හිස් ගුවනේ පාවී ගිය පිච්ච මල් මාලයක් බලා සිටියවුන් මවිත කරයි | Page 3 | සිළුමිණ

හිස් ගුවනේ පාවී ගිය පිච්ච මල් මාලයක් බලා සිටියවුන් මවිත කරයි

 නාග දෂ්ටනයෙන් රෝගාතුර වූ ඒ දුටුගැමුණු මහරජු රන් සිවි ගෙයක හිඳුවා රුවන්වැලි මහා සෑය ළඟට පැමිණි පිරිස, ගැමුණු රජුගේ අභිලාෂය පරිදි රන් සිවි ගෙයි සිටම එතුමාට මහා සෑය පැදකුණු කෙරෙව්වෝය.

ඉනික්බිති දොහොත් මුදුන් දී සාධුකාර දුන් ඒ නරපති තෙම, මහා ථූපයේ දකුණු දොරටුව ළඟ පිළියෙල කළ සයනයේ විඩාබරව ඇලවුණේය.

එහෙත් ඔහුට ඉවසුම් නැත. ඉඩ ලද ඇසිල්ලකින් දකුණු ඇලයට හැරී රුවන්වැලි මහා සෑයට ද, වම් ඇලයට හැරී ලෝවාමහාපායට ද වඳිමින් නැවත නැවතත් සිත පහදවා ගන්නට වැර දැරුවේය.

එහෙත් ඒ සිත නොසන්සුන්ය. ව්‍යාකුලය. යෝධ දාස් පෙතියා මල් පියල්ලක්, කහ රෙද්දක් ඇතුරුවාක් මෙන් මහ සෑ බිම එකලු කළ භික්ෂුන්ගේ දසුනත්, උන් වහන්සේලා එක්ව නැඟූ පිරිත් ස්වරයත් සැමගේ සිත් පහන් කරවන්නක් වුව රජු ඉන්ද සෑහුණු බවක් නොපෙනෙයි.

කාලිංග යුද්ධයේදී මියගිය කාලිංගයන් ගැන පශ්චාත්තාපයට පත් අශෝක රජු මෙන්ම එළාර හා කළ යුදයේදි මැරුණු දමිළයන් ගැන ගැමුණු රජතුමා ද කම්පා වන බවක් පෙනිණ.

“කෝ? මා සමඟ එදා යුදයට ගිය ථේරපුත්තාභය තෙරුන්. යුද වැදීමෙන් පසු උන් වහන්සේට මා දහසින් බැඳි පියලි පුදන විට ඒ සියල්ල පිළිකෙව් කැර “රජතුමනි, ඔබතුමාගේ යුද්ධය දැන් ඉවරය. එහෙත් මට කෙලෙසුන් හා තවත් යුද්ධයක් ඇත” කියා මගෙන් වෙන්ව ගොස් නැවත සිවුරු පෙරවා ගත් ථේරපුත්තාභය තෙරුන් මෙහි නැද්ද?” රජු වචන පටලවමින් ඇසුවේය.

කොතරම් තෙරුන් මෙහි වැඩ සිටියද ථේරපුත්තාභය තෙරුන් ඒ වන විට සිටියේ කිරිඳිඔය අසබඩ පංචලී පෙදෙසේය. ඒ මහරහතන් වහන්සේ දුටුගැමුණු රජුගේ සිත එතැන්හි සිට එම මොහොතේම දුටු සේක. එබස් එකෙණහිම ඇසූ සේක. ඉනික්බිති ඒ තෙරුන් පන්සියක් රහතුන් සමඟ අහසින් වැඩ රජු ඉදිරියේ පෙනී සිටියහ.

තෙරුන් දැක්මෙන් රජුගේ සිත පහන් විය. එහෙත් ඒ මොහොතකට පමණි. ඊළඟ නිමේෂය මහත් භයංකර එකක් විය.

මහ සෑ බිම තැනින් තැන කළුවර විය. ගිනිදැල් නැ‍ඟෙන්නටද විය. අපායේ යම පල්ලන් මෙහි පැමිණෙන සේයාවක් මැවෙන්නට විය. එහෙත් මේ සියල්ලම පෙනුණේ මහරජතුමාට පමණක්ම මිස අන් අයට නොවේ. එහෙත් ථේරපුත්තාභය හා එතැන රැස්ව සිටි අනෙකුත් රහතන් වහන්සේ හට ද මෙය හොඳින් පෙනිණ. එසේ වූයේ රජු තමා කළ කුසල් ගැන නොව අකුසල් ගැනම කල්පනා කළ හෙයිනි.

