පැණි අහිමි බඹරා! | සිළුමිණ

පැණි අහිමි බඹරා!

ඇය අපි යමු යැයි යෝජනා කරයි. ඔහු කොහොම දැ’යි ප්‍රශ්න කරයි. ඇය තව ළං වෙමු යැයි කියයි. ඔහු වෙන්වීමක් ගැන කතා කරයි. අපි එක වගේ වෙමු; ඇය යෝජනා කරයි. ඒ කොහොම ද යැයි ඔහු ප්‍රශ්න කරයි. මේ පෙම්වතා මෝඩයෙක්ද? පිස්සෙක් ද? නැත්නම්....!?

ජීවිතයේ අරුත් සොයන මානවකයෙක් අප ඉදිරියෙහි බලා සිටී.‍ ඔහු මානව - මානවිකාවන්ගේ හමුවීම, ළංවීම හා වෙන්වීම ගැන දාර්ශනික චින්තා මවයි. ප්‍රේමය, විවාහය හා තවත් දේවල් ගැන අලුත් සංකල්ප හඳයි. හෙතෙම කවරකු විය හැකිද? කවියෙක්? දාර්ශනිකයෙක්? හෙම්බත් වූ පෙම්වතෙක්? ඔහු මේ කවරකු හෝ විය හැකි ය. නැතහොත් සියල්ලෙහි සම්මිශ්‍රණයක් වන්නට ද පුළුවන.

මේ කවිය උපුටා ගත්තේ ඉරිදා ජාතික පුවත්පතක ටැබ්ලොයිඩ් සාහිත්‍ය අතිරේකයක කවි පිටුවෙන් ය. දිනය 2017 ජූනි 11 ලෙස සටහන් වී තිබිණි. කවියට සිරසක් හෙවත් හෙඩිමක් යොදා තිබුණේ නැත. ඊට පාදක වන්නේ යුවළකගේ සම්මුඛ වීම නිසාත්; ඔවුන’තර බරපතළ සංවාදයක් මතුවන නිසාත් ‘අපි’ යැයි සිරසත් යෙදුවෙමු. කවියා ජීවන පහන් තිළිණ නම් වේ.

කවියා යනු සිද්ධි හා චරිත දෙස අලුත් ඇසකින් බලන්නෙකි. සම්මත චින්තනය හා සාමාන්‍ය දේවල් ඔහුට ගැළපෙන්නේ නැත. මේ අනුභූතිය තුළ සාමාන්‍ය පෙම්වතියක් සිටී. අසාමාන්‍ය කවියෙක් ද සිටී. දෙදෙනා අතර හෘදයංගම සංවාදයක් ද පවතී. සංවාදයෙන් කවියා විඩාවට පත්වන බව ද, ඔහු කෙරෙන් ශෝකයක් ජනිත වන බව ද පෙනෙයි. කවියා මේ සියල්ල නිරූපණය කරන ආකාර‍ය වැදගත් ය.

පෙම්වතිය කෙරෙන් යෝජනා කිහිපයක් ඉදිරිපත් වෙයි.

(I). කොහේ හරි යමු!

(II). තව ළං වෙලා ඉඳිමු!

(III). අපි අපේ ම වෙමු!

(IV). ඔයා මට ආදරෙයි ද?

මේ යෝජනා තුළ ප්‍රශ්න කිරීමක් ද තිබේ. කොහේ හරි යමු කී කල දැනෙන්නේ ඔවුන් තනි වී නැති බව ය. අවශ්‍ය තැන්වලට නො ගිය විට පෙම්වතියක කෝපවීමට ඉඩ තිබේ.‍ ළං වෙලා ඉමු යැයි කියූ විට හ‍ැඟෙන්නේ දෙදෙනා අවශ්‍ය තරමට ළං වී නැති බව ය. අපි අපේ ම වෙමු යන්නෙන් බොහෝ දේවල් ගම්‍ය වේ. පෙම්වතියට අවශ්‍ය දේවල් පෙම්වතා ලබාදී නැත. ඒ අනුව ඇයට සැකයක් මතුවීමට ද පුළුවන. එබැවින් ඈ ඔයා මට ආදරේ දැ’යි අසයි. පෙම්වතියගේ පාර්ශ්වය ගෙන බලන විට එබඳු විග්‍රහයකට යා හැකි ය.

පෙම්වතාගේ හෙවත් කවියාගේ පැත්තෙන් බලන විට ඇත්තේ යෝජනා නොව; ප්‍රශ්න කිරීම් ය. එම ප්‍රශ්න කිරීම ඇත්තේ මානවකයාගේ හෘදය සාක්ෂිය තුළ ය.

(I). මම කවුද?

(II). අපි කවුද?

(III). ළං වුණත් වෙන් වෙනවා නේද?

