
උද්ධමනය (Inflation) යන කාරණය රටක ජීවත් වන ඉතා කුඩා ආදායම් ලබන කම්කරුවාගේ සිට ඉතාමත් ඉහළ ආදායම් ලබන ධනවතුන් දක්වා ද බලපානු ලබන සංකල්පයකි. ඇතැම්හු මේ “උද්ධමනය” යන සංකල්පය වරදවා තේරුම් ගත් ස්වරූපයක් ප්‍රායෝගික ලෝකයේ දැකිය හැකිය. කිසියම් රටක සමස්ත භාණ්ඩ හා සේවාවල මිල මට්ටම අඛණ්ඩව ඉහළයාම “උද්ධමනය” ලෙස හඳුන්වා දිය හැකිය.
ඉහත නිර්වචන තුළ “අඛණ්ඩව මිල ඉහළ යාමක්” ගැන සඳහන් කර ඇත. එමඟින් අදහස් වන්නේ පාන් ගෙඩියක මිල රුපියල් 50 සිට රුපියල් 52 දක්වා ඉහළ යාම නොවේ. එහිදීද මිල ඉහළ යාමක් සිදුවී ඇති නමුත් එය නොකඩවා අඛණ්ඩව භාණ්ඩවල මිල ඉහළ යාමක් නොවේ. ඇතැම් විට අමුද්‍රව්‍යවල මිල ගණන් තරමක් ඉහළ යාම නිසා පාන් ගෙඩියක විකුණුම් මිල ඉහළ දැමීමට නිෂ්පාදකයාට සිදුවේ. එවිට පාන් ගෙඩියක මිල වැඩි කිරීම උද්ධමනය යැයි පැවසිය නොහැක.
තවත් විටෙක පාන් ගෙඩියක මිල රුපියල් 50 සිට රුපියල් 52 දක්වා ඉහළ ගොස් නැවත රුපියල් 53 සහ රුපියල් 54, 55 ආදී වශයෙන් අඛණ්ඩව පාන් ගෙඩියක මිල ඉහළ ගියත් අනෙකුත් පාරිභෝගික භාණ්ඩවල මිල ගණන්වල කිසිදු වෙනසක් සිදුවී නැතිනම් එයද උද්ධමනය ලෙස හඳුන්වා දීමට හැකි වන්නේ නැත.
උද්ධමනය
උදාහරණයක් ලෙස කිසියම් රටක වෙළඳපොළේ පවතිනුයේ භාණ්ඩ වර්ග 5ක් යැයි සිතන්න. මෙම භාණ්ඩ වර්ග 5 න් 2 ක් පමණක් මිල ඉහළගොස් ඇත. එය ක්‍රම ක්‍රමයෙන් මිල ගණන් ඉහළ යන ස්වරූපයක් පෙන්නුම් කළ ද එය උද්ධමනය ලෙස හඳුන්වා දිය නොහැක. නමුත් ඉහත වෙළඳපොළේ පවතින භාණ්ඩ වර්ග පහේම මිල ගණන් අඛණ්ඩව ඉහළ යන්නේ නම් එය “උද්ධමනය” ලෙස හඳුන්වා දිය හැකිය. ඊට හේතුව වන්නේ එම රටේ ඇති සියලුම භාණ්ඩවල මිල ගණන් අඛණ්ඩව නොනවත්වා ඉහළ යාමේ ස්වභාවයක් ගන්නා නිසාය. එමනිසා කිසියම් රටක පවතින සමස්ත භාණ්ඩ හා සේවාවල මිල ගණන් නොනවත්වා වර්ෂයෙන් වර්ෂය අඛණ්ඩව ඉහළයාමේ ස්වභාවය “උද්ධමනය” ලෙස හඳුන්වනු ලැබේ. ලෝකයේ ඕනෑම රටක උද්ධමනයක් පැවතිය හැකිය. නමුත් එය එම රටේ ජීවත්වන ජනතාවට උසුලා ගත හැකි අනුපාතයක් විය යුතුය. සාමාන්‍යයෙන් රටක උද්ධමන අනුපාතිකය 10% ට වඩා අඩු අගයක් පවතී නම් එය එතරම් අසුභදාය තත්වයක් නොවේ. ආර්ථික විශේෂඥයින්ගේ මතය වන්නේ රටක උද්ධමන අනුපාතය තනි අගයක් (10 ට වඩා අඩු අගයක්) පවත්වා ගැනීම. රටට වඩාත් හිතකර තත්වයක් බවයි. රටක භාණ්ඩ සේවාවල මිල ගණන් අඛණ්ඩව ඉහළ යන විට ජනතාව විසින් පාරිභෝජනය සඳහා මිලට ගනු ලබන භාණ්ඩ හා සේවාවලට ගෙවනු ලබන වියදම ද ඉහළ යයි. ඊට සාපේක්ෂව එම ජනතාවට ආදායම් උපයා ගැනීමට රට තුළ අවකාශයක් තිබිය යුතුවේ. එසේ නොමැති වුවහොත් තමා විසින් නියැළෙන ආර්ථික කටයුත්තෙන් ලැබෙන ආදායෙමන් එදිනෙකා ජීවිතයේදී මිලට ගැනීමට අවශ්‍ය භාණ්ඩ හා සේවා මිලට ගැනීමටවත් මුදල් ප්‍රමාණවත් නොවිය හැකිය. එය එතරම් හොඳ තත්වයක් නොවේ.
