ට්‍රම්ප්ගේ ගෙල සිර කරන රුසියානු තොණ්ඩුව | සිළුමිණ

ට්‍රම්ප්ගේ ගෙල සිර කරන රුසියානු තොණ්ඩුව

 “මඟ සිටියොත් තෝ නසී, ගෙදර ගියොත් අඹු නසී” යනුවෙන් කියවෙන්නේ බොහෝ විට උභතෝකෝටික ගැටලුවකට මුහුණ පෑ අයකු උදාහරණ කොට දැක්වීමටයි. මේ දිනවල අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මුහුණ දී ඇත්තේද එවැනි තත්ත්වයකටය. අමෙරිකානු පාර්ලිමේන්තුවේ උභය මන්ත්‍රී මණ්ඩල - එනම්: කොංග්‍රසය හා සෙනෙට් මන්ඩලය - අතිමහත් බහුතරයකින් යෝජනාවක් සම්මත කර ඇත්තේ රුසියාව, ඉරානය හා උතුරු කොරියාවට සම්බාධක දැඩි කිරීමටයි. සිකුරාදා අලුයම වන විට අන්තර්ජාතික මාධ්‍ය වාර්තා කළේ අමෙරිකා සෙනෙට් මණ්ඩලය නව සම්බාධක යෝජනාව 98-2ක් වශයෙන් වැඩි ඡන්දයෙන් සම්මත කළ බවයි. ඊට ප්‍රථම එය කොංග්‍රසය එනම් පහළ මන්ත්‍රී මණ්ඩලය මඟින්ද සම්මත විය. දැන් මේ යෝජනාව ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ අත්සන සදහා යොමු කර තිබේ. ප්‍රශ්නය මතු වන්නේ එතැනයි. එය මේ වන විට ට්‍රම්ප්ගේ ගෙල සිර කරන තොණ්ඩුවක තත්ත්වයට පත්ව තිබේ. ඉරානය හා උතුරු කොරියාව සම්බන්ධයෙන් ට්‍රම්ප්ගේ ප්‍රතිපත්ති හා ව්‍යවස්ථාදායකයේ ප්‍රතිපත්ති අතර ගැටුමක් නැත. එම දෙපාර්ශ්වයේම මතය වී ඇත්තේ එම රටවල් සම්බන්ධයෙන් දැඩි පිළිවෙතක ක්‍රියා කළ යුතු බවයි. ඉරානය සම්බන්ධයෙන් ඔබාමා පාලනය සිය අවසන් යුගයේදී අනුගමනය කළ සාධනීය පිළිවෙත ට්‍රම්ප් පාලනය යටතේ අත්හැරදමා තිබේ. ඉරානය සිය න්‍යෂ්ටික වැඩපිළිවෙළ සම්බන්ධයෙන් අන්තර්ජාතික එකඟතාවකට පැමිණිමේ සාධනීය තත්ත්වය පදනම් කරගනිමින් එදා එරටට එරෙහිව ඔබාමා පාලනය විසින්ම පනවා තිබුණු තෙල් තහනම ඇතුළු සම්බාධක ලිහිල් කරනු ලැබීය. ට්‍රම්ප් නැවතත් තෙල් තහනමක් ගෙන ඒමට අදහසක් පෙන්නුම් නොකළත් ඉරානය සම්බන්ධයෙන් දැඩි පිළිවෙතක් අනුගමනය කළ යුතු බව ට්‍රම්ප්ගේ ස්ථාවරයයි. උතුරු කොරියාව සම්බන්ධයෙන් දැඩි පිළිවෙතක් අනුගමනය කිරීමේ ස්ථාවරය අමෙරිකානු ජනාධිපතිවරයා හා ව්‍යවස්ථාදායකය යන අංශ දෙකම අනුගමනය කළද අමෙරිකානු පාලන තන්ත්‍රය ඒ සම්බන්ධයෙන් අනුගමනය කරන්නේ විමර්ශනාත්මක පිළිවෙතකි. උතුරු කොරියාව දිගින් දිගටම මිසයිල අත්හදා බලමින් අමෙරිකාවටද තර්ජන කළද මේ දක්වා රාජ්‍ය තාන්ත්‍රිකත්වයෙන් බැහැරව දැඩි ක්‍රියාමාර්ගයකට එළඹීමට අමෙරිකාව සූදානම් බවක් පළ කර නැත. එසේ නම් ප්‍රශ්නය ඇත්තේ ඉරානය හෝ උතුරු කොරියාව සම්බන්ධයෙන් නොවේ; රුසියාව පිළිබඳවයි. එය ඉතා බරපතළ බෙදීමකි. පක්ෂ භේදයකින් තොරව රුසියාවට එරෙහි දැඩි ක්‍රියාමාර්ගයක් ගැනීමට අමෙරිකානු ව්‍යවස්ථාදායකය පොදු මතයකට පැමිණ තිබේ. දැන් ඔවුන්ට අවශ්‍යව ඇත්තේ විධායකයද එම ස්ථාවරයට ගෙන ඒමටයි.

