ආයතනයේ විදුලි බිල වැඩි නම් බලශක්ති විගණනය සිදු කරගන්න | Page 2 | සිළුමිණ

ආයතනයේ විදුලි බිල වැඩි නම් බලශක්ති විගණනය සිදු කරගන්න

 සාමාන්‍යයෙන් අප විගණනය ගැන කතා කරන්නේ ගණකාධිකරණ ක්ෂේත්‍රය තුළයි. මූල්‍යය විගණනයන් හැරුණු විට බලශක්ති විගණනයන්ද සිදු කෙරේ. බලශක්ති විගණනයක් යනු කුමක්ද? එය සිදු කරන්නේ කෙසේද? වැනි කාරණා ගැන අප තවමත් දැනුවත්ව ඇත්තේ මඳ වශයෙනි. බලශක්ති විගණනයන් පිළිබඳ කරුණු අනාවරණය කරගැනීම සඳහා ශ්‍රී ලංකා සුනිත්‍ය බලශක්ති අධිකාරියේ වරලත් ඉංජිනේරු සමන් ඇල්විටිගල මහතා සමඟ සම්මුඛ සාකච්ඡාවක යෙදෙන්නට අප අදහස් කළේ එනිසයි.

ප්‍රශ්නය: බලශක්ති විගණනයක් කියන්නේ කුමක්ද?

සාමාන්‍යයෙන් අපි විගණනයන් කරන්නේ ගිණුම් ආදිය සම්බන්ධවයි. එහෙත් බලශක්ති විගණනයකදී බලශක්තිය සහ මුදල් යන අංශ දෙකම විගණනය කෙරෙනවා. බලශක්ති විගණනයකුත් ගිණුම් අංශයේ විගණනයකට සමාන වුණත් වෙනස්කම් තිබෙනවා.

ප්‍රශ්නය: බලශක්ති විගණනයක් සිදු කිරීමෙන් බලාපො රොත්තු වන්නේ කුමක්ද?.

යම් බලශක්ති පරිවර්තන ක්‍රියාදාමයක හෝ පරිශ්‍රයක හෝ සේවකයන්ගේ සහභාගීත්වය සහ මූල්‍ය ආයෝජන සහිතව ක්‍රියාත්මක කරන කාර්යයකින් එහිබලශක්ති කාර්යක්ෂමතාව ඉහළ නැංවීමත් බලශක්ති ඉල්ලුම කළමනාකරණය කරගැනීමත් කියන කාරණා දෙක ඉටුකරගැනීමයි. එය තවදුරටත් බලශක්ති ගලනය ක්‍රමානුකුලව විශ්ලේෂණය කිරීමේ වැඩපිළිවෙළක්.

ප්‍රශ්නය: බලශක්ති විගණනයක් කරන්නේ කවර ආකාරයේ ස්ථාන ආශ්‍රිතවද?

එයරාජ්‍ය හෝ පෞද්ගලික ආයතන, කර්මාන්ත ශාලා, වාණිජ අංශ ගොඩනැඟිලි සඳහා කෙරෙන්නක්.

ප්‍රශ්නය: නිවෙසක බලශක්ති කළමනාකරණය සඳහා එවැනි විගණනයක් අවශ්‍ය නැහැ කියන කාරණයද ඔබ කියන්නේ?

ඔව්, නිවෙසක බලශක්ති කළමනාකරණය කරගත යුත්තේ අපමයි. එහිදී වැදගත් වෙන්නේ කාර්යක්ෂම විදුලි උපකරණ භාවිතය සහ උපකරණ කාර්යක්ෂමව භාවිතයට ගැනීම කියන කාරණයන්. ඒ වගේම නිවෙසේ ඇති විද්යුත් උපකරණ නිසියාකාරව නඩත්තු කිරීමත් වැදගත්. නිවෙසේ බලශක්තිය ඉතිරි කරගන්න අනුගමනය කළ යුතු දේ මොනවද කියලා අප ආයතනයේ වෙබ් අඩවියේ සඳහන් කර තිබෙනවා. ඒ ගැන දැනගන්න http://www.energy.gov.lk කියන අපේ වෙබ් අඩවියට පිවිසෙන්න. එමෙන්ම අප ආයතනය ප්‍රකාශයට පත් කර ඇති “අඩු විදුලි බිලකට මඟ” ග්‍රන්ථයෙනුත් වැඩි විස්තර ලබාගන්න පුළුවන්.

ප්‍රශ්නය: බලශක්ති විගණනය කෙරෙන්නේ කොහොමද?

බලශක්ති විගණන වර්ග තුනක් තියෙනවා. ඒ තුන් ආකාරයෙන් එකක් හෝ දෙකක් හෝ ආකාර තුනම හෝ කිසියම් ආයතනයක් වෙනුවෙන් භාවිතයට ගන්න පුළුවන්. සිදු කළ යුත්තේ කවර ආකාරයේ බලශක්ති විගණනයක්ද කියලා තීරණය කෙරෙන්නේ විගණනයට භාජනය වන ආයතනය සහ එහි විගණනය කළ යුතු වපසරිය අනුවයි.

