
ප්‍රශාන්ත ඇල්පිටිය
ඉකුත් ජූලි මස 14 සිට 30 දක්වා හංගේරියාවේ බුඩාපෙස්ට් නුවරදී 17 වැනි ජල ක්‍රීඩා ලෝක ශූරතාවලිය පැවැත්විණි. ඊට රටවල් 182 ක් සහභාගි විය. එහිදී සමස්ත ශූරතාව අමෙරිකාවටය. ඒ රන් 21, රිදී 12, ලෝකඩ 13 ක් සමඟ මුළු පදක්කම් 46 ක් හිමිකර ගනිමිනි. චීනයට දෙවන ස්ථානයයි. ඒ (12 - 12 - 06) මුළු පදක්කම් 30 කි. තෙවැනි ස්ථානය රුසියාවටයි. ඔවුනට (11 - 06 - 08) මුළු පදක්කම් 25 කි.
මේ අතර මෙහිදී වැඩි අවධානයක් යොමු වුයේ ජූලි මස 23 සිට 30 දක්වා පැවැති පිහිනුම් ක්‍රීඩාවේ තරග ඉසව් වෙතටය. එහිදීත් මුල් ස්ථානය අමෙරිකාවට රන් 18, රිදී 10, ලෝකඩ 10 ක් ලෙසට මුළු පදක්කම් 38 කි. දෙවන තැන බ්‍රිතාන්‍යයටයි. ඔවුනට 04 - 01 - 02 ක් ලෙසට මුළු පදක්කම් 07 කි. චීනයට 03 - 03 - 04 ක් ලෙසට මුළු පදක්කම් 10 ක් සමඟ තෙවැනි ස්ථානයයි.
මෙහිදී පිහිනුම් තරග ඉසව් පැවැත්වූයේ මීටර් 50 පිහිනුම් තටාකයකදීය. ඒ අනුව මෙය පිහිනුම් දිගු දුර ලෝක ශූරතාවලිය ලෙසටත් හැඳින්වේ. මෙම පිහිනුම් ශූරතාවලියට ශ්‍රී ලංකාවත් සහභාගි විය. එහිදී ශ්‍රී ලංකාව නියෝජනය කළේ චිරන්ත ද සිල්වා, කිමිකෝ රහීම් සහ ඉෂානි සේනානායකය.
චිරන්ත පිරිමි සමනළ ආර තරග ඉසව් දෙකකට ඉදිරිපත් වූයේය. එහිදී හෙතෙම මීටර් 50 සමනළ ආර මූලික වටයේ තරගයේදී 49 වැනි තැන හිමිකර ගත්තේය. ඔහුගේ කාලය තත්පර 25.15 කි. එමෙන්ම මීටර් 100 සමනළ ආර මූලික වටයේදී ඔහුට 55 වැනි තැනය. එහිදී කාලය තත්පර 55.09 කි.
කිමිකෝට කාන්තා මීටර් 100 නිදහස් ආර මූලික වටයේ තරගයේදී 44 වැනි තැනයි. එහිදී ඇය ගත කළ කාලය තත්පර 58.35 කි. ඇය මීටර් 100 පසුපස ආර මූලික තරගයේදී 40 වැන්නිය වූවාය. ඇය ගතකළ කාලය විනාඩි 1:04.06 කි.
ඉෂානි කාන්තා නිදහස් ආර තරග ඉසව් දෙකකට මූලික වටයේදි ඉදිරිපත් වූවාය. මීටර් 200 තරගයේදී ඇයට 46 වැනි තැනය. කාලය විනාඩි 2:13.38 කි. මීටර් 400 තරගයේදී 35 වැනි තැනය. කාලය විනාඩි 4:45.48 කි.
මෙවර පිහිනුම් ලෝක ශූරතාවලියේදී විශිෂ්ටතම දස්කම් දැක්වූ සුපිරිතම තරු යුගල නියෝජනය කළේ අමෙරිකාවයි. ඒ කේලෙබ් ඩ්‍රෙසෙල් සහ කේටි ලෙඩෙකිය. මින් කේලෙබ්ට රන් පදක්කම් 07 කි. කේටිට රන් 05 කි.
කේලෙබ් ඩ්‍රෙසෙල්
පිහිනුම් ලෝක ශූරතාවලියකදී වැඩිම රන් පදක්කම් හිමිකර ගත් ශූරයා ලෙසට වාර්තාගතව සිටියේ ශ්‍රේෂ්ඨ අමෙරිකානු ශුර මයිකල් පෙල්ප්ස්ය. ඔහු 2007 ලෝක ශූරතාවලියේදි රන් පදක්කම් 07 ක්ම හිමිකර ගත්තේය. මෙවර එම වාර්තාව සම කිරීමට 20 හැවිරිදි කේලෙබ් සමත් විය. ඔහු 2016 රියෝ ඔලිම්පික් උළෙලේදී පෙල්ප්ස් සමඟ සහාය (කණ්ඩායම්) රන් පදක්කම් හිමිකර ගෙන තිබුණි.
මේ අතර කේලෙබ් මේ දක්වා කිසිදු සුපිරි තරුවකට කළ නොහැකි වූ විශිෂ්ට දස්කමකුත් කළේය. එනම් එකම දිනයකදී ත්‍රිත්ව රන් පදක්කම් හිමිකර ගැනීමයි. මෙවැනි දස්කමක් ඔලිම්පික් හෝ ලෝක ශූරතාවලියකදී පිහිනුම් ක්‍රීඩාවෙන් වාර්තා වූයේ ප්‍රථම වතාවටයි.