අප කවුරුත් දන්නා පරිදි ඩොනල්ඩ් ට්‍රම්ප් ජනාධිපතිවරයා සිය මැතිවරණ ප්‍රචාරක ව්‍යාපාරයේ සිටම රුසියාව සම්බන්ධයෙන් අනුගමනය කළේ වෙනස් පිළිවෙතකි. එය සාමාන්‍යයෙන් අමෙරිකානු දේශපාලන බලාධිකාරිය අනුගමනය කරන ප්‍රතිපත්තිය නොවේ. නිරවි යුද සමයේ - එනම්: ලෝකය ධනවාදි හා සමාජවාදී වශයෙන් බල කඳවුරු දෙකකට බෙදි පැවති යුගයේ - සිටම අමෙරිකාවත් එවකට රුසියාව වශයෙන් පැවති සෝවියට් සමාජවාදී සමුහාණ්ඩුවත් ලෝකයේ අන්ත දෙකක සිටිමින්, එම දේශපාලනික මතවාදී බල කඳවුරට නායකත්වය දෙමින් එදිරිවාදි ආකල්පයෙන් පසුවිය. එකිනෙකාට එරෙහිව මිසයිල මානාගනිමින් හා රහස් ඔත්තුසේවා මෙහෙයුම් සිදුකරමින් ගෙවී ගිය එම කාලය ලෝකය ඉතා අවිනිශ්චිත ගෝලීය යුද බියකින් වෙළී තිබු වකවානුවකි. එම තත්ත්වය අවසන් වූයේ 1990 දශකයේ මුල භාගයේදී සෝවියට් සමාජවාදී සමුහාණ්ඩුව බිඳවැටී අද අපි දකින රුසියානු ෆෙඩරේශනය නම් ප්‍රජාතන්ත්‍රවාදි රාජ්‍යය බිහිවීමත් සමගය. එතැන් පටන් අමෙරිකාවට රුසියාව සම්බන්ධයෙන් බරපතළ ගැටලුවක් නොතිබුනේ බොරිස් යෙල්ත්සින් නමැති අසාර්ථක පාලකයා යටතේ රුසියාව පසුගාමී රටක් බවට පත්ව තිබීම හේතුවෙනි.

නැවතත් මේ ඓතිහාසික මතබේදය දලු ලා වැඩෙන්නට පටන් ගත්තේ වසර 2000දී බලයට පත් ව්ලැදිමීර් පුටින් නැවතත් රුසියාව ශක්තිමත් රාජ්‍යයක් ලෙස ඉහළ නැංවීමත්, ඒක කේන්ද්‍රීය ගෝලීය රටාව තුළ විකල්ප බලවේගයක් ලෙස ඉස්මතු වීමටත්, චීනය වැනි රාජ්‍යයන් හා සමීප වෙමින් බටහිර හෙජමනික බලයට යම් ආකාරයක හෝ අභියෝගාත්මක භූමිකාවක් නිරූපණය කිරිමට උත්සුක වීමත් සමඟයි. අද වන විට සාම්ප්‍රදායික අමෙරිකානු දේශපාලනික බලවේග නියෝජනය කරන්නේ රුසියාව අමෙරිකාවේ ප්‍රබලතම අන්තර්ජාතික අභියෝගය ලෙස සැලකීමේ මතවාදයයි. දෙවැනි ලෝක යුද සමයේ අවසානයේ සිට 1990 දශකය දක්වා පැවති සමය සිහිගන්වමින් නැවතත් දෙපාර්ශ්වය වක්‍ර යුද්ධවලට දායක වීමට පටන් ගෙන තිබේ. සිරියානු යුද්ධය ඊට කදිම උදාහරණයකි.