අවම අගය
මීට වසර 20කට 25කට ඉහත අතීතය දෙස විමසා බැලුවහොත් එනම් අපගේ වැඩිහිටියන් රුපියල් 2ක් රැගෙන පොළට ගොස් නිවසට සතියකට අවශ්‍ය බඩු සියල්ල ම මිලට ගෙන තවත් මුදලක් ඉතිරි කරගෙන ආ බව අනන්ත වාරයක් අප අසා ඇත. නමුත් අද නිවසට අවශ්‍ය භාණ්ඩ එනම් එක්දිනකට අවශ්‍ය භාණ්ඩ ප්‍රමාණය වුවද රුපියල් 2කට මිලට ගත නොහැකි බව ඔබට වැටහෙනවා ඇත. එනම් එයට හේතුව වන්නේ සාමාන්‍යයෙන් රටේ සමස්ත භාණ්ඩ හා සේවාවල මිල ගණන් අඛණ්ඩව ඉහළ ගොස් ඇති බවයි. සාමාන්‍යයෙන් රටක භාණ්ඩ හා සේවාවල මිල මට්ටම ඉහළ යාමක් විය යුතුය. එය ඉතාමත් කෙටි කාලයක් ඇතුළත විශාල ප්‍රමාණයකින් මිල ඉහළ යන්නක් නොවිය යුතුය. එසේ වුවහොත් උද්ධමන අනුපාතය ඉතා ඉහළ අගයක් ගනු ඇත. සාමාන්‍යයෙන් ශ්‍රී ලංකාව වැනි රටක උද්ධමන අනුපාතය 5 හෝ 5 ට වඩා අඩු අගයක් පැවතීම හොඳ තත්වයකි. ඔබට දළ අවබෝධයක් ලබා ගැනීම සඳහා ශ්‍රී ලංකාවේ උද්ධමන අනුපාතයේ සිදුවී ඇති වෙනස්කම් පහත ප්‍රස්තාරය මඟින් ඉදිරිපත් කරන්නෙමු.
ප්‍රස්තාරය 01
ඉහත ප්‍රස්ථාරයේ දැක්වෙන පරිදි 2016 අගෝස්තු මාසයේදී ශ්‍රී ලංකා උද්ධමන අනුපාතය 4.4ක්ව පැවති අතර එය සැප්තැම්බර් මාසයේදී 4.2 දක්වා තරමක අඩු අගයක් පෙන්නුම් කර ඇත. එය ඔක්තෝබර් මාසය වන විට 4.1 දක්වාත් නොවැම්බර් මාසය වන විට 4ක් දක්වාත් අඩු වී තිබුණෙන් 2016 දෙසැම්බර් වන විට එය 4.5 දක්වා නැවත ඉහළ ගොස් ඇත. එසේ උද්ධමනය අඩුවැඩිවීම යන්නෙන් අදහස් වන්නේ රටේ සමස්ත භාණ්ඩ හා සේවාවල මිල ගණන්වල වෙන්වීම වේ. 2016 දෙසැම්බර් දක්වා උද්ධමන අනුපාතයේ විශාල වෙනස්කම් නොවුන නිසා එය පාරිභෝගික ජනතාවට බරපතළ අර්බුදයක් නොවීය. නමුත් ඉන්පසු 2017 ජනවාරි සිට 5.6 සහ 6.8 ඉන්පසු 7.3 දක්වා භාණ්ඩ හා සේවාවල මිල ගණන් උපරිම මට්ටමකට ඉහළ ගොස් ඇත. එය පෙරට වඩා අසුභවාදී තත්වයකි.
ජීවන වියදම
පාරිභෝගිකයකු වන ඔබම කල්පනා කර බලන්න. එම කාල සීමාව තුළ පෙර මාස මෙන් නොව ඔබ උපයන ලද ආදායමෙන් විශාල මුදලක් දෛනික වැඩ කටයුතු වෙනුවෙන් වියදම් කළා ඔබට මතක ඇත. ඇතැම් අවස්ථාවලදී “කොතරම් මුදලක් ඉපයීම් කළත් ඉතුරුවක් නෑනෙ” යනුවෙන් ඔබ ඔබට ම පවසා ඇත්නම් එසේ පවසා ඇත්තේ ඉහත ප්‍රස්තාරයේ දැක්වෙන පරිදි උද්ධමන අනුපාතිකය ශීඝ්‍රයෙන් ඉහළ අගයක් ගත් කාලයේදීය. නමුත් 2017 මාර්තු මාසයෙන් පසු නැවතත් ක්‍රමයෙන් උද්ධමන අනුපාතිකය අඩුවී 2017 ජූලි මස වන විට එය 4.8 දක්වා අඩු වී ඇත. එනම් පසුගිය මාසය වන විට ඔබට ඔබේ ජීවන වියදම ඊට පෙර මාසවලට සාපේක්ෂව තරමක අඩු අගයක් ගත් බව ඉතාමත් පැහැදිලිව විමර්ශනය කරන විට ඔබට වැටහෙනු ඇත.
එනම් “උද්ධමනය” ලෙස ඔබ ඔබේ ජීවිතයෙන් බැහැර කරන ලද මේ සංකල්පය කොතරම් ඔබේ දෛනික ජීවිතය හා බද්ධව පැවතුණේ ද යන්න මෙම ලිපියෙන් ඔබට වැටහෙනවා ඇත. එම නිසා උද්ධමන අනුපාතය යනු ඔබගේ දෛනික ජීවන වියදම පිළිබඳ යම් අවබෝධයක් ලබා ගැනීම සඳහා ඉදිරිපත් කරනු ලබන මිනුම් ඒකකයක් බව මතක තබා ගත යුතුය.
(දත්ත මූලාශ්‍රය
ශ්‍රී ලංකා මහබැංකු වාර්තාව)