සිනා මල් පිපුණ මොහොතක් | Page 2 | සිළුමිණ

සිනා මල් පිපුණ මොහොතක්

 ළපටියන්ගේ වුවන පුරා සිනා මල් පොකුරු විකසිතව තිබිණි. පිබිදුණ දෙනයන පුරා ගලා යන සතුට නිම්හිම් නොවූවක්ම විය. ජීවිතයේ බොහෝ දුක් ගැහැට අමතක කළ ඔවුහු සතුට අප සමග බෙදා ගත්තේ හදවතේ ගැඹුරිණි.

අගහිඟකම් රැසකට උරුමකම් කියනා මේ පොඩිත්තෝ රත්නපුර දිස්ත්‍රික්කයේ ඉතාම කුඩා පාසල් වල අකුරු කරන්නෝය. එදිනෙදා ආහාර වේල පවා අහිමි මොවුනට පාසල් උපකරණ හා පොත්පත් පවා අවශ්‍ය පමණට නැත.පසුගියදා ඇතිවුණු ගංවතුර හා නායයාමේ උවදුර අනුකම්පාවකින් තොරව මේ දරුවන් සන්තකව තිබූ සෙසු සම්පත් ද අහිමි කර පලා ගොස් තිබුණේ සිත් පිත් නැති අයුරිනි.

දිවයිනේ විවිධ ප්‍රදේශ වල ජනතාව රාජ්‍ය මෙන්ම පෞද්ගලික ආයතන රැසක් ගංවතුර හා නායයාම් වෙනුවෙන් පසුගිය දා සිය නිර්ලෝභී පරිත්‍යාගයන්හි නියලෙනු දක්නට ලැබුණි. සමෘද්ධි සංවර්ධන දෙපාර්තමේන්තුව මගින් ද වියළි සලාක , ඇඳුම් පැලඳුම් , බෙහෙත් ද්‍රව්‍ය හා පාසල් උපකරණ උවදුරට පත් ජනතාව වෙත පරිත්‍යාග කළ අතර, එහි දෙවන පියවර ලෙස ගංවතුර උවදුරට පත් දුෂ්කර පාසල් වල දූ දරුවන් අරබයා පාසල් පොත් හා උපකරණ ප්‍රදානය කිරීම සඳහා සමෘද්ධි අධ්‍යක්ෂ ජනරාල් නීල් බණ්ඩාර හපුහින්න මහතා සිය උපදේශකත්වය හා මඟපෙන්වීම ලබා දීම අප ලද භාග්‍යයකි.

හෙට දවසේ අනාගතය වන්නේ කුඩා දරුවන්ය. ඔවුන්ගේ හෙට දවස සුරක්ෂිත වන්නේ නිසි අධ්‍යාපනයක් ලැබූ විටදීය. පොහොර දිය ලත් පමණට වැඩෙන පැළෑටි ලෙසින් නිසි අධ්‍යාපනය හා ගුණ දහම් ලබමින් ඔවුහු ජීවය ලබති. සමෘද්ධි සංවර්ධන දෙපාර්තමේන්තුව නියෝජනය කරනා අපි ඒ සිත් මල් සොයා ජූලි 17 වන දින උදෑසන රත්නපුරය බලා ගියෙමු. රියදුරු මහතා හැරෙන්නට සෙසු ගමන් සගයින් වූයේ කාන්තා නිලධාරීනියන් තිදෙනෙකි. සිසිල් දේශගුණයත් , උදෑසනත් අප සිත් ප්‍රබෝධමත් කළ

අතර, රත්නපුර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ දිස්ත්‍රික් සමෘද්ධි කාර්යාලය වෙතින් අපට අවශ්‍ය මඟ පෙන්වීම ලැබිණි. දුෂ්කර හා ගංවතුරින් හානියට පත් පාසල් පිළිබඳව කල් තියාම අවශ්‍ය තොරතුරු අප වෙත ලබා දෙන්නට කටයුතු කරන ලද්දේ දිස්ත්‍රික් සමෘද්ධි අධ්‍යක්ෂ ඒ .පී.ජයසිංහ මහතා ඇතුළු කාර්ය මණ්ඩලයය.