ඩොනල්ඩ් ට්‍රම්ප් මුල සිටම දැරුවේ සාම්ප්‍රදායික අමෙරිකානු දේශපාලනික මතවාදය නොවේ. හොලිවුඩ් තිරයේ දක්නට ලැබෙන ආකාරයේ අමෙරිකාවේ පොදු සතුරා ලෙස රුසියාව සැලකීමට ඩොනල්ඩ් ට්‍රම්ප් උත්සුක නොවීය. ජනාධිපතිවරණ සමයේ සිටම ඔහු විශ්වාස කළේ ගෝලීය වශයෙන් ඉස්මතු වන නව තර්ජන පිටුදැකීම සඳහා රුසියාව හා අමෙරිකාව එක පිලක සිටීම වැදගත් වන බවයි. විශේෂයෙන්ම අයිඑස්අයිඑස් ත්‍රස්තවාදී තර්ජනය පිටුදැකීමෙහිලා මේ සංහිඳියාව වැදගත් වන බව ට්‍රම්ප් ජනාධිපතිවරයාගේ පිළිගැනීමයි. සම්බාධක තරකරමින් රුසියාව තවදුරටත් ඈත් කර එදිරිවාදියෙකු ලෙස සලකා ක්‍රියා කිරීම වෙනුවට දෙරට අතර සහයෝගිතාවක් පවත්වාගැනීම වැදගත් බව ට්‍රම්ප්ගේ විශ්වාසයයි. ඔහු අසීමිත ලෙස රුසියාව සමග බැඳී සිටින බවට චෝදනා ගෙන දුන්නේ මේ ස්ථාවරයයි. ට්‍රම්ප් බලයට පත් වූයේ රුසියානු පරිගණක ප්‍රහාරකයන් එනම් ‘හැකරුන්’ හිලරි ක්ලින්ටන්ට එරෙහිව ගෙන ගිය වැඩපිළවෙළ නිසා යැයි මතයක් අමෙරිකානු දේශපාලනික ක්ෂේත්‍රය විසින් ඉදිරිපත් කර ඇති අතර ඒ සම්බන්ධයෙන් රාජ්‍ය මට්ටමේ පරික්ෂණයක් පැවැත්වේ.

ට්‍රම්ප් හා රුසියාව අතර කුමන රහස් සබඳතාවක් පවතීද නැද්ද යන්න ගැන ගෝලීය ප්‍රජාවට හෝ අමෙරිකාවේ පොදු ජනතාවට බරපතළ ප්‍රශ්නයක් නැති බව පෙනී යයි. එහිදී ගෝලීය වශයෙන් වඩාත් වැදගත් වන්නේ ට්‍රම්ප් ජනාධිපතිවරයා ලෝකයේ පවතින අර්බුදකාරි දේශපාලනික සංසිද්ධියක් වන අමෙරිකානු රුසියානු ගැටුම අවසන් කිරීමේ අභිලාෂයකින් පසුවීමයි. එහි අවංකභාවයේ ප්‍රමාණය ගැන හෝ රුසියාව මෙහිදී ක්‍රියාකරන ආකාරය ගැන සහතික දීමට අපහසු වුවත් සහයෝගිතා සංකල්පය සඳහා ට්‍රම්ප් මෙන්ම රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින්ද එක් මතයක සිටීම හා ඒ සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට එළඹීම වැදගත් සංසිද්ධියක් වශයෙන් දැකිමට පුළුවන.

ඔබාමා යුගයේදී රුසියාවට අමෙරිකානු සම්බාධක පැනවෙන්නේ යුක්රේන අර්බුදය හේතුවෙනි. අමෙරිකාව රුසියාවේ එළිපත්තේ ඇති යුක්රේනය තුළ ‘රෙජිම චේන්ජ්’ යන ප්‍රකට පොදු වදනින් හඳුන්වනු ලබන දේශපාලන පෙරළියක් සිදු කිරිම හා ඊට රුසියාව එරෙහි වී යුක්රේනයට අයත්ව තිබු ක්‍රිමියානු අර්ධද්වීපය යළි තමන් වෙත ඈඳාගැනීමටත් යුක්රේනයේ රුසියානු හිතවාදි යුද්ධයට ආධාර කිරීමත් යන සිද්ධි දාමය නව රුසියා අමෙරිකා මතභේද උත්සන්න කරන්නක් බවට පරිවර්තනය වීමත් සමඟයි.

