විදුලි බලය 'සුපිරි භාණ්ඩයක්' වුව‍ හොත්...? | Page 2 | සිළුමිණ

විදුලි බලය 'සුපිරි භාණ්ඩයක්' වුව‍ හොත්...?

 ශ්‍රී ලංකාවේ අප න්‍යෂ්ටික බලය භාවිතයට ගැනීම සම්බන්ධයන් තවමත් පසු වන්නේ ඉතා පසුගාමී තත්ත්වයකය. විදුලි බලය ඉහළ මිලකට පාරිභෝගිකයා අතට පත් වන රටක පුරවැසියන් හැටියට අපට න්‍යෂ්ටික බලය මුළුමනින්ම අමතක කරදමා කටයුතු කළ හැකිද? මේ ගැන අදහස් පළ කරන පරමාණුක බලශක්ති මණ්ඩලයේ නියෝජ්‍යය අධ්‍යක්ෂ, ප්‍රසාද් මහකුමාර මහතා අප සමඟ කියා සිටියේ මෙවැනි කතාවකි.

ප්‍රශ්නය: විදුලිය ජනනනය කරන්න ලෝකයේ වැඩිපුරම භාවිතයට ගන්නේ කුමන ප්‍රභවද?

පිළිතුර: ලෝකයේ වැඩිපුරම බලශක්තිය නිපදවන්නේ තාප ශක්තියෙන්. තාප විදුලිය ලබන්නේ ගල් අඟුරු, ඩීසල්, ස්වාභාවික ගෑස් වැනි ෆොසිල ඉන්ධන දහනයෙන්.

ප්‍රශ්නය: මේ හැරුණු විට පුනර්ජනනීය බලශක්ති ප්‍රභවත් භාවිතයට ගැනෙනවා නේද?

පිළිතුර: ඔව්, එවැනි ප්‍රභව විධියට ජල විදුලිය, සුළං බලය, සූර්ය තාපය, මුහුදු රළ, භූ තාපය ආදිය භාවිතයට ගැනෙනවා.

ප්‍රශ්නය: ඍජුවම පුනර්ජනනීය බලශක්ති ප්‍රභව මත රටකට යැපෙන්න බැරි ඇයි?.

පිළිතුර: සුළං බලය, සූර්ය ශක්තිය, ජල විදුලි බලය වගේ ප්‍රභව භාවිතයෙන් පරිසරයට හානියක් නැහැ. හැබැයි, ඒවා ආධාරයෙන් අඛණ්ඩව විදුලිය නිෂ්පාදනය කරගෙන යන්න බැහැ. වලාකුළු සහිත දිනයක සූර්ය ශක්තියෙන් විදුලිය නිෂ්පාදනය අඩු වෙනවා. වැස්ස අඩු වුණොත් ජල විදුලි බල නිෂ්පාදනය පහළ වැටෙනවා. භූ තාපය ගැන හිතන්න. ඇත්තටම භූ තාපයෙන් දිගටම විදුලිය නිපදවන්න පුළුවන්. එහෙත් අතිවිශාල වියදමක් දරන්න වෙනවා.

ප්‍රශ්නය: ඒ කියන්නේ, පුනර්ජනනීය බලශක්ති ප්‍රභව හොඳ වුණත් රටක බලශක්ති අවශ්‍යතාව මුළුමනින්ම ඒවායෙන් සපුරාගන්න බැරි බවද?

පිළිතුර: රටක බලශක්ති සැපයුම නොකඩවා පවත්වාගෙන යන්න නම් පුනර්ජනනීය විදුලි බලාගාරයක් සමඟ තවත් බලාගාරයක් (බැකප් එකක්) අනිවාර්යයෙන්ම තියාගන්න ඕන. ඒ විධියට පවත්වාගෙන යන අනෙක් බලාගාරය හුඟක් වෙලාවට ඩීසල් වැනි තාප විදුලි බලාගාරයක්.