අප මුලින්ම ගමන් ඇරැඹුවේ රත්නපුර තිරිවානාකැටිය විද්‍යාලය වෙතය. එය රත්නපුර නවදුන් කෝරළයේ මැදපත්තුවේ පිහිටි අධ්‍යාපන අමාත්‍යංශය මඟින් ක්‍රියාත්මක ළමා මිතුරු පාසලකි. රත්නපුර දිස්ත්‍රික් සමෘද්ධි අධ්‍යක්ෂවරයා සමඟින් සමෘද්ධි නිලධාරීහු තිදෙනෙක් විද්‍යාලය වෙත යන ගමනට අප සමඟ එක් වූහ. ඒ වන විටත් පාසල ඇරැඹි හෝරාවන් දෙකක් පමණ ගෙවී තිබිණි. උදය පිපුණු කෙකටිය මල් සේ මුව පුරා සිනාව පෑ පොඩිත්තෝ අප එනතුරු මඟ බලා සිටියහ. එක ශ්‍රේණියේ සිට එකොලොස්වන ශ්‍රේණිය දක්වා පංති පැවැත්වෙන මෙහි දරුවෝ එකසිය නවයක් අධ්‍යාපනය ලබති. විදුහල්පතිතුමන් ඇතුළු ආචාර්ය මණ්ඩලය සිය ප්‍රසාදය පළ කරමින් දරුවන් සඳහා පාසල් උපකරණ පිරිනමන්නට සහයෝගය දැක්වීය. එක ශ්‍රේ ණියෙන් අරඹා එකොළොස්වන ශ්‍රේණිය දක්වාම දෝත පුරා ත්‍යාග ලද දරුවෝ අප වෙත තුතිමල් පුද දෙන්නට අමතක නොකළහ.

තිරිවානාකැටිය විද්‍යාලයේ විදුහල්පති ලාල් සෝමතිලක මහතා පැවැසූ අන්දමට ගංවතුරින් අඩි දහයක පමණ මට්ටමකට පාසලේ ගොඩනැඟිලි ජලයෙන් යටව තිබී ඇත. පාසල් විද්‍යගාරයේ උපකරණ බොහොමයක් විනාශ වී ඇති අතර ඒවා යථා තත්ත්වයට ගැනීම අපහසු මට්ටමක ඇත. බොහෝ පාසල් පොත් ද අත්‍යවශ්‍ය උපකරණ ද දරුවන් වෙත අහිමි වී තිබේ. ගං වතුර බැස යන තෙක්ම පාසල වසා තබන්නට සිදුවී ඇති අතර, බොහෝ දරුවන්ගේ නිවාස ද ජලයෙන් යටවී පීඩාවට පත්වී ඇත.

එමෙන්ම එදිනෙදා ආහාර වේල පවා නොමැති දරුවන් මේ පාසලේ අකුරු කරන්නේ උදෑසන ආහාරය විද්‍යලය මඟින් ලබා දීමේ සහනදායී වැඩපිළිවෙල නිසා බව ගුරු මහත්මියක පැවසුවාය. ජීවිතය ගැට ගසා ගන්නට නොහැකි පවුලකට උදෑසන ආහාරය හෝ ලැබීම කෙතරම් අගනේ දැයි පැවසූ මම ආහාර ලබා දීමේ වැඩසටහන පිළිබඳව ප්‍රසාදය පළ කළෙමි.

තිරිවානාකැටිය පාසලේ සිංහල , ද්‍රවිඩ මෙන්ම මුස්ලිම් ජාතියට අයත් දරුවෝ ද අධ්‍යාපනය ලබති. විශේෂත්වය වන්නේ මේ සියලු දෙනාම එකම භාෂාවකින් එනම් සිංහල භාෂාවෙන් අධ්‍යාපනය ලැබීමයි. දෙමාපියන් අහිමි වූවන් මෙන්ම කිසිවෙකුගේ රැකවරණය නොමැති දරුවෝ ද අකුරු කරන්නට තිරිවානාකැටිය විද්‍යාලයට පැමිණෙති. දුෂ්කරතා රැසක් මැද වුවද විදුහල්පතිතුමා ඇතුළු ගුරු මණ්ඩලය සැමට එකාවන් අධ්‍යපනයක් ලබා දෙන්නට කටයුතු කිරීම අගය කළ යුතු කරුණකි.

