
මෙවර සන්ඩේ ඔබ්සර්වර් මොබිටෙල් පාසල් ක්‍රිකටර් සම්මාන උළෙලේ වසරේ දක්ෂතම තුන් ඉරියව් ක්‍රීඩකයා වූ වෙන්නප්පුව ජෝශප් වාස් විද්‍යාලයේ නිපුන ධනංජය පෙරේරා, ඩයලොග් පාසල් ක්‍රිකට් සම්මාන උළෙලේ දී ද වසරේ හොඳම තුන් ඉරියව් ක්‍රීඩකයා සහ වසරේ දක්ෂතම පාසල් ක්‍රීඩකයා අනුශූරයා ද විය. මේ නිපුනගේ හඬට අප වෙන්කළ ඉඩකඩයි.
ක්‍රිකට් ක්‍රීඩාවත් එක්ක ඔබේ සම්බන්ධය ගොඩනැඟෙන්නේ කොහොමද?
පුංචි කාලේ ඉඳලම තමයි මේකට මූලික අඩිතාලම වැටුණේ තාත්තාගෙන්. තාත්තා තමයි මාව ක්‍රිකට්වලට යොමු කරන්නේ.
තාත්තත් ක්‍රිකට්වලට සම්බන්ධවෙලා තියෙනවද?
ඔව්. තාත්තා සංඝබෝධි විද්‍යාලයේ අවුරුදු 15 න් පහළ දක්වා ක්‍රීඩා කරලා තියෙනවා. ඒ තැනින් උඩට තාත්තාට එන්න ලැබිලා නෑ. ඒ ආසාව නිසාම තමයි තාත්තා මා තුන වසරේදීම ක්‍රිකට්වලට යොමු කරන්නේ.
ඔබ ක්‍රිකට්වලට යොමුවෙලා කොච්චර කල් වෙනවාද?
දැනට අවුරුදු නවයක් විතර වෙනවා.
ඔබේ ගම් පලාත කොහේද?
ගම නාත්තන්ඩිය බාඳුරාව. එක වසරේ ඉඳලා අට වසර දක්වා ධම්මිස්සර විද්‍යාලයේ ඉගෙන ගත්තේ. අට වසරේදී තමයි ජෝශප් වාස් විද්‍යාලයට ආවේ.
ඒ එන්නේ ක්‍රිකට් නිසාද?
ඔව්. ඉස්සෙල්ලාම ධම්මිස්සර විද්‍යාලයෙන් තමයි ක්‍රිකට් පටන් ගත්තේ.
ධම්මිස්සර විද්‍යාලය කියනකොට මතක් වෙන්නේ වොලිබෝල් ක්‍රීඩාවනේ. ඔබට වොලිබෝල් මඟහැරෙනවාද?
ආසාව නිසා තමයි ක්‍රිකට්වලට යොමු වුණේ. තාත්තාගේ කැමැත්ත තිබුණෙත් ක්‍රිකට් නිසා ඒකට යොමු වුණා. ඒක එහේම නොවුණා නම් වොලිබෝල්වලට යොමු වෙන්නත් තිබුණා.
ක්‍රිකට් ක්‍රීඩාවේ ඔබේ තනි නොතනියට ළඟින් ඉන්නේ කවුද?
අම්මයි තාත්තයි දෙන්නම ඉන්නවා.
ධම්මිස්සරයෙන් ජෝශප් වාස් එනකොට ඔබේ ක්‍රිකට්වලට රුකුලක් වුණාද?
ධම්මිස්සරය තෙවැනි කාණ්ඩයේ, ජෝශප් වාස් පළමු කාණ්ඩයේ ක්‍රීඩා කරන්නේ. ඒක ලොකු වෙනසක් නෙවෙයි.
ඒ වුණාට ධම්මිස්සරයේ ඉන්නකොට නොලැබුණු හුඟක් දේවල් ජෝශප් වාස් ආවාම ලැබුණා.
මොනවද ඒ?
2015 මැලේසියාවේ අවුරුදු 15 න් පහළ සංචාරයේ නායකත්වය ලැබුණා. අපි ඒ තරගාවලියේ ශූරයන් වුණා. මාත් එක්ක දිලුම් සුදීර ඒ තරගාවලිය හරහා හුඟක් ඉදිරියට ආවා. දිලුම් 19 න් පහළ සංචිතයෙත් ඉන්නවා.
කවුද ඒ තරගාවලියට ආවේ?
අපි එක්ක මැලේසියාව, ඉන්දියාව, බංග්ලාදේශය, සිංගප්පූරුව සහ දකුණු අප්‍රිකාව.
විශේෂයෙන් ආසියාවේ රටවල් එක්ක දකුණු අප්‍රිකානුවන්ගේ විශේෂ වෙනසක් තිබුණාද?
දක්ෂතා අතින් නම් ලොකු වෙනසක් නෑ. ශරීරවල ස්වභාවය අතින් විතරයි ඔවුන් හා අප අතර වෙනසක් තිබුණේ. ඊට වඩා වෙනසක් නම් නෑ. ඉන්දියාවේ පවා මහා වෙනසක් තිබුණේ නෑ.
