
ප්‍රශාන්ත ඇල්පිටිය
කාන්තා රග්බි ක්‍රීඩාවේ වැදගත්ම තරගාවලිය මේ දිනවලදී අයර්ලන්තයේදී පැවැත්වේ. ඒ 2017 රග්බි සංගම් කාන්තා ලෝක කුසලාන තරගාවලියයි. මෙවර පැවැත්වෙන්නේ අටවැනි තරගාවලියයි. අගෝස්තු 09 වැනිදා ඇරැඹුණු මෙවර තරගාවලිය අගෝස්තු 26 දක්වා පැවැත්වේ. මෙවරත් රටවල් 12 ක් තරග කරයි.
මුල් වටයේදී එම රටවල් කාණ්ඩයන් තුනක් යටතේ තරග කරනු ඇත.
ඒ කාණ්ඩය - කැනඩාව, නවසීලන්තය, වේල්සය, හොංකොං.
බී කාණ්ඩය - එංගලන්තය, අමෙරිකාව, ඉතාලිය, ස්පාඤ්ඤය
සී කාණ්ඩය - ප්‍රංශය, අයර්ලන්තය, ඔස්ට්‍රේලියාව, ජපානය.
මෙම රටවල් අතරින් අයර්ලන්තය සත්කාරක රට ලෙසට නිතරගයෙන්ම ලෝක කුසලාන වරම් ලැබීය. එංගලන්තය, කැනඩාව, ප්‍රංශය, නවසීලන්තය, අමෙරිකාව සහ ඔස්ට්‍රේලියාව 2014 ලෝක කුසලාන තරගාවලියේදී මුල් රටවල් අතර සිටීම නිසා ඔවුන් ද වරම් ලැබූහ. ඉතාලිය සහ වේල්සය 2015/2016 වසරවල ජාතින් 06 තරගාවලියන්හිදී දැක්වූ දස්කම් මත මෙවර ලෝක කුසලානයට සහභාගි වෙයි. මේ අතර යුරෝපයෙන් ස්පාඤ්ඤයත් ආසියාවෙන් ජපානය සහ හොංකොං 2016 වසරේදී මෙවර ලෝක කුසලානයට තේරුණි.
කාන්තා රග්බි ලෝක කුසලාන තරගාවලියක් ප්‍රථම වරට පැවැත්වූයේ 1991 වසරේදීය. එවර ලෝක ශූරියෝ වූයේ අමෙරිකාවයි. සාමාන්‍යයෙන් පිරිමි රග්බි ක්‍රීඩාවේදී අමෙරිකාව සහ කැනඩාව ඉතා ප්‍රබල රටවල් ලෙසට සැළකෙන්නේ නැත. එහෙත් කාන්තා රග්බි ක්‍රීඩාවේදී නම් ඔවුන් සුපිරිතම රටවල් අතර සිටිති.
මේ අතර රග්බි ක්‍රීඩාවේ සුපිරිතම රටක් ලෙසට සැළකෙන ඔස්ට්‍රේලියාවට එවැනි මට්ටමක් කාන්තා තරගවලදී නොතිබීම විශේෂත්වයකි. ඊට ප්‍රධාන වශයෙන් බලපා තිබෙන්නේ එරටේ රග්බි බලධාරින් කාන්තා අංශයේදී සත් සාමාජික තරගවලට වැඩි අවධානයක් යොමු කිරීමයි.
තරගාවලි ඉතිහාසය
1991
සත්කාරක රට වූයේ වේල්සයයි. ඊට රටවල් 12 ක් සහභාගි විය. එහෙත් මෙම කාන්තා මංගල ලෝක කුසලාන තරගාවලියට අන්තර්ජාතික රග්බි පාලක මණ්ඩලයේ (අයි. ආර්. බී.) අනුමැතිය ලැබුණේ නැත. අමෙරිකාව ලකුණු 19 - 06 කින් එංගලන්තය පරාජය කරමින් ලෝක ශූරියන් වූහ. ප්‍රංශය සහ නවසීලන්තයට සම තෙවැනි ස්ථානයයි.