ප්‍රශ්නය: බලශක්ති විගණන වර්ග තුන මොනවාද?

පළමුවැන්න හැඳින්වෙන්නේ ප්‍රාථමික විගණන වශයෙන්. දෙවැන්න, සවිස්තරාත්මක විගණන. තුන්වැනි විගණන වර්ගය සවිස්තරාත්මක විශ්ලේෂණය සහ ශක්‍යතා අධ්‍යයන කිරීම වශයෙනුත් හඳුන්වන්න පුළුවන්.

ප්‍රශ්නය: පළමු වර්ගයේ බලශක්ති විගණනයක් එහෙමත් නැත්නම් ප්‍රාථමික බලශක්ති විගණනයක් කියන්නේ කුමක්ද?

බලශක්ති විගණන නිලධාරීන් ආයතනට පිවිස එහි නිරීක්ෂණය කිරීමෙන් තමයි මේ අධ්‍යයනය සිදු කරන්නේ. එහිදී නිරීක්ෂණ කළ හැකි දේ ඔවුන් ආයතන බලධාරීන්ට පෙන්වා දෙනවා. නිදසුනක් හැටියට ආයතන පරිශ්‍රයේ දැල්වෙන විදුලි බුබුළු සංඛ්‍යාව වැඩි නම් එය කොපමණ ප්‍රමාණයක් දක්වා අඩු කළ යුතුද සූර්යයාලෝකය ලබාගැනීමට කළ යුතු දේවල් මොනවද යන්න පෙන්වා දෙන්නේ මෙවැනි විගණනයකින්. බලශක්ති භාවිතය ගැන දැනුවත් කිරීම් කෙරෙන්නෙත් මේ යටතේ. නඩත්තු කිරීම් ගැනත්, ප්‍රාථමික විගණනයකදී සොයා බැලීමක් කෙරෙනවා. ඒ හැරුණම විදුලි බුබුළු, උපකරණ අනවශ්‍ය වෙලාවට නිවා දැමීම, භාවිතයට ගත යුතු විදුලි බුබුළු සංඛ්‍යාව, වර්ග ආදිය ගැනත් නිර්දේශ ඉදිරිපත් කෙරෙන්නේ මෙවැනි ප්‍රාථමික විගණනයකදී. ආයතනයේ යන්ත්‍ර සූත්‍රවල විදුලිය භාවිතය ගැන මිනුම් කටයුතු කිරීමක් මේ යටතේ සිදු වෙන්නේ නැහැ. මෙහි ප්‍රතිදානය (output) කෙටි වාර්තාවක්.

ප්‍රශ්නය: දෙවැනි ආකාරයේ විගණනයක් - එහෙමත් නැත්නම් සවිස්තරාත්මක විගණනයක් සිදු කෙරෙන්නේ කොහොමද?

එවැනි විගණනයකදී නිරීක්ෂණයන්ට අමතරව ආයතනයේ හැම තැනක්ම නිරීක්ෂණය කිරීමත් උපකරණ සවි කර මිනුම් ලබාගැනීමත් සිදු වෙනවා. ආයතනයේ බලශක්ති භාවිතයට අදාළ දත්ත සියල්ල ඒකරාශී කරගන්නවා. ඒ වගේම නිෂ්පාදන සහ සේවා තොරතුරුත් වුවමනා වෙනවා. අනතුරුව සිද්ධ වෙන්නේ ඒ ලබාගන්න දත්ත, විශ්ලේෂණය කිරීමක්. මසකට බලශක්තිය වැය වන ආකාරය අපට ප්‍රස්තාරවලට නඟන්න පුළුවන්. ආයතනයේ වායුසමනය කටයුතුවලට, ආලෝකකරණය සඳහා, විදුලි සෝපානයට, ආයතනයේ භාවිතයට ගැනෙන යන්ත්‍ර සූත්‍රවලට කොපමණ විදුලිය ප්‍රමාණයක් පාවිච්චි වෙනවාද, ඒවා ප්‍රතිශතයක් හැටියට කොපමණද කියලා ගණනය කරගන්නවා. ඒ දත්තවලින් බලශක්ති තුලනය, (ඒ ඒ අංශවලට කොපමණ බලශක්තිය ප්‍රමානයක් වැයවෙනවද යන්න) දෛනික විදුලි ඉල්ලුම් වක්‍රය වැනි ප්‍රස්තාර ලබාගන්න හැකි වෙනවා. බලශක්තිය ඉතිරි කිරීමට වැඩි අවධානයක් යොමු කළ යුත්තේ කුමන අංශයකටදැයි කියා මෙමඟින් සොයාගන්න පුළුවන්.

ප්‍රශ්නය: ඒ දත්ත අනුව ආයතනයට බලශක්තිය ඉතුරු කරගත හැකි කෙසේද කියා මෙමඟින් නිර්දේශ ඉදිරිපත් කෙරෙනවද?

