප්‍රයෝජනයට සහ සහයෝගයට සිටින බවත්, ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපතිවරයා නිකුත් කළ එකී මාධ්‍ය නිවේදනයේ වැඩිදුරටත් සඳහන්ය.
ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපතිවරයාගේ මෙකී නිවේදනයේ සඳහන් කතාව ඇත්තක් නම් ශ්‍රී ලංකා කණ්ඩායම සිය අවසන් (2017) ටෙස්ට් තරග අටෙන් හයක්ම පරාජය වන්නේ ප්‍රතිවාදීන් අපට වඩා ගව් ගණනක් ඉදිරියෙන් සිටින නිසා නොවේද? මාධ්‍ය නිවේදන නිකුත් කළ පමණින් ඒවා අන්ධ විශ්වාසයෙන් පිළිගැනීමට කවුරුන් සූදානම් ද යන ගැටලුව ක්‍රිකට් පාලකයන්ට නොතිබුණද ජනතාවට තිබෙන බව ඔවුන් අමතක කිරීම ගොන්කම මිස වෙනකක් නොවේ.
පසුගිය දකුණු අප්‍රිකානු ටෙස්ට් තරගාවලියේ පටන් ශ්‍රී ලංකාව දකුණු අප්‍රිකාව හමුවේ තරග තුනක්, බංග්ලාදේශය හමුවේ තරගයක් සහ ඉන්දියාව හමුවේ තරග තුනක් පරාජයට පත්වී ඇති අතර, ජය ගෙන ඇත්තේ ද බංග්ලාදේශයට සහ සිම්බාබ්වේට එරෙහිව තරග දෙකක් පමණි.
අපට දක්ෂයන් සිටි බව සැබෑය. නමුත් අපට අද සිටින දක්ෂයන් කවුද? අපට වැරදුණේම මෙතැන බව බොහෝ අමතක කරන තාක් කල් ගොඩ ඒමට නොහැකිය. (මේ සටහන ඉන්දු - ලංකා ටෙස්ට් තරගාවලිය ඉලක්කකර නිසා, ටෙස්ට් තරග ගැන පමණක් අවධානය යොමු කෙරේ) ශ්‍රී ලංකාව තරග කළ අවසන් ටෙස්ට් තරග අටේදී පන්දු යවන්නන් අතරින් රංගන හේරත් සහ ඩිල්රුවන් පෙරේරා හැර සෙසු පන්දු යවන්නන්ගේ සේවය කණ්ඩායමට ලැබී ඇත්තේ කෙසේදැයි විමසා බැලිය යුතුය. රංගන සහ දිල්රුවන් හැරුණු විට පළපුරුදුම පන්දු යවන්නන් දෙදෙනා වන්නේ සුරංග ලක්මාල් සහ නුවන් ප්‍රදීප්ය.
මේ දෙදෙනාම ආබාධවලට ලක්ව සිටින අතර, දෙවැනි ටෙස්ට් තරගයේ නුවන් ප්‍රදීප් පිටියෙන් ඉවත් වනවිට යවා තිබුණේ පන්දුවාර 17.4 කි. ශ්‍රී ලංකා කණ්ඩායම සිය අවසන් ටෙස්ට් තරග අටේදී ප්‍රතිවාදින්ගේ බිඳ දමා ඇති කඩුලු සංඛ්‍යාව 120 කි. ප්‍රතිවාදී කඩුලු 120 න් වේග පන්දු යවන්නන් තිදෙනා බෙදා ගෙන ඇති කඩුලු සංඛ්‍යාව 45 කි. ඒ ඉනිම් 27 කදීය. ඉනිමක ප්‍රධාන වේග පන්දු යවන්නන් තිදෙනා අතර බෙදී ගොස් ඇත්තේ ඉනිමක කඩුලු 1.66 කි. මේ වෙනුවෙන් ඔවුන් කඩුල්ලක් සඳහා වැය කර ඇති සාමාන්‍යය ලකුණු 41.66 කි.