රජුගේ හෘදය ස්පන්දනය වැඩි විය. මේ මොකද? මා කොහිද යන්නෙ? එතුමාට එසේ සිතෙන්නට ඇත. මේ බව තේරුම් ගත් ථේරපුත්තාභය රහතන් වහන්සේ පෙරට වැඩියේය.

“මහරජතුමනි, ඔබ වහන්සේ බිය වනු කුමට? කුසල කර්මයේම සිත රඳවන්න. ඔබ මොන තරම් පින්කම් කළේ ද? ඒ ගැන සිතන්න. කෙලෙස් සතුරා පරද්දන්නේ නැතිව මාර සතුරා පරද්දන්න බෑ. ඔබ මේ භවයට පෙරත් සිටියේ දෙව්ලොව. මතුවට යන්නෙත් දෙව් ලොව...” රහතන් වහන්සේ වදාළහ.

රජු සිත යළිත් පහන් විය. මුලින් කී දර්ශන අතුරුදන් විය. ඉනික්බිති රජු කළ මහා පින්කම් සියල්ල රජු ඉදිරියේ කියවනු ලැබිණ. ඒ රහතන් වහන්සේ කළ ඉල්ලීමක් අනුවය.

“මේ මහරජු මහාථූපය, ලෝවාමහාපාය, මිරිසවැටිය ඇතුළු එකුන් සියයක් (99ක්) විහාර කැරවූවා. මිරිසවැටියට පමණක් වියදම එකුන් විසි කෙළක් (19 කෝටියක්) වියදම් කළා. ලෝවාමහාපාය මහල් නවයකින් තනා භික්ෂුනට පිදුවා. වියදම තිස්කෙළක් (30 කෝටියක්)...”

“මලය රටට පැමිණි සාගතයේදී කුමාර කාලේ සිටි මේ රජු තමන්ගේ මිණි කොඩොල විකුණා ඒ මිලෙන් රහතුන් සියයකට පහන් සිත් ඇතිව ඇඹුළ සහිත තණ හාල් පිණ්ඩපාත පිරිනැමුවා. චුලංගනී පිටියෙදි යුද්ධ අවස්ථාවේදී පවා අහසින් වැඩි රහතුන් කෙනෙකුට රන් තැටියක තබා දන් දුන්නා. විහාර පෙරහර කැරැවූවා. රුවන්වැලි මහා සෑ ධාතු නිධාන උත්සවයේදී සතර දිගින් පැමිණි සංඝයාට මහා දන් පිරිනැමුවා. වැව්, ළිං, පින් පොකුණු, ගිලන්හල්, වෙදහල් නිමැවූවා. දුගී මගී යාචකාදීන් සුවපත් කළා.”

මේ ආදි පින්කම් රැසක් ඒ පොතේ පිටු ගණනාවක් පුරා කියැවිණ. මරණය තමා අබිමුවට පැමිණ තිබුණ ද තමා කුසල් බලයෙන් පිරුණ බව තේරුම් ගත් රජතුමා සිත පහදවා ගත්තේය.

රජුගේ සිත ප්‍රමෝදයට පත්වනම අහසේ සිවු දිසාවෙන් සුදු අශ්වයන් රැඳි හොඳින් සරසන ලද දිව්‍ය කරත්ත හතරක් මතු විය. මේ කරත්ත හතරම පැමිණියේ නිරිඳුන් තමන්ගේ දිව්‍ය ලෝකය කරා ගෙන යාමට යැයි පැවැසේ. රජුගේ චුති චිත්තය පහළ වෙමින් තිබිණ. එහෙත් තවමත් රුවන්වැලි සෑය සම්පූර්ණයෙන් නිම වී නොමැති බව එතුමාට තේරුම් ගියේය. එනිසා එතුමා මරණය සමඟ ද මහත් සටනක් කරමින් මහා ථූපය දෙස බැලුවේය.