(IV). ආදරය කියන්නෙ කුමක්ද?

මම කවුද? යනු දාර්ශනික ගැටලුවෙකි. බුද්ධිය නොමේරූ කෙනකු මෙබඳු ප්‍රශ්නයක් නො නඟනු ඇත. බුද්ධ දේශනාවට අනුව බඹයක් තරම් වූ මිනිස් ශරීරය තුළ මුළු විශ්වය ම පිහිටුවා ඇත. එහි එක් අර්ථයක් වන්නේ තමන් වටහා ගැනීමෙන් ලෝකය වටහා ගත හැකි බව ය. ලොව විවිධ දාර්ශනිකයෝ හා චින්තකයෝ මම කවුද යන ගැටලුවට උත්තර සැපයූහ. ඛලීල් ජිබ්රාන් ‍වරක් කියා සිටියේ ඔබගේ මෑණියන්ගේ මුහුණ මට පෙන්වන්න! එවිට ඔබ කවුරුන්දැ’යි මම කියන්නම්” යනුවෙන් ය. මම කවුද යන ප්‍රශ්නය ඉතා වැදගත් ය. කවියා එම ප්‍රශ්නය නඟන්නේ ජීවිතය වටහා ගැනීම සඳහා කරනු ලබන ඇරියුමක් හැටියට ය.

අපි කවුද? යනු පළමු ගැටලුවෙහි ම විස්තාරණයකි. මම නැතිකොට අපි කොයින්ද? වැනි මතයක් ඉන් ගම්‍ය වේ. කවියා මේ සියල්ල දකින්නේ ජීවිතයේ අනිස්ථිර බව හා අවුල වටහා ගැනීමෙන් පසුව යැයි සිතන්නට පුළුවන. ඔහු සමීපවන්නේ බෞද්ධ දර්ශනයෙහි උගන්වන දුක්ඛ සත්‍යය දෙසට යැයි කෙනකු කියන්නට පුළුවන.

කවියා හෙවත් මේ පෙම්වතා අසුබවාදී ලෙස ජීවිතය දෙස බලයි. පෙම්වතිය ළං වෙමු’යි කියන විට; ළං වුණත් වෙන් වෙනවා නොවේ දැ’යි කවියා විමසයි. අපට ෆ්‍රාන්ස් කෆ්කා නම් ලේඛකයා සිහිවේ. ඔහුගේ ජීවිතය දෙස බලන විට ද සුළු ප්‍රශ්න පවා බරපතළ ලෙස ගණන් ගන්නා බවත් පෙනී යයි. මේ පිළිබඳ විවිධ විචාර මත පළ වී ඇත.

සරල දෘෂ්ටියකින් බලන කල කෙනකු පෙම්වතාට දොස් කියන්නට ද, ඔහු මෝඩයකු ලෙස සලකන්නට ද පුළුවන. ලෝකයේ ගැටුම් නිරාකරණය සඳහා ස්නේහය හෙවත් ආදරය පැතිරවිය යුතු යැයි මහාචාර්ය ඊ.ඩබ්ලිව්. අදිකාරම් මහතා කියයි.‍ තවදුරටත් එම අදහස විස්තාරණය කරන එතුමා මිනිසා හදවත තේරුම් ගත යුතු යැයි ද පෙන්වා දෙයි. හදවත ඉල්ලා සිටින්නේ ආදරය යි. පෙම්වතිය ඉල්ලා සිටින්නේ ද එම ‍ ආදරය යැයි කියන්නට පුළුවන. ආදරය නිසා ජීවිතය ගොඩනඟා ගත හැකි ය. පවුල් සංස්ථාව සාර්ථකව ගෙන යා හැකි ය. ඒ තර්කයෙන් බලන විට පෙම්වතා වැරැදි ය.‍

කවියාගේ අවසන් ප්‍රශ්නය තරමක් සංකීර්ණ ය. ආදරේ යනු කුමක්දැ’යි ඔහු අසයි. එය මායාවක් බව ඔහුගේ හැඟීම ය. පෙම්වතුන්ගේ ලෝකය තුළ සිදුවන දේවල් දෙස බලන විට ද විවාහ සංස්ථාවේ ගැට‍ුම් දෙස බලන විට ද මේ ප්‍රශ්නය නැඟීම සාධාරණ යැයි සිතන්නට පුළුවන.‍ මේ අනුව කවියා ආදරය සොයයි. ජීවිතය ද සොයයි.

