මහනුවර මහ පෙරහරේ දිය කැපීමේ චාරිත්‍රය | Page 3 | සිළුමිණ

මහනුවර මහ පෙරහරේ දිය කැපීමේ චාරිත්‍රය

 මහනුවර වාර්ෂික ඇසළ පෙරහරට සම්බන්ධ දේවාලවල පෙරහර හමාර වන්නේ ගැටඹේ තොටට ගොස් දිය කපාගෙන ඒමෙන් අනතුරුව දවල් පෙරහර කි‍රීමෙනි. දිය කැපීම සිදු කරන ගැටඹේ තොට පිහිටා ඇත්තේ වර්තමානයේ මහවැලි ගඟ හරහා ගැටඹේ පාලම දමා ඇති ස්ථානයේ ය. අතීතයේ මෙතැන තිබී ඇත්තේ ඔරු පාරුවලින් එතෙර මෙතෙර විය යුතු තොටුපළකි.

මහනුවර රජ කළ දෙවැනි රාජසිංහ රජතුමා රජයට ආදායම් ලබාගැනීමටත් රටේ ආරක්ෂාවටත් රාජ්‍ය මුරපළවල් හා තොටමුණු ඇති කළේ ය. මුරපොළවල් හැඳින්වූයේ ‘කඩවත’ යන නමින් ය. පිටින් එන අයගෙන් කඩවතේ දී හා තොටමුණේදී බදු අය කෙරිණ. මෙම බැද්ද ‘මඩිගේ’ බද්ද නම් විය.

මහනුවර රාජ්‍යයට කොළඹ දිසාවෙන් එන කවරෙකු වුවත් අවිස්සාවේල්ල කඩවතින් හා කඩුගන්නාව කඩවතින් බේරී ආවත් ගැටඹේ තොටමුණින් බේරී ඒම පහසු නැත.

පෘතුගීසි බළ ඇණියක් මහනුවර ආක්‍රමණයට ගැටඹේ තොට දක්වා පැමිණියත් ගැටඹේ තොටේ ගන්නෝරුවේදී දෙවන රාජසිංහ රජතුමාගේ සේනාව හා මුහුණට මුහුණලා කළ සටනින් සමූල ඝාතනයට ලක්වූහ. එම ඓතිහාසික ගන්නෝරුව සටන සිදුවූයේ වර්තමාන පෙරහරේ දියකැපීම කරන ගන්නෝරුව තොටමුණේදී ය.

‍දෙවන විමලධර්මසූරිය රජු දවස ලක්දිව උපසම්පදාව පිහිටුවීමට රත්බංග දේශයෙන් ගෙන්වන ලද භික්ෂුන් උපසම්පදා කර්මය සිදුකරන ලද්දේ මෙම ගැටඹේ තොටේදී ය.

පැරැණි සිරිත

දියකැපීමේ චාරිත්‍රය සඳහා එදා පෙරහර සමඟ ගිය රජතුමා ගඟෙන් එගොඩ සිටි අයට ‘ගන් ‍ඔරුව’ යයි කියා දිය කැපීමට ගඟට යාමට ඔරුව ගෙනෙන ලෙස කීවේලු. ඒ අනුව ගන් + ඔරුව - ගංනොරුව වී එම ප්‍රදේශය ගංනොරුව වූයේ යයි ජනප්‍රවාදයේ එයි.

ඇසළ උත්සව මුලින් ම ආරම්භ වූයේ ලංකාවේ උතුරු තැනිතලා ප්‍රදේශයේ රාජධානිය පවතින වකවානුවේ ය. උතුරු තැනිතලා ප්‍රදේශයට හෙවත් වියළි කලාපයට ඇසළ සමය නියං කාලයකි. එම නිසා එම කාලයේ පෙරහර පවත්වා දිය කැපීමේ චාරිත්‍රයෙන් හමාර කළේ වර්ෂාව පතා කරන පූජාවක් ලෙසට ය.

