තුනෙන් එකක් බතලයෝ | සිළුමිණ

තුනෙන් එකක් බතලයෝ

 ලෝක ජනගහනයෙන් තුනෙන් එකකට ආසන්න පිරිසක් ස්ථුලතාවෙන් පීඩාවට පත්ව සිටින බව පර්යේෂණ වාර්තාවකින් අනාවරණය වේ. රටවල් 195කින් ලබාගත් තොරතුරු විශ්ලේෂණය කිරීමෙන් අනතුරුව බ්‍රිතාන්‍යයේ පර්යේෂකයෝ පිරිසක් එකී නිගමනයට එළඹ සිටිති. සංඛ්‍යාත්මක වශයෙන් ගත් කල, බිලියන 7.5ක් පමණ වන ලෝක ජනගහනයෙන් බිලියන 2.2කට ආසන්න පිරිසක් මේ අන්දමට අධික තරබාරුකමින් පෙළෙන බව පර්යේෂකයන්ගේ අදහස වී ඇත. වැඩිහිටි පිරිමින්ගෙන් 67%කුත් වැඩිහිටි ගැහැනුන්ගෙන් 57%කුත් ස්ථුලතාවෙන් යුක්ත බව පර්යේෂකයෝ පවසති.

තරබාරු බවෙන් යුත් වැඩිම පිරිසක් ජීවත් වන්නේ ඊජිප්තුවේය. එහි සිටින වැඩිහිටියන්ගෙන් 35%ක් තරබාරු බව අනාවරණය වී ඇත. බ්‍රිතාන්‍යයේ ජීවත් වන වැඩිහිටියන්ගෙන් 24%ක පිරිසක් තරබාරුකම නිසා ඇතිවන ගැටලුවලට මුහුණ දී සිටින බව වාර්තාවල දැක්වේ. එකී ප්‍රමාණය ජනගහනය අනුව මිලියන 12ක පමණ පිරිසකි. 1980 වසරේදී බ්‍රිතාන්‍යයේ ජනගහනයෙන් 16%ක පමණ පිරිසක් ස්ථුලතාව නිසා පීඩාවට පත්ව සිටි බව වාර්තාවලින් අනාවරණය වේ. ඒ අනුව, තරබාරුකමින් පීඩාවට පත් ජන සංඛ්‍යාව බ්‍රිතාන්‍යය තුළ ශීඝ්‍ර ලෙස වර්ධනය වී ඇති බවක් දකින්නට පුළුවන. චීන ජනගහනයෙන් මිලියන 57.3කුත් අමෙරිකා එක්සත් ජනපද ජනගහනයෙන් මිලියන 79.4කුත් තරබාරුකමෙන් යුක්තය. මේ අතර බංග්ලාදේශය සහ වියට්නාමය යන රටවල ජනයා අතර ස්ථුලතාව ඉතා පහළ මට්ටමක පවතින බව වාර්තා වේ. ඒ රටවල ජනගහනයෙන් 1%කට ආසන්න පිරිස බැගින් ස්ථුල බැව් අනාවරණය වී ඇත.

ස්ථුලතාව හුදෙක් වැඩිහිටියන්ට පමණක් සීමා වුණු තත්ත්වයක් නොවේ. අධික බර වැඩිකම නිසා පීඩාවට පත්වන දරුවෝද සිටිති. ඒ අනුව දරුවන් සහ යෞවනයන්ගෙන් වැඩි ප්‍රමාණයක් තරබරුකමෙන් පීඩාවට පත්ව ඇත්තේ ඇමරිකා එක්සත් ජනපදයේය. එහි සිටින දරුවන්ගෙන් සහ යෞවනයන්ගෙන් 13%ක පිරිසක් තරබාරු බව හෙළිව තිබේ. චීනය සහ ඉන්දියාව ජනගහනය වැඩි රටවල දෙකකි. මේ දෙරටේ සිටින දරුවන්ගෙන් විශාල පිරිසක්ද අධික ස්ථුලතාවෙන් යුක්ත බව දැක්වේ. ඒ අනුව චීනයේ වෙසෙන දරුවන්ගෙන් මිලියන 15.3කුත් ඉන්දියාවේ වෙසෙන දරුවන්ගෙන් මිලියන 14.4කුත් අධික බරෙන් යුක්තය.

