දැළිපිහියෙන් කිරි කෑම හෙවත් පාකිස්තානයේ අගමැති පදවිය | සිළුමිණ

දැළිපිහියෙන් කිරි කෑම හෙවත් පාකිස්තානයේ අගමැති පදවිය

 පකිස්තානයේ තවත් අගමැතිවරයකු පත්ව තිබේ. ඔහු නමින් ෂාහිද් ඛාකාන් අබාසිය. ඔහුගේ ධුරකාලය දින 45කට සීමා වන්නේ ය. ඒ පාකිස්තාන මුස්ලිම් ලීගයේ නවාස් පාර්ශ්වයේ සැබෑ අගමැතිවරයා ලෙස හිටපු අගමැති නවාස් ෂරීෆ්ගේ සොහොයුරු සබාෂ් ෂරීෆ් පත් කිරීමට පක්ෂය සැලසුම් කර ඇති බැවිනි. එහෙත් සිකුරාදා උදෑසන වන විටත් කැබිනට් මණ්ඩලය පත් කරගැනීමට නව අගමැතිවරයාට නොහැකි වී තිබේ. නවාස් ෂරීෆ්ගේ පාලනය යටතේ එක්සත්ව සිටියද නව අන්තර්වාර අගමැතිවරයා පත්වු විට පක්ෂය තුළ විශේෂයෙන්ම එහි ජ්‍යේෂ්ඨ සාමාජිකයන් තුළ බලය පිළිබඳ හැඳීම් උත්සන්න වී ඇති බව විචාරකයන්ගේ අදහස වී තිබේ‍. එසේ හෙයින් නව කැබිනට් මණ්ඩලය ප්‍රකාශයට පත් කිරීමට අදාළ තීන්දුව යළි සාකච්ඡා කර ගැටලු නිරාකරණය කරගැනීමට මුස්ලිම් ලීගයේ ජ්‍යේෂ්ඨ සාමාජිකත්වය තීරණය කර තිබිණි.