ඔබේ ක්‍රිකට් ගමන මොනවද හමුවන බාධක එහෙම?
එහෙම නම් විශේෂයෙන් කියලා බාධක නම් මුණ ගැහිලා නෑ.
ඔබ ක්‍රිකට්වලදි වැටුණු අවස්ථාව තියෙනවා ද?
තරගවල ලකුණු අතරට එන්න බැරිවෙනකොට නම් මානසිකව පහළට වැටෙනවා. ඒ මොනව වුණත් ආපසු හොඳ පිබිදීමකින් ගොඩ එනවා.
ඒ වගේ වෙලාවට උදව්වට ඉන්නේ කවුද?
අම්මා - තාත්තා, විදුහල්පතිතුමා, පුහුණුකරුවන් හුඟක් උදව් කරනවා.
එහෙම වැටුණු වෙලාවක ලැබුණු හොඳම උපදේශය මොකක්ද?
එහෙම අවස්ථා නම් ගොඩක් තියෙනවා. හැම වෙලාවෙම කියන්නේ ඔලුව පහළ දා ගෙන ගහන්න කිසිම වෙලාවක ඇති කියලා හිතන්නේ නැතුව දිග ඉනිම්වලට යන්න කියලා තමයි. මේක ඉවර වෙන්නේ නැති එකක් කියලා සෙල්ලම් කරන්න තමයි.
ඔයාගේ ක්‍රීඩා ලෝකයේ වීරයෝ කවුද?
සංගක්කාර සහ ඩේවිඩ් මිලර්ට හුඟක් කැමැතියි. ඒ දෙන්නා තමයි මගේ වීරයෝ. දෙන්නගේ බැටිං සහ පන්දු රැකීම තුළින් මට ගන්න තියෙන දේවල් ගැන තමයි හැම වෙලාවේම උනන්දු වෙන්නේ. ඒ දෙන්නා බැටිංවලදි සහ පන්දු රැකීමේදී කණ්ඩායමට දෙන සපෝර්ට් එක කොහොමද කියලා තමයි උනන්දු වෙන්නේ.
ඔබට ඔබව වීරයෙක් විදියට දැනුණු අවස්ථා තියෙනවද?
ඔව්. මලයාසියාවේ සංචාරයේ තරගාවලියේ වීරයා වුණා. තරග හතරකදි ලකුණු 185 යි, විකට් අටක් ගත්තා.
ඔබේ කෙටි ක්‍රීඩා ජීවිතය දිහා හැරිලා බලනකොට මොනවද හිතෙන්නේ?
හුඟක් වැරැදි හදා ගෙන අද ඉන්න තැනට එන්න පුළුවන් වෙච්ච එක ගැන සතුටුයි.
ඔබ තරගයකට යනකොට තියෙන ඉලක්ක මොනවද?
පුළුවන් තරම් හොඳට ක්‍රීඩා කරලා ටීම් එක දිනවන්න තමයි බලන්නේ. ටීම් එක මං ගැන තියෙන විශ්වාසය සම්පූර්ණ කරන්න තමයි හැම වෙලාවේම බලන්නේ.
මේ වසර ඔබ පාසල් ක්‍රිකටර්ස්ලා අතර සම්මාන රැසකට හිමිකම් කියනවා?
ඔව්. වයස අවුරුදු 15 න් පහළ සිංගර් සම්මාන උළෙලේ දක්ෂතම ක්‍රීඩකයා, හොඳම පිතිකරුවා සහ වසරේ පාසල් ක්‍රිකට් ක්‍රීඩකයා. ඩයලොග්වල පාසල් ක්‍රිකට් ක්‍රීඩකයා අනුශූරතාව සහ දක්ෂතම තුන් ඉරියව් ක්‍රීඩකයා. සන්ඩේ ඔබ්සර්වර් මොබිටෙල්වල වසරේ හොඳම තුන් ඉරියව් ක්‍රීඩකයා වෙනවා.
මේ සම්මාන දිහා බලනකොට මොනවද හිතෙන්නේ?
තාත්තා මාව ක්‍රිකට්වලට යොමු කළාට ගොඩක් පිං කියලා හිතනෙවා. ගොඩක් සතුටුයි.
කොහොමද හෙට ගැන බලාපොරොත්තු තියාගෙන ඉන්නේ?
මුලින්ම ශ්‍රී ලංකා 19 න් පහළ සංචිතයට එන්න ඕනා. එතැන ඉඳලා එන විදියට අනාගතයට මුහුණ දෙන්න බලනවා.
හම්බවෙන හැම තරගයකදීම හොඳට කරලා, ක්‍රිකට් ජීවිතය සාර්ථක කරගන්න බලනවා. මගේ ගමන එක්ක හුඟක් අය ඉන්නවා. ඒ සියලුම දෙනා මේ වෙලාවේ ආදරයෙන් මතක් කරනවා.