“මලණුවෙනි, මගේ දෑසට දකින්නට රුවන්වැලි මහා සෑයේ සියලු කටයුතු ඉක්මනින් අවසන් කරන්න” රජු සද්ධාතිස්ස කුමරුන්ට අණ දුන්නේය. සොයුරු පෙමින් ළතෙත් හදවතින් කම්පා වූ සද්ධාතිස්ස කුමරු වහ වහා සන්නාලියන් ලවා සුදු පිළියෙන් මහා සැට්ටයක් නිමවාලූවේය. එයින් සෑය වැසු විට එය කිරි බුබුලක් මෙන් බැබළිණ. සිත්තරුන් ලවා පිළිකඩ ද, පූර්ණ ඝට පන්තිය ද මනා කොට සම්පූර්ණ කෙරෙව්වේය. එමතු ද නොව එසේ තාවකාලිකව සෑය නිර්මාණය කැර ලාකඩ හා කොකුමින්වලින් ද දර්ශනීයව සකසා සෑයේ කටයුතු අවවසන් බව රජුට දැන්වීය.

රජු මහත් ආසාවෙන් ථූපය දෙස බලා වැන්දේය. මේ ථූපය හැදීමට සහභාගිවූ හැම දෙනාටම රජු හොඳින් මිල ගෙවීය. සොළොස් (16) නැළියක් ධාතුන් වහන්සේ ගර්භා කළේය. ස්වර්ණමාලි නම් දේවතාවිය එම භූමියේ තෙළඹු ගසක සිටි නිසා ඇයට වූ පොරොන්දුව අනුව සෑය ඇගේ නමින් නම් කළේය.

දිව්‍ය ලෝකවලින් පැමිණ තිබෙන කරත්ත සතර මේ සෑ බිම රොද බැඳ සිටි ජනතාව නොදුටුවද, මහරජතුමා හා රහතන් වහන්සේ හොඳින් දුටහ. රජු මියෙන්නට ආසන්න බව තේරුම් ගත්තාක් මෙන් භික්ෂුන්ගේ පිරිත් ස්වරය දැඩි වන්නට විය.

රජු අතින් සන් කැර තව්තිසාවෙන් පැමිණි දිව්‍ය රථය මෙහි නවතා අනෙත් රථවලට නැවත යන්නැයි අංග මුද්‍රාවෙන් කීවේය. තොල්ද මිමිණුවේය.

මේ දසුන දුටු සියල්ලෝ මවිත වූහ. ඇතැමුන් සිතුවේ රජු මරණ විකාරෙන් නන් දොඩවන බවය. සමහර භික්ෂූහු පිරිත් ස්වරය නවතා දැමූහ. එහෙත් සිදු වූයේ එවැන්නක් නොව අනෙකුත් දිව්‍ය රථවලට යන්නැයි සන් කිරීම පමණකැයි ද රජු නැවත ප්‍රතිසන්ධිය ලබන තව්තිසාවේ රථය තවමත් අහසෙ රැ‍ඳෙන බව ද ථෙරපුත්තාභය මහ තෙරණුවෝ වදාළහ. පුහුදුන් ඇසට එම කරත්ත නොපෙනුණද තව්තිසා දිව්‍ය ලෝකයෙන් පැමිණි රථය රජු පිළිගන්නට බලා සිටියේය.

කිසිවක් නොදකින, නොපෙනෙන මිනිසුන් අන්දමන්ද වන බව තේරුම් ගත් ථේරපුත්තාභය තෙරණුවෝ, ඉක්මනින් පිච්ච මල් මාලාවක් ගෙනෙන්නැයි ඉල්ලා සිටියහ.

ගත වූයේ ක්ෂණයකි. සුවඳ හමන මල්දමක් තෙරුන් වහන්සේ අතට පත් විණ.

උන්වහන්සේ හිස් අහස හා මහා ථූපය දෙස බලා මෙසේ තෙවරක්ම අධිෂ්ඨාන කළහ.

