
නිතර සිංහල ව්‍යවහාරයෙහි යෙදෙන සංස්කෘත තත්සම කිහිපයෙක හරි වහර අදත් විමැසිල්ලට ලක් කරමු.
1. ඝට්ටන - මෙහි (මහාප්‍රාණ) ‘ස’ යෙදෙන සැට ද (අල්පප්‍රාණ) ‘ට්ට’ සංයෝගය යෙදෙන සැටි ද මැනැවින් අවධානයට ලක් කළ යුත්තේ ය. එ තන්හි (අල්පප්‍රාණ) ‘ග’ යෙදීම ද ‘ට්ට’ සයෝගයෙහි දෙ වන ‘ට’ (මහාප්‍රාණ කොට) ට්ඨ (ගට්ඨන) යි යෙදීම ද ඉඳුරා ම වැරැදි වේ. මෙහි යෙදෙන ‘න’ වර්තමාන කෘදන්ත ‘අන’ ප්‍රත්‍යයයේ යෙදෙන ‘න’ යි. එහෙයින් එය මූර්ධජ කොට යෙදීම ද වරදෙකි. මෙහි අරුත ගැටීම යි.
2. ඝට - මෙහි දු (මහාප්‍රාණ) ‘ඝ’ හා අල්පප්‍රාණ ‘ට’ යෙදෙන සැටි සැලැකිල්ලට ගත මනා ය. පාලියෙහි දු සමාන රූපයෙන් යෙදෙන මේ සඳහා සිංහලයෙහි ‘කළ’ (ජලය ආදිය රඳවන බඳුන) යන්න යෙදේ.
3. ඝන - මෙහිදී (දන්තජ) ‘න’ හා යෙදෙන අයුරු පිළිබඳ ව ය. දැඩි, තද, මහත වැනි අරුත් හි යෙදෙන්නේ මෙ වදන යි. බොහෝ දෙනකු මෙහි (මූර්ධජ) ‘ණ’ යොදා ‘ඝණ’ යි ලියතුදු එයින් යට කී අරුත් නො ලැබේ. සිංහලයෙහි ‘ගන’ යනු යෙදේ. (‘ගන’ යටතේ වැඩි විස්තර) දැක්විණ.
4. ඝනීකෘත - පෙර දැක්වුණු ‘ඝන’ යන්නට ‘ඊ’ ප්‍රත්‍යයය එක් වීමෙන් නිපන් ‘ඝනී’ යන්නට ‘කෘ’ ධාතුවෙන් නිපන් ‘කෘත’ යන අතීත කාල පදය එක් වීමෙන් නිපන් වදනෙකි. මෙහි කෘත යන්නෙහි දු අග (අල්පප්‍රාණ) ත විනා ‘ථ’ නොයෙදෙන බව විශේෂයෙන් සැලැකිය යුතු වේ. ඝනීකරණය කරන ලද හෙවත් ඝන බවට පත් කරන ලද යනු මෙහි අරුතයි.
5. ඝනීභවන - පෙර කියන ලද ‘ඝනී’ යන්නට ‘භවන’ යන වර්තමාන කෘදන්තය එක් වීමෙන් නිපන් පදයෙකි. භවන යන්නෙහි (මහාප්‍රාණ) ‘භ’ හා (දන්තජ)’ ‘න’ හා යෙදීමට සැලැකිලිමත් විය යුතු ය.
ඝන බවට පත් වීම යනු අරුත යි.
6. ඝණ්ටා - මෙ වදනෙහි අග යෙදුනුයේ (අල්පප්‍රාණ) ‘ට’ විනා (මහාප්‍රාණ) ‘ඨ’ නො වේ. මේ බොහෝ වියතුනුදු වරදවන වදනෙකි. ට (යන මූර්ධජ) අක්ෂරයට පෙර යෙදෙන හෙයින් ‘ණ්’ යනුදු මූර්ධජ ම වේ. එ මෙන් ම මෙහි මුල (මහාප්‍රාණ) ඝ විනා (අල්පප්‍රාණ) ග නොයෙදේ. එ ද (දීර්ඝ) ‘ඝා’ නො වේ. එ හෙයින් ගණ්ටා, ගාණ්ටා, ඝාණ්ටා, ඝණ්ඨා වැනි සියලු රූප සාවද්‍ය සේ සැලැකිය යුතු වේ.
මේ හා සබැඳි අනෙක් වදනක් නම් ‘ඝණ්ටාර’ යනු යි. ඝණ්ටා යන්නට ම ‘රව’ යන්න එක් වීමෙන් නිපන් එහි අරුත ඝණ්ටා රාවය යනු යි. එ හෙයින් ‘ඝණ්ටා’ යනු යෙදිය යුතු තන්හි ‘ඝණ්ටාර’ යනු යෙදිය හැකි නො වේ. ඝණ්ටාර නාදය, ඝණ්ටාර ශබ්දය වැනි යෙදුම් ද එ අනුව සාවද්‍ය සේ සැලැකීමට සිදු වේ.
7. ඝර්ම - වදනෙහි මුල (මහාප්‍රාණ) ‘ඝ’ විනා (අල්පප්‍රාණ ‘ග’ නොයෙදීමට සැලැකිලිමත් විය යුතු ය. උණුසුම, උෂ්ණය හඟවන පිණිස යෙදේ.