වර්තමානයේ මෙරට ප්‍රධාන පෙරහර කරන මහනුවර ප්‍රදේශයට ඇසළ සමය වැසි කාලයක් වෙතත් පෙරහර හමාර කරනු ලබන්නේ පැරැණි සිරිත අනුව දිය කැපීමේ චාරිත්‍රයෙන් ය.

දිය කැපීමේ සිරිත පෙරහරට එකතු වූයේ වෙනත් පරමාර්ථ නිසා බව දක්වන මත තිබේ. ලංකාවේ පෙරහර කිරීම ආරම්භ වූයේ ගජබා රජ සමයේ ය.

ගජබා රජ සොළී රට ජයගෙන එන ගමනේදී පත්තිනි දේවියගේ ආභරණ ලංකාවට ගෙනා බවත්, ඒවා තැන්පත් කොට දේවාලයක් කරවූ බවත්, එම දේවියට ගරු කිරීමට හා සොළී රට ජය ගැනීම සිහි කිරීමට පෙරහර කළ බවත් ‘සීලප්පදිකා‍රම්’ නමැති ද්‍රවිඩ කාව්‍ය ග්‍රන්ථයට අනුව පෙනේ. ගජබා රජ ඇතුළු සේනාව සොළී රටට ගියේ ‘නීල මහා ‍යෝධය; යගදාවෙන් මුහුදු දිය දෙබෑ කළ පසුව බව ජනප්‍රවාදයේ එයි.

සතර දේවාල පෙරහර

එම නිසා ඒ සිද්ධිය සිහි කිරීමට පෙරහර හමාර කොට දිය කැපීමේ චාරිත්‍රය පවත්වන බවට ද මතයක් ඇත‍.

දිය කැපීමේ චාරිත්‍රය කවර අදහසක් පදනම් කරගෙන ආරම්භ වුවත් මහනුවර අවධිය වනවිට ජය එක්තරා ක්‍රමානුකූල ආකාරයකට හැඩ ගැසී තිබුණ බව නම් පැහැදිලි ය.

වර්තමානයේ මෙම චාරිත්‍රයට සම්බන්ධ වීමට ජනතාව තුළ මහත් උනන්දුවක් ඇත‍. දිය කපාගත් දිය කොතළ රන්දෝලි තුළ තිබූ පසු ඒවාට පඬුරු දැමීමටත් අලි ඇතුන්ට සංග්‍රහ කිරීමටත් දස දහසක පමණ ජනකායක් ඉරමා උදේ ගැටඹේ තොටට රැස්වී සිටිනු දැකිය හැකි ය.

එබැවින් මෙම චාරිත්‍රය ඉටුකරන අයුරු විමසා බැලීම වටී.

දිය කැපීම සඳහා ගැටඹේ තොටට යන්නේ දේවාල සතරේ කුඩා පෙරහර සතරකි.

මෙම පෙරහර සතර ගැටඹේ තොටට එළැඹෙන්නේ පාන්දර ‍යාමයේ ය. එහි පැමිණ දිය කැපීම සිදු කරන ආකාරය 1817 සැප්තැම්බර් 13 දරන ලංකාණ්ඩුවේ ගැසට් පත්‍රය අනුව මෙසේ දැක්වේ.

විසිතුරු ලෙස සරසන ලද ඔරුවක් ගං ඉවුරේ සූදානම් කර ඇත. දේවාලයන්හි කපුරාලවරු තම තමන්ගේ ආවතේවකාරයන් සතර දෙනෙක් ද කැටුව ඔරුවට ගොඩවී ගඟ ඉහළට මද දුරක් යති.