ප්‍රශ්නය: අපේ රටේ බලාගාර පවත්වාගෙන යන්නෙත් ඒ කියන ක්‍රමයටද?

පිළිතුර: වර්තමානයේ අපේ රටේ බේස්ලෝඩ් එක පවත්වාගෙන යන්නේ නොරොච්චෝලේ ගල් අඟුරු බලාගාරයෙන්. ඉන් පස්සේ, දවස තුළ විදුලි ඉල්ලුම අඩුවැඩි වීම මත තමයි අනෙක් ප්‍රභවයන්ගෙන් ජාතික විදුලිබල පද්ධතියට නැත්නම් ග්‍රිඩ් එකට විදුලිබලය එකතු කෙරෙන්නේ. රටේ නියං කාලවල ජල විදුලිය අඩු වෙන කොට කැලණිතිස්ස හෝ පෞද්ගලික ඩීසල් බලාගාරවලින් හෝ එම විදුලි ධාරිතාව ලබාගන්නවා. නැත්නම් විදුලිය විසන්ධි කිරීමකට යන්න වෙනවා.

ප්‍රශ්නය: ලංකාවේ අපට ඉදිරියට භාවිතයට ගන්න පුළුවන් කුමන පුනර්ජනනීය බලශක්ති ප්‍රභවද?.

පිළිතුර: ජල විදුලිය නිෂ්පාදනයෙන් ලංකාව උපරිමයකට ළඟා වෙලා ඉන්නේ. එනිසා අපට තිබෙන්නේ සූර්ය ශක්තිය, සුළං බලය භාවිතයට ගැනීම. එහෙත් මේ ක්‍රම මඟින් නිපදවෙන විදුලිය ගබඩා කර ගන්න විධියක් නැහැ. ඊට අදාළ තාක්ෂණය ලොව තවමත් දියුණු වෙමින් තිබෙන්නේ. එවැනි තත්වයක් මත තනිකරම පුනර්ජනනීය ක්‍රම මත පමණක් රටෙහි විදුලි ඉල්ලුමට අඛණ්ඩ සැපයුමක් දෙන්න ප්‍රායෝගිකව බැහැ.

ප්‍රශ්නය: එහෙම නම්, ඉදිරියේදී වැඩි වන විදුලිය ඉල්ලුමට අවශ්‍ය සැපයුම ලබාදෙන්නෙ කොහොමද?

පිළිතුර: රටෙහි විදුලි අවශ්‍යතාව අනුව ජනන සැලැස්ම හදන්නෙ විදුලිබල මණ්ඩලය. 2034වෙන කල් වැඩි වනවිදුලි ඉල්ලුමට අවශ්‍ය සැපයුම ලබාදෙන ආකාරය ගැන විදුලිබල මණ්ඩලයේ දිගුකාලීන ජනන සැලැස්මෙන් කියල තියනවා. ඒ සැලැස්මට අනුව, ඩීසල් හා ගල් අඟුරු බලාගාරවලින් වැඩි සැපයුමක් ගන්න බලාපොරොත්තු වෙන්නෙ.

ප්‍රශ්නය: ඒක කොහෙත්ම හොඳ තත්ත්වයක් නෙවෙයිනේ?

පිළිතුර: ඇත්තටම ඔව්. පොසිල ඉන්ධන එන්න එන්න ක්ෂය වෙනවා. ඒ නිසා ගල් අඟුරු, ඩීසල් වියදම ඉදිරියට අනිවාර්යයෙන් වැඩි වෙනවා. ඒ වගේම කාබන්ඩයොක්සයිඩ් පරිසරයට පිට කෙරෙන මේ විදුලියෙන් නිපදවෙන භාණ්ඩවලට, කාබන් බද්ද එකතු වීම නිසා ඒවායේ මිලත් ඉහළ යන්න පුළුවන්.

