ඔළුගෙඩි ගණන් කෙරිල්ල | Page 10 | සිළුමිණ

ඔළුගෙඩි ගණන් කෙරිල්ල

 මේ දවස්ඔල අබිලිංගෙ කඩේ ඔළු ගෙඩි ගාන වැඩි වෙලා ආයිබොවන්ඩ. ඔළු ගාන වැඩි වෙනකොට සද්ද බද්දත් වැඩි යි නෙවැ. ඔළු ගෙඩි උනත් වුවමනා පරමානෙට වැඩි උනාම වස කරදරේ. ඒ හින්දා එහෙම වෙලාවට ඔළු ගෙඩි මාරු වෙන එකේ වැරැද්දක් නෑ. ඔව්වා කල්පනා කරමින් හාල්මැස්සො සීයක් ගන්ඩ හිතාගන ‍ගොඩ උනා කඩේට. දෙයි හාන්දුරුවනේ! කඩේට ආපු මිනිස්සු ඔළු ගෙඩි ගැන කතාව.

“අවුරුද්ද අග වෙනකොට ඔළු ගෙඩි මොන පැත්තෙ ද කියලා බලාගන්ඩ පුළුවන්.” මයික් විජේ පාරම් බානවා. බලං ගියාම පහුගිය දවස්ඔල වෙනිං උත්තමයෙක්ගෙ පොරකාසයක් තමයි විජේ තමුන්ගෙ මතය වගේ කියන්නේ. ඒක ඉතිං අපේ ජාතික ගතියක් නෙවැ. අනුන්ගෙ අදහස් තමුන්ගෙ වගේ කියන එක. බොරු ද මං අහන්නෙ?

“ඔළු ගෙඩි ගාන එකතු කරගන්න හැටි උන්නැහේ දන්නවා කියපු එකේ අදහස මොකද්ද හැබෑට?” අබිලිං ඇහුවා.

“මට අංගුලිමාල කතාව මතක් උනා” නිමලෙ කියපි.

“ඒ මොක ද?”

“අංගුලිමාල ඇඟිලි එකතු කොළා වගේ ඔළු ගෙඩි එකතු කොරන වැඩක් වෙන්ඩ බැරි ද?”

“මොන පිස්සු ද? මිනී මැරිල්ලක් ගැන නෙමෙයි කියන්නේ. තමුන්ගෙම ආණ්ඩුවක් හදා ගන්නේක ගැන” අබිලිං, නිමලෙ අතර කතාව දිග් ගැහෙනවා.

“දා හතක් තමුන්ගෙ පැත්තට අරගෙන පක්සෙකට කෙළවලා දැම්ම වගේ මෙදා පාර සීයක් විතර ඇදගන ආණ්ඩුවකට කෙළවා දමන්නයි හදන්නේ”

අබිලිංගෙ මායියා කියපි.

යකඩ මරංට මල පැන්නා.

“ඔළු ගෙඩි එහාට මෙහාට අදින්ඩ සෑහෙන්ඩ සල්ලි ඕනැ වෙනවා. එහෙම නැත්තං දූෂණ පයිල් තියෙන්ඩ ඕනැ. බය කරලා අදින්ඩ.” යකඩ මරං කීවා.

“දූෂණ පයිල් ඇදලා බය කරන්ඩ පුලුවන්නේ. බලය තියනකොට ඉතරයිනෙ. මේ වැඩේදි සල්ලි තමයි ඕනැ වෙන්නෙ.” අබිලිංගෙ මායියා කියපි.

“සල්ලි නැත්තෙ මොක ද? රටේ හැම මිනිහකුට ම මදි නොකියන්න දෙන්න තරං හම්බු කොර ගත්තනේ. ඉතින් ඕක මහ කජ්ජක් ද?” යකඩ මරං කීවා.

“ඇන ගත්තු කෙනෙක් ළඟට ගිහිං ඇන ගන්න කවුරුවත් කැමති වෙන්නෙ නෑ. ඒ හින්දා ඔය ඔළු ගෙඩි එහාට යන එක මේ කපේ දි වෙන්නෙ නෑ” යකඩ මරංගෙ මායියා කීවා.

“ඔළු ගෙඩි ගැන දොඩවන අයගෙ ඔළු ගෙඩි හෝදිසි කරලා බලන එක ලොකු පිනක්” බැරි ම තැන මම කීවා.

“ඒ කීවෙ?”

“අපි මෙහෙම හිතමුකො. මගෙ ඔළු ගෙඩියෙ මොළේ කළඳක් නෑ. ඉතින් මගෙ කල්පනාව හොඳ නෑ. මම කීයක් හරි දෙනවා කීව ම ඔළු ගෙඩි ගොඩක් මං ළඟට එයි කියලා මම හිතනවා. ඒ උනාට එහෙම වෙන්නෙ නෑ. ඔළු ගෙඩිය ඇතුළෙ මොළේ ඩිංගක් තිබ්බ නම් මට මෙහෙම නොවෙන විත්තිය අනික් ඔළු ගෙඩිවලට තේරෙනවා. ඒ හින්දා මට හැමදාම මගෙ ඔළු ගෙඩිය අත ගගා තමයි ඉන්ඩ වෙන්නෙ.”

මං එහෙම කියද්දි මයික් විජේගෙ මූණ ඇඹුල් වුණා.

Comments