
1. ගෝරෝචන - සංස්කෘත තත්සමයෙකි. මෙහි අග (මූර්ධජ) ‘ණ’ නො ව (දන්තජ) ‘න’ යෙදෙන අයුරු සැලැකිල්ලට ගත යුතු ය. ‘රෝචන’ යන්නෙහි ‘ර’ කාරයක් ඇති නමුදු ‘ච’ ඉක්මවා එය බලපෑම නොයෙදෙනුයෙන් මෙහි ‘න’ වෙනස් නො වී ය. රෝචන නම් බැබැළීම යි ගෝ යනු ගව අර්ථයෙහි යෙදිණ. ගවයන් ගේ මොල්ලියෙහි ඇති අනර්ඝ ද්‍රව්‍යයක් මෙ නමින් ගැනේ. මේ හා අනුරූප වැ සිංහලයෙහි ‘ගොරොද’ යනු යෙදේ.
2. ග්‍රසනිකා - මෙය පාරිභාෂික වචනයක් ලෙසින් යෙදෙනුයේ එක්තරා ශරීරාංගයක් හඳුන්වනු පිණිස යි. එ නම් ශ්වාසනාලයත් අන්තස්‍රෝතය හෙවත් ගලනාලයත් අතර ඇති දොරටුවක් බඳු කොටස යි. මෙහි (මූර්ධජ) ‘ණ’ නො ව (දන්තජ) ‘න’ යෙදෙන සැටි සැලැකිල්ලට ගත යුතු යි. මෙහි දු ‘ග්‍ර’ යන්නෙහි ‘ර’ කාරයක් ගබ් වැ ඇති නමුදු ‘ස’ ඉක්මවා එහි බලපෑම නො යෙයි. එ හෙයින් ‘න’ ‘ණ’ බවට පත් නො වේ.
3. ග්රෑම - මේ ඉංගිරිසියෙන් බිඳී ආ වදනෙකි ඉතා වැඩි දෙනකු ‘ග්‍රෑම්’ යනුවෙන් මෙය ලියන අයුරු පෙනේ. ‘හරි වහරෙහි’ ලා පෙර දු කීප වරක් පැහැදිලි කරනු ලැබ ඇති පරිදි ර කාරාංශය සහිත වැ සිංහලයේ බොහෝ සෙයින් යෙදෙනුයේ සංස්කෘත තත්සම හෙයින් එහි උච්චාරණ විධි හා පටලවා ගැන්මෙන් ‘ග්‍රෑම්’ යනු ‘ග්රූම්’ යැ යි යමකු උච්චාරණය කළ හැකි ය. ර-කාරාංශයට පසු කොට ඇද ඇලපිල්ල යෙදූ කල්හි ‘රු’ යැයි උච්චාරණය කරනු සම්ප්‍රදායය වන හෙයිනි. ශ්‍රැත (ශ්රුත), ධ්‍රැව (ධ්රුව), ක්‍රෑර (ක්රූර), භ්‍රෑණ (භ්රූණ) ආදිය විමැසීමෙන් එ බව පැහැදිලි වැ පෙනේ. එ හෙයින් නිවැරැදි වනුයේ ‘ග්රෑම’ යන්න මය. ඉංගිරිසි වැනි බටහිරි බස්වලින් බිඳගැනෙන වදන්හි රේඵ, රකාරාංශ ආදිය නොයෙදීම වඩා සුදුසු වේ.
මෙහි ඒක වචනය ලෙස ‘ග්රෑමය’ යන්න යෙදෙන හෙයින් නාම ප්‍රකෘතිය හා බහු වචනය හා ලෙස ‘ග්රෑම්’ නො ව ‘ග්රෑම’ යන්න ම යෙදිය යුතු ය.
4. ඝර්ෂණ - මෙ ද සංස්කෘත තත්සමයෙකි. මෙහි (මූර්ධජ) ‘ෂ’ හා ‘ණ’ යෙදෙන සැටි අවධානයෙන් බැලිය යුතු ය. මෙහි ඇත්තේ ‘අන’ කෘදන්ත ප්‍රත්‍යයය වුව ද ර්, ෂ් දෙක්හි බලපෑමෙන් එහි ‘න’ ‘ණ’ බවට පත් වැ ඇත්තේ ය. ඝර්ෂණ නම් යම් වස්තු දෙකක් එකට ගැටීම නොහොත් ඇතිල්ලීම යි.
5. ඝ්‍රාණ - සංස්කෘත තත්සමයක් වන මෙහි දු ‘ඝ්‍ර’ යන්නෙහි ර කාරාංශය යෙදෙන සැටි ද ඉක්බිති වැ (මූර්ධජ) ‘ණ’ යෙදෙන සැටි ද සැලැකිය යුතු වේ. මේ හා අනුරූප වැ පාලියේ ‘ඝාණ’ යනු ද සිංහලයේ ‘ගහණ’ යනු ද භාවිත වේ. ඝ්‍රාණ යන්නෙන් ගඳ සුවඳ දැනීම නොහොත් එයට උපයෝග වන ඉන්ද්‍රියය (න්‍යාය) ගැනේ. මෙයට පෙර ‘ආ’ යෙදුණු කල්හි ‘ආඝ්‍රාණ’ යනු නිපැදේ.
6. ඝෘත - සංස්කෘතයෙහි ගිතෙල් හඳුන්වනුව යෙදෙන ඝෘත යන්නෙහි ඝ යන්නට පසු වැ ගැටය සහිත ඇල පිල්ල යෙදෙන සැටි ද ඉක්බිති වැ (අල්පප්‍රාණ) ‘ත’ යෙදෙන සැටි ද සැලැකීම මැනැවි. සිංහලයෙහි මේ අරුතින් ‘ගී’ යනු යෙදේ. ඒ ‘තෙල්’ යනු හා එක් වීමෙන් ගිතෙල් යනු ඇති වේ.
7. ඝෝෂ - මෙහි (මහාප්‍රාණ) ‘ඝ’ සමඟ (මූර්ධජ) ‘ෂ’ යෙදේ. මහත් සේ ශබ්ද කිරීම හඟවනුව යෙදෙන සංස්කෘත තත්සමයෙකි මේ හා අනුරූප වැ පාලියෙහි ‘ඝෝස’ යනුත් සිංහලයෙහි ‘ගොස්’ යනුත් යෙදේ. ඝෝෂණ, ඝෝෂක ආදියෙහි දු මෙ සේ අකුරු යෙදෙනු සැලැකිල්ලට ගත යුතු වේ. ඝෝෂා යන්න ද ව්‍යවහාරයෙහි බෙහෙවින් යෙදෙන නමුදු සංස්කෘත ව්‍යාකරණ රීති අනුව ‘ඝෝෂ’ විනා ‘ඝෝෂා’ යනු නිපැදැවිය නොහැකි යැයි ද සැලැකේ.