ප්‍රශ්නය: මේ තත්ත්වය තුළ විදුලි බලය “සුපිරි භාණ්ඩයක්” බවට පත් වීමක් වෙයිද?

පිළිතුර: දැනටමත් එය සිදු වෙලානේ. ගල් අඟුරු, ඩීසල් වැනි ආනයනික ද්‍රව්‍ය මඟින් වැඩි විදුලියක් නිපදවෙන නිසා කලාපයේ අනෙක් රටවලට වඩා අපේ විදුලි බිල වැඩියි. ලංකාවේ විද්යුත් දුම්රිය නැහැ. විදුලියෙන් ක්‍රියාත්මක පඩිපෙළ තියෙන්නෙත් එහෙමත් තැනක. අපේ රටේ හුඟක් අය ඉන්නේ වායු සමන යන්ත්‍ර ක්‍රියාත්මක කරගෙන සුව පහසුවෙන් නෙවෙයි. ලාබෙට විදුලිය තිබුණා නම් අපි ඒවාට යනවානේ. විදුලිය මේ රටට දැනෙන අවශ්‍යතාවක්. අපි හැම වෙලාවෙම අවධාරණය කරන්නේ විදුලිය පරිස්සමින් පාවිච්චි කරන්න කියලනේ. අපේ රට විදුලිය පරිභෝජනය අවම රටක්. විදුලිය මිල ඉහළ මට්ටමක තිබීම ආයෝජන අඩු වෙන්නත් හේතුවක්.

ප්‍රශ්නය: එතකොට අපට ලාබෙට විදුලිය ගන්න විකල්ප ප්‍රභවයක් කෝ?

පිළිතුර: ලාබෙට විදුලිය නිපදවන්න නම් දැනට ලෝකයේ විකල්පයක් විධියට භාවිතයට ගැනෙන න්‍යෂ්ටික බලය වෙත අපටත් යන්න සිදු වෙනවා. විදුලිබල මණ්ඩලයේ දිගුකාලීන ජනන සැලැස්මෙනුත් 2030 වසර වන විට න්‍යෂ්ටික බලාගාරයක අවශ්‍යතාව පෙන්වාදී තිබෙනවා.

ප්‍රශ්නය: ඒත් න්‍යෂ්ටික බලාගාරයක් පිළිබඳ සංකල්පය අපේ රටේ සාමාන්‍ය ජනයාට තවමත් ආගන්තුක දෙයක් නේද?

පිළිතුර: ඔව්. එහෙත් අපට ආසන්න බංග්ලාදේශයත් න්‍යෂ්ටික බලයට යනවා. එහි බලාගාර දෙකක් හැදෙනවා. ඉන්දියාවත්, පාකිස්තානයත් න්‍යෂ්ටික බලය භාවිතයට ගන්නවා. කලාපයේ අප පමණයි, න්‍යෂ්ටික බලයට නොගිය රටකට තියෙන්නේ.

ප්‍රශ්නය: ඒත් න්‍යෂ්ටික බලාගාරයක් එක පාරටම හදන්න බෑ නේද?

පිළිතුර: ඇත්තටම ඔව්. න්‍යෂ්ටික බලාගාරයක් හදල ක්‍රියාත්මක තත්ත්වයට ගන්න අවුරුදු 10ක් 15ක් යනවා. ඒ නිසා න්‍යෂ්ටික බලාගාරයක් හදනවද නැද්ද කියන තීරණය අපි හැකි ඉක්මනින් ගන්න ඕන. මොකද අපට එක පාරටම හෙට න්‍යෂ්ටික බලයට යනව කියලා යන්න බැහැ. අන්තර්ජාතික ප්‍රමිතීන්ට අනුව සියල්ල කළ යුතුයි. ඒ වගේම මහජන කැමැත්ත අනිවාර්ය කාරණයක්. මහජනතාව කැමති නැත්නම් අපට මුකුත් කරන්න බැහැ.