තෙවරක් පාකිස්තානයේ අගමැති පදවිය හෙබවු ප්‍රබල නායක නවාස් ෂරීෆ් තවදුරටත් ඒ පදවිය දැරීමට නුසුදුසු බව එරට ශ්‍රේෂ්ඨාධිකරණය පසුගියදා තීන්දු කළේ කුප්‍රකට පැනමා පත්‍ර හරහා නැඟුණු දුෂණ චෝදනා පදනම් කරගනිමිනි. තීන්දුව කොතරම් ප්‍රබලව ප්‍රකාශ වී ඇත්දැයි කිව හොත් එමගින් නවාස් ෂරීෆ්ට කිසිදු රාජ්‍ය පදවියක් දැරීම තහනම් වන ආකාරයෙන් ලබා දී තිබේ. ඒ අනුව පාකිස්තානයේ බලවත්ම හා ජ්‍යේෂ්ඨතම නායකයකු වන නවාස් ෂරීෆ්ගේ දේශපාලනික දිවිමඟේ අවසානය මෙයද යන්න ප්‍රශ්නයක් ලෙස නැඟී තිබේ. තීන්දුව සම්බන්ධයෙන් ගැටලු සහගත තැන් රැසක් පවතී. නවාස් ෂරීෆ්ට එරෙහි දූෂණ චෝදනා පිළිබඳ අධිකරණමය විමර්ශනය ආරම්භ වුයේ පැනමා පත්‍ර පදනම් කරගනිමින් වුවද ඔහුගේ පදවිය තහනම් කරමින් නියෝගය නිකුත් වන්නේ වෙනත් කරුණක් පදනම් කරගනිමිනි. නවාස් ෂරීෆ්ගේ පුත්‍රයාගේ ඩුබායි සමාගමෙන් නවාස් ෂරීෆ්ට ලැබෙන ආදායම හෙළි නොකිරීම ඔහුට එරෙහිව දඬුවම් ප්‍රකාශයට පත් කළ මුල සාධකයයි. තනතුර හැරයෑමේදි පවා එම කරුණ හෙළි නොකිරීම නවාස් ෂරීෆ්ට එරෙහිව නැගි ඇති විවෘත චෝදනාවයි. නවාස් ෂරීෆ් පදවියෙන් ඉවත් කිරීමත් සමග පාකිස්තානය තුළ පුළුල් දේශපාලනික සංවාදයක් ආරම්භ වී තිබේ. ඒ ප්‍රජාතන්ත්‍රවාදි ලෙස බලයට පත් වන නායකයකුට පාකිස්තානය තුළ කොතරම් කාලයක් රැඳී සිටිය හැකිද යන කරුණ ගැන සැලකිල්ල යොමු වීමයි. ඒ තරමටම පාකිස්තානයේ අගමැති පදවිය හෙබවීම අභියෝගාත්මකය.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුව අගමැතිවරයා යනු පාකිස්තානයේ රජයේ ප්‍රධානියා මෙන්ම රටේ ප්‍රධාන විධායක නිලධාරියාද වෙයි. රාජ්‍ය පාලනයේ විධායක බලය ඔහු සතුය. කැබිනට් මණ්ඩලයේ මෙන්ම පාර්ලිමේන්තුවේ ආණ්ඩු පක්ෂ කණ්ඩායමේ ප්‍රධානියාද වන්නේ අගමැතිවරයායි. පාකිස්තානය යනු දකුණු ආසියාවේ සිටින න්‍යෂ්ටික බලවත් රාජ්‍ය දෙකෙන් එකකි. දියුණු න්‍යෂ්ටික අවි පද්ධතියකින් සමන්විත පාකිස්තානයේ න්‍යෂ්ටික අවි ප්‍රහාරයක් පිළිබඳ අවසන් තීන්දුව ගැනීම පැවරෙන්නේද අගමැතිවරයාටයි. මේ අනුව බලන කල අගමැති පදවිය යනු පාකිස්තානයේ අතිශය ප්‍රබල මෙන්ම වැදගත්ම පදවිය වන්නේ එය මහජන ඡන්දයෙන් පත් කෙරෙන තනතුරක් වීම නිසාය. ජනාධිපතිවරයාගේ බලතල වපසරියට යටත් වුවද සැබෑ ප්‍රජාතන්ත්‍රවාදීය නායකත්වය නියෝජනය වන්නේ අගමැතිවරයා මගිනි.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මගින් තහවුරු කෙරෙන කාරණාකාරණ එසේ වුවද, අගමැති පදවිය යනු පාකිස්තානයේ ඉතා බරපතළ අභියෝගයකට ලක් වන මෙන්ම වඩාත් දෛවෝපගත පදවියකි. 1947 පාකිස්තානය බිහි වු දා සිට පාලනය හෙබවු සියලු අගමැතිවරු තමන්ගේ සම්පුර්ණ ධුර කාලය ගෙවා දැමීමට අසමත් වුහ. සරල වචනවලින් කිව හොත් පාකිස්තානයේ කිසිදු අගමැතිවරයකු බලයට පත්ව එකදිගට වසර පහක ධුර කාලයක් සම්පුර්ණ කිරීමට සමත් වී නැත. ලොව මෙවැනි වාර්තාවකට හිමිකම් කියන එකම රටද පාකිස්තානයයි. ඉතිහාසයේ අගමැති පදවිය අත්හිටුවා ජනාධිපතිවරයා මඟින් පාලනය කරනු ලැබු යුගයන් පවා දක්නට ලැබේ. ඒ හමුදා පාලනයන් පැවති වකවනුය. පාකිස්තානයේ අගමැති පදවිය දැරීම කොතරම් අභියෝගයක්ද යන්න උදාහරණ සහිතව පෙන්වා දෙන්නේ නම්: 1947 නිදහස ලැබු අවස්ථාවේ සිට 1958 හමුදා පාලනය ඇති වී අගමැති පදවිය මුල්වරට අත්හිටුවන තෙක් කාලය තුළ බලයට පත් වු අගැමතිවරුන්ගේ සංඛ්‍යාව 7කි. ඒ අතරින් මුල් වරට අගමැති පදවියට පත් ලියාකාත් අලි ඛාන් ඝාතනයට ලක් විය. 70 දශකයේ වඩාත් ප්‍රසිද්ධියට පත් අගමැති සුල්ෆිකාර් අලි භූතෝ - එනම්: හිටපු අගමැතිනි බෙනාසිර් භූතෝගේ පියා - රටේ බලය අත්පත් කරගත් හමුදා පාලක සියා උල් හක් විසින් නඩු විභාගයක් පවත්වා එල්ලා මරා දමනු ලැබීය. නිදහසේ සිට මේ දක්වා පාකිස්තානයේ බලයට පත් වු අගමැතිවරුන්ගේ සංඛ්‍යාව 19කි. මේ අනුව බලන කල පාකිස්තානයේ අගමැති පදවිය දැරීම යනු දැළි පිහියෙන් කිරි කෑම වැනි අභියෝගාත්මක තත්ත්වයකි. අගමැතිවරයා යනු ඕනෑම අවස්ථාවක ඕනෑම බලවේගයක ඉලක්කයක් විය හැකි හා ඉතා පහසුවෙන් තනතුරෙන් පලවාහළ හැකි චරිතයක් ලෙස ප්‍රවාදයක් ගොඩනැඟී ඇත්තේය.