දේහ ස්කන්ධ දර්ශකයෙන් ලැබෙන අගයන් පදනම් කරගෙන ස්ථුලතාව ගැන තීරණය කෙරේ. දේහ ස්කන්ධ දර්ශකයේදී ගණන් ගැනෙන්නේ දේහයේ ස්කන්ධය සහ දේහයේ උසයි. ඒ අනුව ලැබෙන අගය 25ත් 29.9ත් අතර නම් සාමාන්‍යයෙන් තිබිය යුතු බර ප්‍රමාණය ඉක්මවා යෑමක් ලෙස සැලකේ. ස්කන්ධ දේහ දර්ශක අගය 30ට වඩා වැඩි නම් ඒ පුද්ගලයා අධික ස්ථුලතාවෙන් යුත් කෙනකු ලෙස සැලකේ.

ස්ථුලතාව රෝග ගණනාවකට මුල බව මෙයට පෙර කරන ලද පර්යේෂණවලින් අනාවරණය වී තිබේ. හෘදය රෝග, දියවැඩියාව, නින්ද ආශ්‍රිත රෝග, පිළිකා, ඔස්ටියෝ ආර්තරයිටිස් සහ විශාදය වැනි රෝග තත්ත්ව ඒ අතර ප්‍රධානය.

තරබාරුකම නිසා රෝග පීඩාවන්ට ගොදුරුව ජීවිතක්ෂයට පත්වන පිරිස කෙතෙක්ද යන්න සම්බන්ධයෙනුත් යට කී පර්යේෂණයෙන් තොරතුරු හෙළි වී තිබේ. ඒ අනුව 2015 වසරේදී ලෝක ජනගහනයෙන් මිලියන 4කට ආසන්න පිරිසක් දේහ බර වැඩිකම නිසා ජීවිතක්ෂයට පත්ව ඇති බැව් කියැවේ. වෙනත් විධියකට කිවහොත් ලෝක ජනගහනයෙන් සෑම 14කුගෙන් එක් අයකු ස්ථුලතාව නිසා හටගත් රෝගවලින් මිය යන බවකි. ශරීරයේ බර හේතු කරගෙන ඇතිවන රෝග තත්ත්ව නිසා ජීවිතක්ෂයට පත්වන පිරිසෙන් 61%ම ජීවිතක්ෂයට පත් වන්නේ අධික ශරීර බර නිසා හටගන්නා රෝගවලිනි.

මේ වන තුරු බොහෝදෙනකුගේ අදහස වී තිබුණේ සංවර්ධිත රටවල ජනයා අතර ස්ථුලතාව බහුලයයි කියාය. එසේ වුවත් නුදුරු අනාගතයේදී ඒ තත්ත්වය අඩු ආදායම්ලාභීන් ජීවත් වන රටවලටත් ගැටලුවක් වනු ඇති බවට හාවර්ඩ් විශ්වවිද්‍යාලයේ මහජන රෝග සම්බන්ධ විද්වතකු වන මහාචාර්ය ඩානෙයි ගූඩාර්ස් පවසයි.

ලෝක ජනගහනය විපතට පත් කරන මේ මහා ව්‍යසනයට පිළිතුරු සෙවීම බොහෝ ක්ෂේත්‍රවල බලවතුන් මත පැටවී ඇති භාරධූර වගකීමකි. මේ නිසා එක්සත් ජාතීන්ගේ සංවිධානයට අනුබද්ධ ලෝක ආහාර හා කෘෂිකර්ම සංවිධානය පවා මේ ගැන විශේෂ අවධානයක් යොමු කර ඇත.

මංජුලා විජයරත්න

Comments