ප්‍රශ්නය: අනෙක් පුනර්ජනනීය බලශක්ති ප්‍රභවවලින් විදුලිය නිෂ්පාදනය අරඹන විටත් මේ විධියට මහජන කැමැත්ත විමසුවද?

පිළිතුර: හරි නම් බලන්න ඕන. කෙනකුට කියන්න පුළුවන්නේ, අපේ රට ස්වාභාවික සෞන්දර්යයෙන් අනූනයි, සුළං බලාගාර විශාල ප්‍රමාණයක් හැදුවම රටක් අවලස්සන වෙනවා, මේ බලාගාර නිසා කුරුල්ලෝ මැරෙනවා වගේ පරිසර හානිත් වෙනවා කියලා. ජල විදුලි බලාගාරයක් හැදුවත් ශාක්‍යතා අධ්‍යයනයක් කරන්න ඕන. එහෙත් ඒ අනෙක් බලාගාර ඉදි කරනවා වගේ නෙවෙයි, න්‍යෂ්ටික බලාගාරයක් ඉදිකිරීමේදී මහජන කැමැත්ත හුඟක් වැදගත්.

ප්‍රශ්නය: න්‍යෂ්ටික බලාගාරයක් හදනවා නම් තව මොන මොන කාරණා ගැනද සොයා බැලිය යුත්තේ?

පිළිතුර: වටපිටාවේ සැකැස්ම, විකිරණශීලිතාව මැනීමේ තාක්ෂණය දියුණු කරගැනීම, විකිරණ අනතුරකට මුහුණ දීමේ ක්‍රම, න්‍යෂ්ටික නියාමනයන්, න්‍යෂ්ටික ආරක්ෂාව හා ආරක්ෂණය ආදිය ගැන. ඒ වගේම සුදුසු භූමියක් තෝරාගන්නත් ඕන. මේ වගේ කරණු 19ක් පමණ සම්පූර්ණ කරගන්න වෙනවා.

ප්‍රශ්නය: ඉදිරියේදී න්‍යෂ්ටික බලය භාවිතයට ගන්නවා නම් අපි දැන් ක්‍රියාත්මක වෙන්න ඕන කොහොමද?

පිළිතුර: ඕනෑම රටක් න්‍යෂ්ටික විදුලි නිෂ්පාදනයට යනවා නම් පූර්ව ශක්‍යතා අධ්‍යයනයක් කරලා, න්‍යෂ්ටික බලයට යනවාද නැද්ද කියලා රජය තීරණයක් ගන්න ඕන. ඒ විධියට රජය තීරණය කළොත්, අදාළ වගකිවයුතු ආයතන එකතු වෙලා ඉහත කරුණු සම්පූර්ණ කරගෙන න්‍යෂ්ටික බලය භාවිතයට ගැනීම යථාර්ථයක් කරගන්න වැඩ කරන්න පුළුවන්.

ප්‍රශ්නය: න්‍යෂ්ටික බලාගාරයක් තැනීම සම්බන්ධයෙන් මේ වන විට රජයේ පාර්ශ්වයෙන් අවශ්‍ය පසුබිම හැදිලා නැද්ද?

පිළිතුර: න්‍යෂ්ටික බලාගාරයක් සම්බන්ධයෙන් පූර්ව ශක්‍යතා අධ්‍යයනයකට 2010දී කැබිනට් අනුමැතිය ලැබුණා. මහාචාර්ය කේ.කේ.වයි.ඩබ්ලිව්. පෙරේරා මහතාගේ මූලිකත්වයෙන් ඊට කමිටුවකුත් හැදුවා. ඒ කමිටුව වැඩ කරගෙන යන විට තමයි, ජපානයේ ෆුකුෂිමා අනතුර සිදු වුණේ. ඊට පස්සේ න්‍යෂ්ටික බලාගාරයකට තියෙන උනන්දුව අඩු වුණා.