“මාගේ රහත් භාවය සත්‍යයක්නම්, මේ මහා ථූපයේ බුදු රදුන්ගේ සොළොස් නැළියක් ධාතුන් වහන්සේ තැන්පත් වූ බව සත්‍යයක්නම්, මේ පුහුදුන් ඇසට පෙනෙන්නට මේ මල් මාලය තව්තිසාවෙන් පැමිණි දිව්‍ය රථයේ රෝදයක රැ‍ඳේවා!” ඒ අධිෂ්ඨානය සමඟ මල්මාලය අහසට විසි කැර දැමිණ.

මල් මාලය නිදැල්ලේ ගුවනේ පාවී ගොස් බොහෝ කොට මල්කම් කළ අලංකාරව සැරසු රථයේ එක් රෝදයක එල්ලී සිටියේය. බලා සිටින පුහුදුන් ඇත්තනට පෙනුණේ හිස් අවකාශයේ මල් මාලයක් රැඳී තිබෙන බවකි. රහතන් වහන්සේට එය පැහැදිලිව පෙනිණ.

රජතුමා සොම්නසින් ප්‍රමුදිත සිතින් සයනයෙන් චුත විය. ප්‍රතිසන්ධිය ලැබ මොහොතකින් තව්තිසාවෙන් පැමිණි දිව්‍ය රථයේ අසුන් ගත්තේය. අනාගත මෛත්‍රී බුදුන්ගේ දකුණු සව්වන් වශයෙන් මහා සේවාවක් කරන්නට යළි ඉපදෙන තුරු දිව්‍ය කුමාරයෙක්ව තව්තිසාවේ දිවි ගෙවන්නට එතුමා එසේ උත්පත්තිය ලැබු බව ථේරපුත්තාභය මහා තෙරණුවෝ රැස්ව සිටියවුනට කීහ.

දුටුගැමුණු මහරජතුමා සිංහලයේ මහා විමුක්තිදායකයා යැයි විරුදාවලී ලැබුවේය. එතුමා වෙනුවෙන් මහාවංශය ලියු මහානාම හිමි පරිච්ඡේද 13ක්ම ලීවේය. එහෙත් එතුමන්ගේ මරණය නාග විෂෙන් සිදු වූවක් බව කියා නැත. ජනකතාව ඒ බව කියයි.

රජුගේ මඟුල් පොකුණට හොරෙන් බැස දිය නෑමට පුරුදුව සිටි නාග කන්‍යාවෝ පිරිසකි. එයින් වඩාත්ම රූමත්ම නාග කන්‍යාව ජයසේන නම් නා රජුගේ පෙම්වතියයි. සමහර ජනකතාවක ඇය නා රජුගේ දියණියක බව ද කියයි. කෙසේ නමුත් රජුගේ මඟුල් පොකුණේ හොරෙන් දිය නා පැන යන මේ කන්‍යාවන් අල්ලන්නට රජු මුරකාවල් යෙදෙව්වත් ඔවුන් එසේ දියනාමින් සිට පැමිණි විගස ඇසිල්ලකින් පැන ගිය බැව් ඒ හැම මුරකරුවෙක්ම රජුට කීවේය.

රජු මහා රාත්තිරියේ සැඟැවී සිට මේ රූමත් නාග කන්‍යාව අල්ලාගත්තේ “අට ඉස්බක්” උඩ පැනීමෙන් මහත් විස්කමක් කැර බැව් ජනප්‍රවාදය කියයි.

මෙසේ අල්ලාගත් ඒ බිසව තම පාදපරිචාරිකාවක් කරගනු පිණිස රජ උත්සාහ කළේය. එහෙත් ඕ මොහොතක්වත් ඊට නොකැමැති වූවාය. තමන්ට රිසි නැත්නම් බලයෙන් අඹුකමට ගැනීම පහත් ක්‍රියාවකැයි සිතූ රජු මේ නාග කන්‍යාව සිර කළේය. සිර කැර තබා හෝ තම අභිලාෂය සඳහා ඇය මෙහෙයවා ගන්නට මාන බැලුවේය. ඇයට අවශ්‍ය ආහාරපාන මිහිරි රස බොජුන්, පලතුරු කෙතරම් ඒ දඟ ගෙයි දැම්මත් ඇය ඒවා අනුභව නොකළාය.

බඩ සායින් හෝ ඇය තමනට එරෙහිව තම අරමුණෙහිම සිටීම ගැන රජු ආඩම්බර වුවද ඇය කුසගින්නේ සිටීම රජුට ඉවසුම් නොදෙන්නක් විය.

