
පසුගියදා ලෝක මලල ක්‍රීඩා අඹරේ තවත් තරුවක් බිම වැටුණේය. ඒ උසේන් බෝල්ට් නම් ජැමෙයිකානු ජවාධිකයාය. සැබවින්ම බෝල්ට් යනු 'ලෙජන්ඩ්' එකකි. වසර දහයකට ආසන්න කාලයක් බෝල්ට් මලල ක්‍රීඩා අඹරේ ඉහළින්ම පෑයු තරුව විය. කිසිදු ආයාසයකින් තොරව ධාවන පථයේ ජයග්‍රාහී ඉලක්කය පසුකරන ඔහුගේ සිනාමුසු මුහුණ සහ ඉන් පසු අභිනයෙන් දක්වන දුන්නෙන් මිදුණු හීය ඔහුගේ අනන්‍යතාව විය.
එහෙත් පසුගියදා පැවති ලෝක මලල ක්‍රීඩා උලෙළේදී මේ ඊය බිම වැටුණේ යළි අහසට නොනඟින්නටය. තරග වැදීමට පෙරම එය තමාගේ අවසන් තරගය බව බෝල්ට් ප්‍රකාශ කර තිබිණි. එහෙත් ඔහුට ජයග්‍රාහී සමු ගැනීමකට තිබූ අවස්ථාව අමෙරිකාවේ ජස්ටින් ගැට්ලින් විසින් අකා-මකා දමනු ලැබීය. ඒ බෝල්ට් පරාජය කරමින් එම තරගයෙන් රන් පදක්කම ලබා ගනිමිනි. එම තරගයෙන් බෝල්ට්ට හිමි වූයේ ලෝකඩ පදක්කමයි.
එහෙත් සුවිශේෂත්වය එය නොවීය. බෝල්ට්ගේ පරාජයට හෝ ගැට්ලින්ගේ ජයග්‍රහණයට වඩා තරගය අවසාන වීමෙන් පසු ගැට්ලින්ගේ ප්‍රතිචාරය වඩාත් කතාබහට ලක් විය. ඔහු තම ජයග්‍රහණය සැමරීම මිනිත්තු කිහිපයකින් අවසන් කර වහාම බෝල්ට් වෙත ගොස් ඔහුට දණ නමා ආචාර කළේය. මේ ක්‍රියාවෙන් බෝල්ට්ද විමතියට පත් වූ බවක් දිස් විය.
සැබැවින්ම ගැට්ලින්ගේ ක්‍රියාව ක්‍රීඩාවේ සැබෑ අරමුණ පෙන්වා දුන් බව පැවසිය යුතුය. මේ අමෙරිකානුවා ලෝකයට ලෙජන්ඩ් එකක් වූ ජැමෙයිකානුවා අසල දණ නමා ආචාර කළේය. එය මුදලට තරග පාවා දෙන, තහනම් උත්තේජකවලින් ජයග්‍රහණය කරන තරග බිමක, ජයග්‍රාහකයා තම ජයග්‍රහණයෙන් උද්දාම නොවී තම පූර්වගාමියාට හිස නමා ආචාර කිරීම සැබවින්ම මිනිස්කම ඉස්මතු කළ අවස්ථාවක්ම වන්නේය. එහෙත් ජස්ටින් ගැට්ලින් කළු ජාතිකයකු නොවී සුදු ජාතිකයකු වූවා නම් එසේ හිස නමා කළු ජාතිකයකුට ආචාර කරයිද?
ටිරෝනි වෑවලගේ