ඉදිරියේදී අපට වෙන විකල්පයක් නැති නිසා නැවත වරක් න්‍යෂ්ටික බලය ගැන කතිකාවතක් ඇති වෙලා තියෙනවා. න්‍යෂ්ටික බලය අවශ්‍යතාව ගැන පසුගිය ජූලි 21වැනිදා පාර්ලිමේන්තුවේදීත් දීර්ඝ වශයෙන් සාකච්ඡා කෙරුණා.

ප්‍රශ්නය: න්‍යෂ්ටික බලාගාරයක් ස්ථාපනය ගැන කතා කරද්දී කවුරුත් හිතන්නේ න්‍යෂ්ටික අනතුරු ගැන.

පිළිතුර: ලෝකයේ න්‍යෂ්ටික බලාගාර අනතුරු වෙලා තියෙන්නෙ කිහිපයයි. මින් විශාලම අනතුර වන චර්නෝබිල් අනතුර 1986දී සිදුවුණේ ඉතා ප්‍රථමික තාක්ෂණයක් භාවිතයට ගැනෙමින් තිබියදී, එහි ක්‍රියාකරුවකුගේ නොසැලකිල්ල නිසා. ඊට පස්සෙ සිදු වූ අනතුර ජපානයේ ෆුකුෂිමා අනතුර. වසර 40කට වඩා පැරණි ෆුකුෂිමා බලාගාරය සුනාමියෙන් විනාශයට පත් වන විට එය වසා දමන්න ඔන්න-මෙන්න කියා තිබුණේ. ඇත්තටම එහි තිබුණ ආරක්‍ෂිත ක්‍රමවේදයන් යල්පැන ගිය ඒවා. විශාල වශයෙන් ඒ ගැන කතා වුණත් කිසිම ජීවිත හානියක් එමඟින් සිදු වුණේ නැහැ.

ප්‍රශ්නය: න්‍යෂ්ටික අනතුරු වළක්වාගන්න අවශ්‍ය තාක්ෂණය දැන් තියෙනවාද?

පිළිතුර: ඉහත අනතුරුවලින් උගත් පාඩම් සමග න්‍යෂ්ටික බලාගාර ඉඳිකිරීමේ තාක්ෂණය දැන් හුඟක් දියුණු වෙලා තිබෙන්නේ. එනිසා අනතුරකදී සිදු විය හැකි හානිය අවම කළ හැකියි. නව බලාගාරවල න්‍යෂ්ටික ප්‍රතික්‍රියාකාරකයට පිටතින් ඇති ආවරණය ඉදි වන්නේ, ගුවන් යානයක් එහි ගැටුණත් විනාශ නොවන තරමට ශක්තිමත්ව. එනිසා අනතුරකදී විකිරණශීලී මූලද්‍රව්‍ය පරිසරයට මුසු වීමේ හැකියාව අවමයි. ඒ වගේම අනතුරකදී න්‍යෂ්ටික ප්‍රතික්‍රියාකාරකය, පහළින් ඇති ජල තටාකයකට කඩා වැටෙන්න සැලැස්විය හැකි තාක්ෂණයක් තිබෙනවා. එවිට බාහිරයට බලපෑමක් නැහැ. මෙගා වොට් 100, 200 වැනි කුඩා න්‍යෂ්ටික ප්‍රතික්‍රියාකාරකත් දැන් නිපදවෙමින් තියෙනවා. එනිසා අනතුරකදී ඒවායෙන් ඇති වන බලපෑම සාපේක්ෂව අඩුයි. ප්‍රතික්‍රියාකාරකය මුහුදේ පා වෙන ආකාරයට සැකසීමෙන් අනතුරකදී එය මුහුදට ගිලා බස්වන්න පුළුවන්. මේ අන්දමේ විකල්ප කිහිපයක්ම තියෙනවා.

සංවාද සටහන
මංජුලා විජයරත්න

Comments