මේ අතර රජු “මේ නාග කන්‍යාව පිළිබඳ විස්තරයක් කියන්නැ”යි පෙරෙවි බමුණන් විචාළේය.

“මහරජ, නා ලොව කම්පා වෙලා. කොයි වෙලාවේ හරි මහරජතුමාගෙන් පළිගන්නවා. ඔය නාග කන්‍යාව අත්හරින්න...” ඔවුහු වැඳ වැටී රජුට කීහ.

“මා ඇය අත්හරින්නේ නාග ලෝකෙ කාටවත් බයේ නොවේ. ඇය කුසගින්නේ ඉන්නා නිසයි” කියමින් රජු ඇයට යන්නට ඉඩ දුන්නේය. එහෙත් රජු එතැනදීත් පරාජිතයෙක් නොවේ. ඇය යාමට පෙර රජුට මෙසේ කීවාය.

“නා ලොව ජයසේනගේ සේවක නාගයින් තිසා වැව අවට ඉන්නවා. ඔබතුමා ඒ පැත්තේ යන්ඩ එපා...” එසේ කී නාග කන්‍යාව තවත් මොහොතකින් අතුරුදන් වූවාය.

රජතුමා නිදා සිටින සිරි යහන් ගබඩාව පැත්තෙන් මහ දවාලේත් කවරදාවත් නුදුටු නාගයෙක් දකින්නට ලැබුණායැයි හේවායෙක් මර හඬ දුන්නේය. පිරිස රොද බැඳිණ. මහ රජුට නාග දෂ්ටනයක් සිදුවී ඇති බව රාජකීය වෛද්‍යවරු තීන්දු කළහ. රජුට තවත් අවස්ථාවකදී මෙසේම නාග දෂ්ටනය සිදු විය. එහෙත් ඒ හැම අවස්ථාවේම රජු සුවපත් කළේ විශේෂ වෛද්‍යවරයෙකි. ඒ රාජකීය වෛද්‍ය කපුරුනාථය. තවත් විශේෂ වෛද්‍යවරයෙක් ගැනද ජනකතාවේ එයි. එතුමාගේ නම රාජ්‍ය වෛද්‍ය පාන් බට්ටීය. මේ දෙදෙනාම එක් අයකු විය හැකි බව තවත් තැනෙක කියැවේ.

ජයසේන නම් නා රජු කීප වරක්ම දුටුගැමුණු රජතුමාට මෙසේ දෂ්ට කළ ද කපුරුනාථගේ විස්මිත ප්‍රතිකාරවලින් රජු සුවපත් විය. අන්තිමට ජයසේන නම් නා ලොව රජු මිනිස් වෙසක් මවාගෙන කපුරුනාථ හමුවී ඔහුව රවටාගෙන විෂ වැළැක්වීමට බැරි මාරක නැකැතක් නැද්දැයි ඇසුවේය. කපුරුනාථ ද එවැනි වේලාවක් දැක්වීය. ඊළඟ දවසේ එම වේලාවට පැමිණි නා ලොව ජයසේන මුලින්ම දෂ්ට කළේ රාජකීය වෛද්‍ය කපුරුනාථටය. ඒ රජතුමා සුවපත් කැර ගැනීමට බැරි වන ලෙසය. එහෙත් කපුරුනාථ මැරී වැටුණේ එවැනි මාරක විෂකට අඹරා ගෑ යුතු කොළ ඇති ගස දෙසට ඇඟිල්ලක්ද උරුක් කරමිනි.

රාජකීය වෛද්‍යවරයා මරාදැමු නාගයා දුටුගැමුණු රජුට අනතුරුව දෂ්ට කළ බව ජනකතාවේ සඳහන්ය.

කෙසේ නමුත් බුදු සසුනට හා රටට විසල් සේවයක් කළ මහරජ ගැමුණු අන්තිමට උපන්නේ තව්තිසාවේය. ඊළඟ මෛත්‍රී බුදුන්ගේ දකුණත් සව් වනුයේ ඒ දුටුගැමුණු මහරජතුමාය.

රාසිං රජතුමාට මඟියකුගෙන් පාඩමක් ඊළඟ සතියේ... 

Comments