ඔවුහු දේවීන් වහන්සේගේ කඩු හා පැන් කෙණ්ඩි ද රැගෙන යති. අරුණෝදයේ දී ළහිරු රැස් පතිත වෙත් ම කපුරාලවරු කඩුවෙන් දිය දෙබෑ කරති. එකෙනෙහිම අනෙක් අය ගතවූ වර්ෂයේදී පුරවා ගත් පැන් ඉවත ලා කඩුව දියෙහි ගෑවුණ ස්ථානයේ ජලයෙන් කෙණ්ඩි නැවත පුරවා ගනිති. මෙය නිමවූ පසු ඔවුහු ගොඩ වෙති. ජල කෙණ්ඩි හා කඩු රන්දෝලිවල නැවත තැන්පත් කිරීමෙන් පසු ‍ඔවුහු පෙරහරෙන් ආපසු නගරයට පැමිණෙති.”

ගඟ මැද

පසුගිය කාලයේදී කපුරාලලා ඔරුවේ නැඟී ගඟ මැදට යාමක් නො කළහ. ඔවුහු දණක් පමණ දියට බැස දේවාභරණ ජලයේ ස්පර්ශ කොට එම ස්ථානයෙන් කෙණ්ඩිවලට ජලය පුරවා ගැනීම කළහ. මෙය කළේ කඩතුරාවකින් ආවරණය කරගෙන ය‍.

බෝට්ටුවෙන් ගඟ මැදට

එහෙත් මෑතකදී රක්ඛංග විහාරය ඉදි කළ පසු පැරැණි චාරිත්‍ර ඒ ලෙස ම පැවැත්වීමට විධිවිධාන යොදා ඇත.

ඒ අනුව වර්තමානයේ දී දිය කැපීමට ගඟ මැදට යාමට නාවික හමුදාව මඟින් බෝට්ටු සපයනු ලැබේ. දිය කපන කාලයේ බොහෝ අවස්ථාවල ගඟෙහි ජලය සැඩ ලෙස ගලා බසී.

මේ නිසා නාවික හමුදාව ගඟ හරහා කඹයක් බැද එය ආධාරයෙන් බෝට්ටු ප්‍රවේශමෙන් ගඟ මැදට ගෙන යාමට වග බලා ගනී.

බෝට්ටුවෙන් ගඟ මැදට යන කපුරාලලා කඩුවෙන් දිය කපා එම ස්ථානයේ ජලයෙන් කෙණ්ඩි පුරවා ගනිති. මෙය කරන්නේ කඩතුරාවකින් වසා ගෙන ය.

මෙසේ ගඟ මැදින් ගෙනෙන දිය කොතළ රාජසිංහ බෝධිය වටා ඇති සතර දේවාලවල මද වේලාවක් තබා පසුව රන්දෝලිවල තබාගෙන පෙරහරෙන් කටුකැලේ ගණදෙවි කෝවිල කරා ගෙන එති. එහි දිය කළ සමඟ රන්දෝලි තබනු ලැබේ.

ගණදෙවි කෝවිලෙන් සතර දේවාල පෙරහර දවල් පෙරහර අරඹන්නේ දවල් 12.30 පමණ ය.

එතෙක් රන්දෝලි සහ දිය කොතළ ආරක්ෂා කිරීම ගණදෙවි කෝවිලේ සමගිය විදහා දක්වන කැඩපතක් බඳු ය. මෙහිදී ද ‍රන්දෝලිවලට පඬුරු දැමීමට සිංහල ද්‍රවිඩ විශාල පිරිසක් පැමිණේ.

දවල් ගණදෙවි කෝවිලෙන් පිටත්වන සම්පූර්ණ දේවාල පෙරහර කන්දේ වීදියේදී දළදා පෙරහරට එක්වී දළදා මාලිගාව කරා ගොස් මාලිගා චතුරශ්‍රයේ තෙවරක් පැදකුණු කොට ඒ ඒ දේවාල කරා පැමිණ දිය කළ ඊළඟ වසර තෙක් තැන්පත් කර තබති.

විජේරත්න අතුරුපාන 

Comments