මීට හේතුව කුමක්ද? පාකිස්තානය බිහි වන්නේ ලොව විශාලතම ප්‍රජාතන්ත්‍රවාදි රාජ්‍යය ලෙස විරුදාවළී ලැබු ඉන්දියාවෙන් ඉස්ලාමීය ආගමික පදනම මත බෙදී ගිය රටක් වශයෙනි. 1947 අගෝස්තු 14 දා ඉන්දියාව නිදහස ලැබීමට දිනකට පෙර මහා ලේ වැගිරීම් මැද රට දෙකඩ වී පාකිස්තානය නමැති මුස්ලිම් රාජ්‍යය බිහිවන්නේ ඉන්දියාව පාලනය කළ බ්‍රිතාන්‍ය අධිරාජ්‍ය වාදින්ගේ ජනවර්ග බෙදා වෙන්කර පාලනය කිරීමේ ක්‍රමවේදයේ අහිතකර ප්‍රතිඵලයක් වශයෙනි. එහෙත් ඉන්දියාව එදා මෙදා තුර සෑම අවස්ථාවකම ප්‍රජාතන්ත්‍රවාදය මත පදනම්ව පාලන කටයුතු මෙහෙයවීම හා ආණ්ඩු මාරු කිරීම සිදු කර තිබේ. කිසිදු අවස්ථාවක ඉන්දියාව ප්‍රජාතන්ත්‍රවාදයෙන් බැහැර වු බවක් ඉතිහාසයේ සඳහන් නොවේ. එහෙත් ඉන්දියාවෙන් වෙන්ව ගියද පාකිස්තානය පෙන්නුම් කළේ ඉතා බරපතළ වෙනස්කම් සහිත පාලන රටාවකි. අවුල් වියවුල් හා හමුදා ආණ්ඩු ආදියෙන් පාකිස්තාන දේශපාලන ඉතිහාසය ඉතා දුර්වර්ණයෙන් සටහන් වී තිබේ. මෙයට බලපාන ප්‍රධාන සාධකය වන්නේ පාකිස්තානයේ අතිප්‍රබල ආරක්ෂක හමුදාවයි. ඉන්දියාවේ හමුදාව ප්‍රබලත්වයෙන් හා විශාලත්වයෙන් පාකිස්තානයට වඩා බෙහෙවින් ඉදිරියෙන් සිටියද කිසිදු අවස්ථාවක රාජ්‍ය පාලනයේ වැදගත් භූමිකාවක් උසුලන්නේ නැත. ඒ වෙනුවට ආරක්ෂක හමුදාව තම වගකීම වන රාජ්‍ය ආරක්ෂාව කෙරෙහි පමණක් අවධානය යොමු කරයි. එහෙත් පාකිස්තානයේ සන්නද්ධ හමුදා යනු රාජ්‍ය පාලනය අදිසි ලෙස මෙහෙයවන ප්‍රධානතම අංගය බවට එරට ඉතිහාසය දෙස් දෙයි. පාකිස්තාන හමුදාවේ බලය ප්‍රජාතන්ත්‍රවාදි ආණ්ඩුවේ බලය ඉක්මවා විහිදෙයි. ජෙනරාල් සියා උල් හක් හා ජෙනරාල් පර්වේස් මුෂාරෆ් මෑත කාලීනව හමුදා පාලනයේ බලය විදහා දැක්වු චරිත ලෙස පෙන්වා දිය හැකිය. මෙවර කුමන්ත්‍රණයක් සිදු නොවුණද නවාස් ෂරීෆ් බලයෙන් පහ කිරීම සඳහා පාකිස්තාන හමුදාව අධිකරණය හරහා කුමන්ත්‍රණයක් සිදු කළ බවට චෝදනා එල්ල වෙයි.