මෙහිදී ඉනිම් නවයකදී ප්‍රධාන වේග පන්දු යවන්නන් තිදෙනාට එකදු කඩුල්ලක් හෝ බිඳ හෙළීමට නොහැකිව තිබීම කැපී පෙනෙයි. ප්‍රතිවාදීන්ගේ බිඳ වැටුණු ඉතිරි කඩුලු 75 න් රංගන සහ ඩිල්රුවන් බිඳ හෙළා ඇති කඩුලු සංඛ්‍යාව 55 කි.
රංගනට ආදේශකයකු ලෙස ඉන්දු - ලංකා දෙවැනි ටෙස්ට් තරගයට කැඳවූ මලින්ද පුෂ්පකුමාර පළමු පෙළ තරග 100 කදී පන්දු 20977 ක් යවමින් කඩුලු 560 ක් දවා ගෙන ඇති අතර, එහිදී පන්දු 37.45 කට කඩුල්ලක් දවා ගෙන තිබේ.
නමුත් මේ තරගයේ මලින්දට සිය පළමු ටෙස්ට් තරගයේ මංගල කඩුල්ල දවා ගැනීමට පන්දු 133 ක් යවමින් ලකුණු 91 ක් වැය කිරීමට සිදුවීම තුළ කියාපාන්නේ ලාංකේය පළමු පෙළ ක්‍රිකට් ක්‍රීඩාවේ මොන තරම් නම් දියාරු ද යන්නයි.
දෙවැනි ටෙස්ට් තරගය අතරතුර දිමුත් කරුණාරත්න පැවැසූ දේ මීට දශක දෙකකට පමණ මුරලි සහ අවස්ථා කිහිපයකදී සංගා මෙන්ම මහේලද පෙන්වා දුන්නේ. ජාත්‍යන්තර ක්‍රිකට් සහ ලාංකේය ක්‍රිකට් අහසට පොළොව මෙන් පරතරයක තිබෙන බවත්, එකී වෙනස හඳුනා ගැනීමට කිසිවකුටත් වුවමනාවක් නොමැති බවයි.
ලාංකේය ක්‍රිකට් බලධාරින්ට අවශ්‍ය ඇත්තේ බල තන්හාව, බලලෝභය මිසක් වෙනකක් නොවන බව පැහැදිලිය.
දේශීය වශයෙන් ශක්තිමත් ක්‍රිකට් තරගාවලියක් සකස් කිරීමෙන් මිසක් ඡන්දය ලබා ගැනීමට හංදියක් හංදියක් ගානේ ක්‍රීඩා සමාජ අටවමින් එහෙයියන් පිරිසකට ටයිකෝට් අන්දවා ඡන්ද ලබා ගැනීමට යාම තුළ ලාංකේය ක්‍රිකට් ක්‍රීඩාව වැටී ඇති ආගාධය මේ පෙනෙන්නට පටන් ගත්තා පමණි. මන්ද යත් දිය යට සැඟවී ඇති අයිස් කුට්ටියේ තරම තවමත් නොපෙනෙන බැවිනි.
දේශීය ශක්තිමත් ක්‍රිකට් තරගාවලියක් පිළිබඳ මනා අධ්‍යයනයකින් සහ අවබෝධයකින් මහේල ජයවර්ධන ව්‍යාපෘති වාර්තාවක් හිටපු ක්‍රිකට් අතුරු කමිටුවට බාර දුන් නමුත් පාලකයන් වෙනස්වීමත් සමඟ එකී ව්‍යාපෘති වාර්තාව කුණු බක්කියෙන් නතර වීය.
අද සනත් ජයසූරියගේ ක්‍රීඩක තේරීම් පිළිබඳ ඔහුටවත් විශ්වාසයක් තිබේදැයි නොදනිමු. සනත් ඒ තරමට දාම්ලෑල්ලේ ඉත්තන් මාරු කරන ආකාරයටම ක්‍රීඩකයන් එහා මෙහා කර තිබෙන බව නොරහසකි. කවුරුන් විසින් හෝ සියලු දෙනා හරි අපූර්ව ආකාරයට නටවන බව නම් පැහැදිලිය.










