සාන්තුවරුන්ගේ ක්‍රීඩා තරගාවලිය 26 - 27 මහනුවරදී... | සිළුමිණ

සාන්තුවරුන්ගේ ක්‍රීඩා තරගාවලිය 26 - 27 මහනුවරදී...

ස්වර්ණ ජයන්ති සැමරුම් සාන්තුවරුන්ගේ සිවුකොන් ක්‍රීඩා තරගාවලිය මේ මස 26 - 27 දෙදින මහනුවරදී පැවැත්වේ. මෙම තරගාවලියේ මෙවර සත්කාරකත්වය දරනු ලබන්නේ කටුගස්තොට ශාන්ත අන්තෝනි විද්‍යාලය විසිනි.

වාර්ෂිකව මෙම ක්‍රීඩා තරගාවලිය පැවැත්වෙන්නේ මෙරටේ ප්‍රධානතම කතෝලික පාසල් සතරක් අතරය. ඒ කටුගස්තොට ශාන්ත අන්තෝනි, කොටහේන ශාන්ත බෙනඩික්ට්, මරදාන ශාන්ත ජෝශප් සහ බම්බලපිටිය ශාන්ත පීතර යන විද්‍යාලයන්ය.

මෙම ක්‍රීඩා තරගාවලියට ක්‍රීඩා ත්‍රිත්වයක් අයත්ය. ඒ ක්‍රිකට්, පැසිපන්දු (බාස්කට්බෝල්) සහ රග්බිය. මින් ක්‍රිකට් ක්‍රීඩාවට අදාළව තරගාවලි දෙකකි. ඒ වයස අවුරුදු 40 ට වැඩි සහ අවුරුදු 40 ට අඩු වශයෙනි. මෙම තරග සඳහා මේ පාසල්වල අධ්‍යාපනය හදාරා ජාත්‍යන්තර හෝ ජාතික මට්ටමින් දස්කම් දැක්වූ ක්‍රීඩකයෝ සහභාගි වෙති.

මෙම සාන්තුවරුන්ගේ ක්‍රීඩා තරගාවලි ඉතිහාසයේ වැඩිම අවස්ථා ගණනකදී ක්‍රිකට් ශූරතාව (අවුරුදු 40 ට අඩු) හිමිකර ගෙන තිබෙන්නේ ශාන්ත ජෝශප් විද්‍යාලයයි. ඒ අවස්ථා 16 කදීය. මීට අමතරව ශාන්ත පීතර, ශාන්ත බෙනඩික්ට් 14 බැගින් සහ ශාන්ත අන්තෝනි 09 වතාවක් ද මෙම ශූරතාව හිමිකර ගෙන තිබේ.

වයස අවුරුදු 40 ට වැඩි ක්‍රිකට් ශූරතාව ශාන්ත අන්තෝනි විද්‍යාලය සත් වතාවක් ජය ගනිමින් ඉදිරියෙන්ම සිටියි. එහි සෙසු ශූරතා බෙනඩික්ට් 06, පීතර 03 සහ ජෝශප් 02 බැගින් ජය ගෙන තිබේ.

පැසිපන්දු ක්‍රීඩාවෙන් වැඩිම වතාවක් ශූරතාව හිමිකර ගනු ලැබුවේ බෙනඩික්ට් විද්‍යාලයයි. ඒ අවස්ථා 10 කදීය. ජෝශප් විද්‍යාලය වතාවක ශූරයෝය. අන්තෝනි සහ පීතරට තවමත් ශූරතාවක් නොමැත.

රග්බි ක්‍රීඩාවෙන් ශාන්ත පීතරට ශූරතා දෙකකි. ජෝශප්ට ශූරතාවයකි. තවමත් අන්තෝනි සහ බෙනඩික්ට්ට මෙහිදී ශූරතාවක් හිමි නොවීම විශේෂත්වයකි.

 

 

Comments