පාකිස්තාන හමුදාව හා අධිකරණය බොහෝ විට එරට සිවිල් පාලන බලාධිකාරයට එරෙහිව ඒකාත්මිකව ක්‍රියා කරන බව නිරන්තරයෙන් සංවාදයට ලක් වන කරුණකි. ඉතිහාසයෙන් ලැබෙන උදාහරණ අනුව අලි භූතෝ මරා දැමීම සදහා සියා උල් හක්ගේ බලපෑමෙන් දුන් අධිකරණ තින්දුව, හිටපු හමුදා පාලක පර්වේස් මුෂාරෆ්ගේ නඩු විභාග කිරීමේදී දැක්වු දුර්වලතා හා මෑත කාලීන අගමැතිවරුන් ඉවත් කිරීමට දුන් තීන්දු උදාහරණ ලෙස ගෙනහැර දැක්වේ. මෑත කාලීනව අගමැති යුසුෆ් රාසා ගිලානි මෙන්ම නවාස් ෂරීෆ්ද අධිකරණයෙන් ඉවත් කරනු ලැබු චරිත වෙති. රටක නීති බලාධිකාරය පවත්වාගැනීම හා දේශපාලනය දුෂණ අක්‍රමිකතාවලින් මුදාගැනීම අධිකරණය සතු පරම වගකීමක් වන්නේය. එහෙත් අධිකරණය ඉතා බරපතළ ලෙස පාලන තන්ත්‍රයට මැදිහත් වීමත් තමන් සතු බලය මෙහෙයවා පාලන තත්ත්‍රය අභියෝගයට ලක් කිරීමත් නිරන්තරව සිදු වන්නේ නම් එය රටේ දේශපාලනික ස්ථාවර භාවයට එල්ල කරන මරු පහරක් වන්නේය. වර්තමානයේ පාකිස්තානයේ දේශපාලනික ස්ථාවරභාවය අභියෝගයට ලක් වීමේ තත්ත්වයට මූලික වශයෙන් අධිකරණයද වගකිව යුතු බවට චෝදනා එල්ල වෙයි. ඉෆ්තිකාර් චෞද්රි වැනි ප්‍රබල අගවිනිසුරුවරුන්ගේ භූමිකාව මෙහිදී සංවාදයට ලක් වේ. දකුණු ආසියාවේ ප්‍රබල රාජ්‍යයක් වන පාකිස්තානය අද වන විට පත්ව සිටින්නේ ස්ථාවර පාලනයක් පවත්වාගැනීමේ අභියෝගයටයි. අයිඑස්අයිඑස් හා තලේබාන් ත්‍රස්තවාදය ඉහළ යෑම, කාශ්මීරයේ ගැටලු හා ඉන්දියාව සමග පවත්නා සබදතා පිළිබඳ අවධානය පාකිස්තානය රාෂ්ට්‍ර පාලනික වශයෙන් මුහුණ දෙන අභියෝගාත්මක තත්ත්වයන් වේ. එහිදී පරිණත දේශපාලන නායකත්වයක් පාකිස්තානයට අවශ්‍ය වන්නේය. පාකිස්තාන දේශපාලන ලෝකයේ ඉදිරිපෙළ මේ වන විට බිඳවැටී ඇත්තේ බෙනාසීර් භූතෝ ඝාතනය වීම හා නවාස් ශරීෆ්ගේ දේශපාලනික ගමනක අවසානය ළඟා වීම හේතුවෙනි. හිටපු ක්‍රිකට් නායක ඉම්රාන් ඛාන් කලක සිට දේශපාලන ක්ෂේත්‍රයේ සැලකිය යුතු භූමිකාවක් නිරූපණය කළද ඔහු ජාතික නායකත්වයක් දක්වා ඉස්මතු වී නැත. මෙවැනි තත්ත්වයක් යටතේ පාකිස්තාන පාර්ලිමේන්තුවේ ආසන 342න් 209කට බහුතර බලයකට හිමිකම් කියන පාකිස්තාන මුස්ලම් ලීග - නවාස් පිල ශක්තිමත් නායකත්වයක් සෙවීමේ අභියෝගයට මුහුණ පා සිටී. ඊට විකල්පයක් ලෙස පක්ෂය යෝජනා කර ඇත්තේ පංජාබ් ප්‍රාන්ත මහඇමැති හා නවාස් ෂරීෆ්ගේ සොහොයුරු ෂබාස් ෂරිෆ් අගමැති පදවියට ගෙන ඒමයි. එහෙත් පළමුව අතුරු-මැතිවරණයක් හරහා පාර්ලිමේන්තු මන්ත්‍රී පදවියක් ලබාගැනීමට ඔහුට සිදු වේ. ඒ සඳහා කටයුතු සැකසෙමින් පවතින බව වාර්තා වේ. වැදගත්ම කරුණ වන්නේ කවරකු අගමැති පදවියට පත් වුවද සමස්ත ධුර කාලය ගෙවා දමමින් රටට අවශ්‍ය ස්ථාවර නායකත්වයක් ලබා දීමට ඔහු සමත් වේද යන්නයි.

ප්‍රසාද් කෞශල්‍ය දොඩන්ගොඩගේ 

Comments