1994
රටවල් 12 ක් සහභාගි විය. සත්කාරක හෙවත් තරගාවලිය පැවැත්වූයේ ස්කොට්ලන්තයේදීය. එවර ලෝක ශූරතාව එංගලන්තයටයි. අවසන් තරගයේදී ඔවුන් ලකුණු 38 - 23 කින් අමෙරිකාව පරාජය කළහ. ප්‍රංශයට තෙවැනි තැනයි. ඒ ලකුණු 27 - 00 කින් වේල්සය පරාජය කිරීම නිසාය.
1998
නෙදර්ලන්තය සත්කාරකත්වය දැරීය. රටවල් 16 ක් සහභාගි විය. නවසීලන්තයට ලෝක ශූරතාවයයි. අවසන් තරගයේදී ඔවුනට ලකුණු 44 - 12 ක ජයකි. එවරත් අනුශූරියන් වූයේ අමෙරිකාවයි. එංගලන්තය ලකුණු 31 - 15 කින් කැනඩාව පරාජය කරමින් තෙවැනි තැන හිමිකර ගත්තේය.
2002
ස්පාඤ්ඤය සත්කාරක රට විය. රටවල් 16 කි. යළිත් වතාවක් නවසීලන්තයට ලෝක ශූරතාවයයි. ඔවුන් ලකුණු 19 - 09 කින් එංගලන්තය පරාජය කරන ලදහ. ප්‍රංශයට තෙවැනි තැනය. ඒ ලකුණු 41 - 07 කිනි. සිවුවන තැන කැනඩාවටයි.
2006
කැනඩාව සත්කාරකත්වය දැරීය. රටවල් 12 කි. නවසීලන්තයට හැට්ට්‍රික් ලෝක ශූරතාවයයි. එංගලන්තයට අනුශූරතාවයයි. අවසන් තරගයේ ප්‍රතිඵලය ලකුණු 25 - 17 කි. එවරත් තෙවැනි තැන ප්‍රංශයටයි. ඒ ලකුණු 17 - 08 ක ජයක් කැනඩාව හමුවේ ලැබීමෙනි.
2010
රටවල් 12 කි. එංගලන්තය සත්කාරක රට විය. එමෙන්ම ඔවුන්ට එවරත් අනුශූරතාවයයි. යළිත් වතාවක් නවසීලන්තය ලෝක ශූරියන්ය. ඒ ලකුණු 13 - 10 ක තියුණු ජයක් නිසාය. ඔස්ට්‍රේලියාවට තෙවැනි තැනයි. ඔවුනට ලකුණු 22 - 08 ක ජයකි. එවර සිවුවන තැන ප්‍රංශයටයි.
2014
පිට පිට සිවු වරක් ලෝක ශූරියන් වූ නවසීලන්තයට මෙහිදී මුල් ස්ථාන සතරම අහිමි වීම විශේෂත්වයකි. ප්‍රංශයට සත්කාරකත්වය හිමි විය. රටවල් 12 කි. එංගලන්තය ලෝක ශූරියන්ය. අවසන් තරගයේ දී ඔවුනට ලකුණු 21 - 09 ක ජයකි. කැනඩාවට අනුශූරතාවයයි. ප්‍රංශය තෙවැනි තැන හිමිකර ගත්තේ ලකුණු 25 - 18 කින් අයර්ලන්තය පරාජය කරමිනි.
මෙවර ලෝක කුසලාන තරගාවලියට සහභාගි වන රටවලට හිමි වත්මන් ශ්‍රේණිගත කිරීම් මෙසේය.
(1) එංගලන්තය (2)නවසීලන්තය
(3) කැනඩාව (4) ප්‍රංශය
(5) අයර්ලන්තය (6) ඔස්ට්‍රේලියාව
(7) අමෙරිකාව (8) ස්පාඤ්ඤය
(9) ඉතාලිය (10) වේල්සය
(11) ජපානය (23) හොංකොං
මෙම රටවල් අතරින් කාන්තා රග්බි ලෝක කුසලාන තරගාවලියට ප්‍රථම වරට සුදුසුකම් ලැබූ එකම රට වනුයේ හොංකොංය. හොංකොං ඔවුන්ගේ මංගල ටෙස්ට් තරගයට සහභාගි වූයේ 1999 වසරේදීය.