තිරුවානාකැටිය විද්‍යාලයේ දූ දරුවන්ට ආයුබෝවන් කියූ අප අනතුරුව ගමන් කළේ රත්නපුර නගරයේම පිහිටි ආනන්ද විද්‍යාලය වෙතය. තිරුවානාකැටිය විද්‍යාලයට වඩා යම් තරමක පහසුකම් තිබුණද ආනන්ද විද්‍යාලයේ බොහෝ දරුවන් ගං වතුර උවදුරට ලක් වී ඇති බව අපට දැනගත හැකි විය. පාසල් පොත්, පැන්සල් , පාට කූරු , වතුර බෝතල, කෑම පෙට්ටි, සබන්, දන්තාලේප වැනි ද්‍රව්‍ය ද අප රැගෙන ආවේ දරුවන් වෙනුවෙනි. අප ගෙන යන ලද ත්‍යාග දරුවන් වැළඳ ගත්තේ කලකින් දුටු මිතුරෙකු උණුසුම් ලෙස පිළි ගන්නා අයුරිනි. සමහර කුඩා දරුවන් පාසල් නිල ඇඳුම සමඟ අත් දිග ටී ෂර්ට් එකකින් හා දිගු කලිසමකින් සැරසී සිටිනු දක්නට ලැබිණි. මුලදී මා සිතුවේ ඔවුන් වෙනත් ජන වර්ගයකට අයත් දරුවන් කියාය. එහෙත් ඒ ඩෙංගු උවදුරෙන් මිදීමට භාවිතා කළ උපක්‍රමයක් බව දැන ගන්නට ලැබිණි.ආනන්ද විද්‍යාලයේ විදුහල්පතිතුමා ඇතුළු ආචාර්ය මණ්ඩලය ද දරුවන් වෙනුවෙන් අප කළ සත්කාරය බොහෝ අගය කළහ.

කෙසේ වෙතත් සොබා දහමේ අකාරුණික කමත් , දෛවයේ සරදමත් නොවෙන්නට ඒ පුංචි මුහුණු වල කිසිදු වෙනසක් නොතිබුණි. සමනල තටුවක මොලොක් බවත්, අවිහිංසකත්වයත් පමණක් රැඳුණු සැම මුහුණකම දරුවන් යනු දරුවන්ම පමණක් බවත් තවත් වැඩිහිටියකු නොවන බවත් ලියවී තිබිණි.

ගංවතුර බැස ගොස් ජන ජීවිතය සාමාන්‍ය අතට හැරුණ ද බොහෝ ප්‍රදේශ වල තවමත් ගං වතුරින් බැට කෑ පාසල් හා එහි අකුරු කරනා දරුවන් වෙත අවශ්‍ය පහසුකම් ලැබී නැත. කිසිදු ආධාර උපකාරයක් නොලැබූ පාසල් ද මේ අතර වෙයි. අප විසින් නිකරුණේ විනාශ කරන රුපියල් ශත රටේ වෙසෙන ආධාර ලැබිය යුතු දරුවන්ගේ අධ්‍යාපනය වැඩි දියුණු කරන්නට ලබා දිය හැකි නම් එය මහත් වූ සමාජ සත්කාරයකි. දරුවන් වෙත පාසල් උපකරණ පිරිනමන්නට තම සහයෝගය නොමදව ලබා දුන් ලංකාවේ විවිධ දිස්ත්‍රික්කයන්හි සියලුම සමෘද්ධි නිලදරුවන් හා සමෘද්ධි සංවර්ධන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල්වරයා ඇතුළු ප්‍රධාන කාර්යාල නිලධාරීන් වෙත මේ මොහොතේ පහන් සිතින් ස්තුතිය පළ කළ යුතුය.

මල් නම් මොලකැටිය සුමුදුය, සුවඳවත්ය. අපි සැවොම මල් වලට ප්‍රිය කරමු. මේ දරුවන් සියලු දෙනා ද දැයට පිපුණු මල්ය. දැය බබළන මල්ය. අප සැම එක්ව මල් යායක් යළි සුවදවත් කළෙමු. ඒ සෙනෙහසේ සත්කාරය සමඟ එක්වූවනට තුති මල් පළදවමු. මල් යාය මත මල් පිපී සුවඳවත් වන විට සැබෑවේ සතුට සැමට හිමි වනු ඇත.

සටහන හා ඡායාරූප
සමන්ති මිරියගල්ල කඩුවෙල සමූහ

Comments