මේ වන විට ඩොනල්ඩ් ට්‍රම්ප් ජනාධිපතිවරයා ඉතා බරපතළ ගැටලු රැසකට මුහුණ පා ඇති බව අපි දන්නා කරුණකි. රුසියානු රහස් සබඳතා යෝජනා, මතභේදකාරි සංක්‍රමණික තහනම නිසා ඇති වූ අවුල්සහගත තත්ත්වය, සාම්ප්‍රදායික බටහිර හිතවතුන්, එනම්: යුරෝපය සමග සබඳතා ශක්තිමත් කිරීමට නිසි ක්‍රියාමාර්ග නොගැනීම, මතභේදකාරී සෞඛ්‍ය ආරක්ෂණ වැඩපිළිවෙළ හා පසුගිය සතියේ ප්‍රකාශයට පත් කරනු ලැබූ ලිංග විපර්යාස සිදු කරගත් අයට අමෙරිකානු ආරක්ෂක හමුදා සේවයට එක් වීමට තිබූ අවසරය ඉවත් කර ඒ සම්බන්ධයෙන් තහනමක් පැනවීම ආදි උදාහරණ ගෙනහැර දැක්විය හැකිය.

ඒ අතරවාරයේ සම්බාධක දැඩි කිරීම පිළිබඳව ඉදිරිපත් කර ඇති යෝජනාව ජනාධිපතිවරයා තවත් අවුලෙන් අවුලට පත් කරන්නකි. සම්බාධක දැඩි කිරීම ගැන ඉදිරිපත් කළ යෝජනාව අනුමත කිරීමට ඩොනල්ඩ් ට්‍රම්ප් සිය අස්සන තැබුව හොත් ඔහු මෙතෙක් අනුගමනය කළ සංහිඳියාව පිළිබඳ ප්‍රතිපත්තිය ඉතා බරපතළ වශයෙන් අභියෝගයට ලක් වේ. එය ඔහුගේ අන්තර්ජාතික ප්‍රතිරූපය තවදුරටත් දුර්වල කරන්නක් විය හැකිය. එමෙන්ම යෝජනාවේ ඇතුළත් කොන්දේසියක් වන්නේ ජනාධිපතිවරයා රුසියාව සම්බන්ධයෙන් ක්‍රියා කිරීමේදි ව්‍යවස්ථාදායකයේ අනුමැතිය ලබාගත යුතුය යන්නයි. යෝජනාව අත්සන් තැබීමේදි ට්‍රම්ප්ට සිදු වන්නේ තමාවම සීමාවකට ලක් කිරීමටයි.

යම් කිසි හෙයකින් ජනාධිපතිවරයා එම යෝජනාවට අත්සන් තැබීම ප්‍රතික්ෂේප කළ හොත් ඔහු අමෙරිකානු දේශපාලන ක්ෂේත්‍රයේ පොදු සතුරා බවට පත් වීමේ අවදානම තවදුරටත් ඉහළ යයි. උභය මන්ත්‍රී මණ්ඩල මගින් සම්මත වුවද එවැනි යෝජනාවක් ප්‍රතික්ෂේප කිරීමේ ව්‍යවස්ථාමය බලය ජනාධිපතිවරයා සතුව තිබේ. එහෙත් අවධානයට ලක් විය යුතු සාධකය වන්නේ එවැන්නකින් පසු ඔහු මුහුණ දෙන තත්ත්වයයි. මෙය දැනට ට්‍රම්ප් ජනාධිපතිවරයා මුහුණ පා සිටින ඉතා සංකීර්ණ ගැටලුවල තවත් එක් පරිච්ඡේදයක් බවට පත් වෙමින් තිබේ. ප්‍රශ්නය වන්නේ ඩොනල්ඩ් ට්‍රම්ප් ජනාධිපතිවරයාට මෙතරම් සංකීර්ණ ගැටලුවලට මුහුණ දෙමින් තම පාලන තත්ත්‍රය කොතෙක් දුරට ගෙනයෑමට තරම් හැකියාවක් පවතීද යන්නයි. අමෙරිකාවේ ඇතැම් දේශපාලනික බලවේග ජනාධිපති ට්‍රම්ප්ට දෝෂාභියෝගයක් ගෙන ඒම වැනි යෝජනා පවා සාකච්ඡාවට ලක් කරන බව රහසක් නොවේ. එසේ නම් අමෙරිකානු දේශපාලනඥයන් විසින් නිර්මාණය කරනු ලැබූ රුසියානු තොණ්ඩුව ඩොනල්ඩ් ට්‍රම්ප් ජනාධිපතිවරයා කොතරම් දුරට සිර කරනු ඇද්ද යන්න ගැන ලෝකය විමසිල්ලෙන් පසු වෙයි.

ප්‍රසාද් කෞශල්‍ය දොඩන්ගොඩගේ 

Comments

පිටු