ඔව්, ඇත්තටම එය සිදු වෙනවා. නිදසුනක් හැටියට විගණනයට ලක් කෙරුණු ආයතනයක තියෙන වායු සමන යන්ත්‍රයක්/පද්ධතියක් අකාර්යක්ෂමයි කියලා හිතන්න. එය ඉවත් කළ යුතුයි කියලා අපි පෙන්වා දෙනවා. ඒ වෙනුවට ඉන්වර්ටරයක් සහිත වායු සමන යන්ත්‍රයක්/කාර්යක්ෂම වායු සමන පද්ධතියක් යොදන්න කියලා අපි විගණනයෙන් නිර්දේශ කරනවා. ඒ වගේම එම ආයතනයේ වායු සමන කටයුතුවලට යන බලශක්ති ප්‍රමාණය වැඩි නම් ඒ ගැන අපි තවදුරටත් සොයලා බලනවා. ආයතනයේ දොරවල් ආදිය නිසි පරිදි වැසී නැති විටත් වැඩි සූර්ය තාපයක් ලැබෙන විටත් වායු සමනය සඳහා වැඩි බලශක්ති ප්‍රමාණයක් යනවා. සවිස්තරාත්මක අධ්‍යයනයකදී අප ලබාදෙන නිර්දේශ ක්‍රියාත්මක කරන්න සමහරවිට මුදලක් කොහෙත්ම වැය නොවෙන්න පුළුවන්. තවත් සමහර නිර්දේශ ක්‍රියාත්මක කරන්න අඩු මුදලක් හෝ මධ්‍යම ප්‍රමාණයේ මුදලක් හෝ ඉතා ඉහළ ප්‍රමාණයේ මුදලක් හෝ වැය කරන්න සිදු වෙන්නත් පුළුවන්.

ප්‍රශ්නය: තෙවැනි ආකාරයේ බලශක්ති විගණනයක් කෙබඳුද?

ශක්‍යතා අධ්‍යනයක් කිරීම මෙහිදී සිදු වෙනවා ඒ වගේම මූල්‍ය විශ්ලේෂණයකුත් කෙරෙනවා. ඒවා මත පදනම්ව තමයි ආයතනයේ බලශක්ති භාවිතය ගැන තීරණයන්ට එන්නේ. ඉතා ඉහළ වියදමක් දරා කළ යුතු වෙනස්කම් පිළිබඳ වැඩිදුර අධ්‍යයනයක් මෙහිදී සිදු වෙනවා.

ප්‍රශ්නය: තෙවැනි ආකාරයේ විගණනයකට යා යුත්තේ කවර ආකාරයේ ආයතනද?

සවිස්තරාත්මක විගණනයකින් පසු බලශක්තිය ඉතුරු කරන ව්‍යාපෘතියක් නිර්දේශ කළ විට එහි ශක්‍යතා දැනගැනීමට සහ මූල්‍ය විශ්ලේෂණය පිළිබඳ නිගමනයකට ඒමට අවශ්‍ය වූ ආයතනවලට මෙය භාවිත කළ හැකියි.

ප්‍රශ්නය: මේ විධියට කෙරෙන නිර්දේශ ක්‍රියාත්මක කළ පසු ඒ ආයතනවල බලශක්ති කාර්යක්ෂමතාව සහ ඉල්ලුම කළමනාකරණය ගැන පසු විපරමක් කෙරෙනවාද?

ඔව්, විගණනයකට ලක් වුණු එවැනි ආයතනයක බලශක්ති කළමනාකාරවරයකු, නිලධාරියකු පත් කර, ඒ පිළිබඳ පසු විපරම් කළ යුතුයි. ශ්‍රී ලංකා සුනිත්‍ය බලශක්ති අධිකාරී පනත හා අදාළ චක්‍රලේඛන අනුව මසකට ඒකක 50,000කට වඩා වැඩියෙන් භාවිතයට ගන්න ආයතන කර්මාන්ත ශාලා බලශක්ති කළමනාකරුවකු සහ ඔහු යටතේ ක්‍රියාකරන කණ්ඩායමක් පත් කළ යුතුයි. බලශක්ති කළමනාකරණ නිලධාරියා හෝ බලශක්ති කළමනාකරු හෝ ඒ ආයතනයේ බලශක්ති කාර්යක්ෂමතාව සහ ඉල්ලුම කළමනාකරණය පිළිබඳ කටයුතු අනතුරුව සොයා බැලිය යුතු වෙනවා.

ප්‍රශ්නය: සුනිත්‍ය බලශක්ති අධිකාරිය බලශක්ති විගණනය කරනවාද?

ඔව්, අප ආයතය හැකි පමණ බලශක්ති විගණනය කරනවා. ඒ හැරුණු විට ඒ කර්තව්‍යය කරන බලශක්ති සේවා සපයන ආයතන සහ පිළිගත් බලශක්ති විගණකවරුන් බලශක්ති විගණනයන් කරනවා.

මංජුලා විජයරත්න

Comments