පෙම්වතා අධ්‍යාත්මයට බර චරිතයක් බව ද පෙනී යයි. ඔහු පෙම්වතිය කැටුව කුඩ යට කල් නොයවයිි. හෝටල් කාමරවලට නො යයි. සිරුර සන්තර්පණය පසෙක ලන පෙම්වතා අාධ්‍යාත්මික සැනසීමක් කරා තම සිත මෙහෙයවයි‍. එබඳු පෙම්වතුන් අද නැත. එසේ සිටින එකම තැනැත්තා මේ කවියා ම විය හැකි ය. නොගැළපෙන දෙදෙනකු සම්මුඛ වී ඇති බවක් ද මේ සිද්ධි දාමයෙන් පැහැදිලි වෙයි. එහෙත් කවියා පෙරළා ප්‍රශ්න කළ හැක්කේ ගැළපෙන අය කවුරුන්ද? යන්න ය. එබඳු අය සිටිත් දැ’යි ප්‍රශ්න කළහොත්; නිශ්චිත උත්තරයක් නැත.

කවියා මේ තරමින් කලකිරීමට හා තැවීමට ලක් වී ඇත්තේ දරිද්‍රතාව පිළිබඳ ප්‍රශ්නය නිසා යැයි තවත් තර්කයක් නඟන්නට පුළුවන. මේ කාලයේ හැටියට කවියන් දිළිඳු බව අමුතුවෙන් කිව යුතු නැත. කලාකාරයා හිඟන්නා යැයි කියති. කවියේ පදවලින් ආර්ථික දිළිඳුකමක් ගැන ඍජු සඳහනක් නැත. එහෙත් මේ පසුබිම විමසන විට ඔහු දිළිඳු යැයි උපකල්පනය කළ හැකි ය. කවියා ‍ෙභෟතික ලෝකයේ සුන්දරත්වය, ආස්වාදය හා විස්මය දැක නැතැ’යි සිතන්නට පුළුවන. ඒවා දකින්නට හා විඳින්නට යහමින් මුදල් තිබිය යුතුය. කවියන්ට සල්ලි කොයින් ද?

මහාචාර්ය සරච්චන්ද්‍රයන්ගේ ‘මළගිය ඇත්තෝ’ හා ‘මළවුන්ගේ අවුරුදු දා’ යන කෘති දෙක එක අතෙකින් සිහියට නැඟේ. තව අතෙකින් අර්නස්ට් හෙමිංවේ ගේ ‘The Sun also Rises’ නම් කෘතිය සිහියට නැඟේ‍. සරච්චන්ද්‍රයන්ගේ කෘති ද්වයෙහි එන නොරිකෝ නම් ගැහැනිය ද, දෙවෙන්දරෝ නම් පුරුෂයා ද කවියාගේ යුවළට සමාන වෙති. නොරිකෝ සාමාන්‍ය ගැහැනියක ලෙස දෙවෙන්දරෝට ආදරය කරයි. එහෙත් හීරළුවකු වන දෙවෙන්ද‍රෝ ජීවිතගේ නිස්සාරත්වය හා ව්‍යාකූල බව ගැන සිතමින් ආදරයෙන් පලා යයි. ඔහු ද ජීවිතය ගැන සොයන අාධ්‍යාත්මික මිනිසෙකි.

හෙමිං වේ ‘සන් ඕල්සෝ රයිසස්’ ඔස්සේ මවන ආදර ලෝකය ඊට වඩා වෙනස් ය. ශරීරාංග අහිමි වුව, රාගය සිඳී ගිය ද, ආදරයට හා ජීවිතයට පැවැතිය හැකි බව හෙමිං වේ පැහැදිලි කරයි. ජේක් නම් පෙම්වතා ශරීරයේ වැදගත් ම අංගයක් අහිමි කරගත් තැනැත්තෙකි. යුද්ධයේ ශාපයක් ලෙස ජේක් ගේ පුරුෂ ලිංගය අහිමි වෙයි. එහෙත් ඔහු පෙම් කරයි. ඔහු සිය පෙම්වතිය වෙතින් පලා යන්නේ නැත. අංගප්‍රත්‍යංග අහිමි වුව ජීවිතයෙන් පලා යා යුතු නැතැ’ යි ජේක් අපට පහදා දෙයි. ඔහු අපට ජීවත්වීම සඳහා උත්තේජකයක් සපයයි.

(A way to be…)

ජීවිතය දෙසත්, ආදරය දෙසත් එකිනෙකා හෙළන දෘෂ්ටිය විවිධාකාර ය‍. අපට ඒවා ප්‍රතික්ෂේප කළ නො හැකි ය.

කවියා සිය රිද්මය හා ශෛලිය ඔස්සේ ශෝකයක් ජනිත කිරීමට වෑයම් කරන බව පෙනෙයි. කුමක් වුව ජීවිතය හා ආදරය ගැන නැවත සිතා බලන්නට උත්ප්‍රේරකයක් මේ මගින් සපයනු ලැබේ.

Comments