2017 ලෝක ශූරතාවලියේදී කේලෙබ් දැක්වූ දස්කම් මෙසේය. රන් 07 කි.
(01) මීටර් 50 නිදහස් ආර - තත්පර 21.15 (ජාතික වාර්තාවකි)
(2) මීටර් 100 නිදහස් ආර - තත්පර 47.17 (ජාතික වාර්තාවකි)
(3) මීටර් 100 සමනළ ආර - තත්. 49.86
(4) මී. 4ය100 නිදහස් ආර (සහාය) - අමෙරිකානු කණ්ඩායමේ සම්පූර්ණ කාලය - විනාඩි 3:10.06 කි. කේලෙබ්ගේ කාලය තත්පර 47.26 කි. එය ජාතික වාර්තාවකි.
(5) මීටර් 4ය100 මෙඩ්ලි (සහාය) අමෙරිකානු කණ්ඩායම් කාලය විනාඩි 3:27.91 කි. කේලෙබ්ගේ කාලය තත්පර 49.76 කි.
(6) මීටර් 4ය100 නිදහස් ආර (සහාය) මිශ්‍ර අමෙරිකානු කණ්ඩායම් කාලය විනාඩි 3:19.60 ලෝක වාර්තාවකි. කේලෙබ්ගේ කාලය තත්පර 47.22 කි.
(7) මීටර් 4ය100 නිදහස් ආර මෙඩ්ලි (සහාය) මිශ්‍ර අමෙරිකානු කණ්ඩායමේ කාලය විනාඩි 3:38.56 කි. එය ලෝක වාර්තාවකි. කේලෙබ්ගේ කාලය තත්පර 49.92 කි.
ඉහත ඉසව් අතරින් කේලෙබ් එකම දිනයකදී ත්‍රිත්ව රන් පදක්කම් හිමිකර ගත්තේ මීටර් 50 නිදහස් ආර, මීටර් 100 සමනළ ආර සහ මීටර් 4ය100 නිදහස් ආර සහාය ඉසව්වලටයි.
කේලෙබ්ගේ දක්ෂතා ජාත්‍යන්තරව මුල්වරට දක්නට ලැබුණේ 2013 වසෙර් පැවැති ලෝක කණිෂ්ඨ ශුරතාවලියේදීය. එහිදී ඔහුට රන් 01, රිදී 02 ක් සහ ලෝකඩ පදක්කම් 03 කි. පසුව 2016 රියෝ ඔලිම්පික් උළෙලේදී ඔහු ද්විත්ව රන් පදක්කම් හිමිකර ගත්තේය. ඒ මීටර් 4ය100 නිදහස් ආර සහ මෙඩ්ලි සහාය ඉසව්වලටය.
කේටි ලෙඩෙකි
මේ වන විට ජාත්‍යන්තර පිහිනුම් ක්‍රීඩාවේ සිටින විශිෂ්ටතම ශූරිය තමන් බව 20 හැවිරිදි කේටි මෙවර ලෝක ශුරතාවලියේදී යළිත් තහවුරු කළාය. ඒ රන් පදක්කම් පහක් සහ එක් රිදී පදක්කමක් සමඟිනි.
රන් 05
(1) මීටර් 400 නිදහස් ආර - විනාඩි 3:58.34 (ශූරතාවලි වාර්තාවකි)
(2) මීටර් 800 නිදහස් ආර – විනාඩි 8:12.68
(3) මීටර් 1500 නිදහස් ආර - වි. 15:31.82
(4) මීටර් 4ය100 නිදහස් ආර (සහාය) - අමෙරිකානු කණ්ඩායමේ මුළු කාලය විනාඩි 3:31.72 කි. කේටි සිය අදියරට ගතකළ කාලය තත්පර 53.83 කි.
(5) මීටර් 4ය200 නිදහස් ආර (සහාය) - අමෙරිකානු කණ්ඩායමේ මුළු කාලය - වි. 7:43.39 කි. කේටිට ගත වූ කාලය විනාඩි 1:54.02 කි.
මේ අතර මීටර් 200 නිදහස් ආර තරගයේදී ඇයට රිදී පදක්කමකි. එහිදී ඇයට ගත වූ කාලය විනාඩි 1:55.18 කි. එය ජය ගත්තේ ඉතාලියේ ෆෙඩරිකා පෙලෙගි‍්‍රනිය. ඇයගේ කාලය විනාඩි 1:54.73 කි.
මේ අනුව ලෝක ශූරතාවලි (දිගු දුර) තරගවලදී ඇයට සමස්ත රන් පදක්කම් 14 ක් හිමිය. එය කාන්තාවන්ගේ නව වාර්තාවකි.
ඇය මීට පෙර 2013 වසරේදී රන් පදක්කම් 04 ක් සහ 2015 දී රන් 05 කුත් ලෝක ශූරතාවලියන්හිදී හිමිකර ගෙන සිටියාය.
ලන්ඩන් සහ 2016 රියෝ ඔලිම්පික් උළෙලහිදී කේටි රන් පදක්කම් 05 ක්ම හිමිකර ගත්තාය. මින් සතරක්ම 2016 දීය. එමෙන්ම එවර එක් රිදී පදක්කමකුත් ඇයට හිමි විය.
මේ වන විට කාන්තා ඉසව් ත්‍රිත්වයකම (දිගු දුර) ලෝක වාර්තාවන් ද ඇයට හිමිය. ඒ මීටර් 400 නිදහස් ආර - විනාඩි 3:56.46, මීටර් 800 නිදහස් ආර - වි. 8:04.79 ක් සහ මීටර් 1500 නිදහස් ආර - වි. 15:25.48 වශයෙනි.










