කොටස් වෙළෙඳාමේ ඔබ නොදන්නා පැතිකඩ කොටස් වෙළෙඳාම සූදුවක්ද? | Page 2 | සිළුමිණ

කොටස් වෙළෙඳාමේ ඔබ නොදන්නා පැතිකඩ කොටස් වෙළෙඳාම සූදුවක්ද?

 “කොටස් වෙළෙඳපො‍ෙළ් කොටස් මිලට ගන්නා ආකාරය හා තැරැව්කාර ආයතනයක් හරහා කොටස් මිලට ගන්නා ආකාරයත් මධ්‍යම තැම්පතු ක්‍රමය පිළිබඳවත් අපි පසුගිය සතියේ ලිපියෙන් සාකච්ඡා කළෙමු. පාඨකයින් විශාල ප්‍රමාණයක් අප වෙත එවා තිබූ ලිපිවල සඳහන් වැදගත් ප්‍රශ්නයක් පිළිබඳව අවධානය යොමු කිරීමට මේ සතියේ තීරණය කළෙමු. බොහෝ දෙනාගේ ලිපිවල සඳහන් කළ කරුණක් වන්නේ ‘කොටස් වෙළෙදාම’ සූදුවක් ද යන්න යි. මේ සතියේ ලිපියෙන් ඒ පිළිබඳව සාකච්ඡා කරමු.”

කොටස් වෙළෙඳපොළේ මුදල් ආයෝජනය කිරීම බොහෝ අය සූදුවක් ලෙස සිතා එහි ආයෝජනය කිරීමට මැළිකමක් දක්වති. කොටස් වෙළෙඳපො‍ෙළ් ගනුදෙනු කරන එක සූදුවක් වගේ වැඩක්නෙ.” ඇතැම් අය මෙසේ කියනු අපට ඇසී තිබේ. ඇත්තටම කොටස් වෙළෙඳාම සූදුවක් ද? එය එසේ නොවේද? මෙය අපට හරිහැටි පැහැදිලි කර ගැනීම ඉතා වැදගත් ය.

සූදුවකදී සිදුවන්නේ අවිනිශ්චිත වාසියක් (දිනුමක්) අපේක්ෂාවෙන් ඔට්ටු ඇල්ලීමයි. මේ අපේක්ෂා කරන වාසිය හෝ දිනුම නිශ්චිත එකක් නොවේ. සූදුවකදී ජයග්‍රාහකයෙක් (Winner) සහ පරාජිතයෙක් (Loser) සිටී. එහිදී පර‍ාජිතයාගේ මුදල් ජයග්‍රාහකයාට හිමිවේ. එනම් සූදුවකදී යම් අයකු සතුව තිබූ (පරාජිතයාගේ) මුදල් තවත් අ‍යෙකුට (ජයග්‍රාහකයාට) මාරුවීමක් සිදුවනවා මිස කිසිවිටකත් අලුතින් ධනය ඉපයීමක් සිදුනොවේ. ඒ නිසා සූදු කෙළියේදී ජයග්‍රාහකයින් සහ පරාජිතයින් බිහිවෙමින් ඔවුන් සතු ධනය හුවමාරු වනවා මිස ව්‍යාපාර කටයුත්තක් බිහිවී ආයෝජනය ඉහළ ගොස් තම ආදායම් මාර්ගයක් බිහිවීමක් සිදු නොවේ‍.

ආදායම් මාර්ගයක්

මෙහිදී එක් වරක් දිනන කෙනා තවත් වරකදී පරදී. සූදුවකදී සෑම විටම ජයග්‍රහණයක් ලැබීමට හැකියාවක් නොලැබේ. එම නිසා සූදුවකදී එක් වරෙක දිනන කෙනා එම සූදු පොළේදීම ජයග්‍රහණය කරන ලද මුදල් අහිමිකර ගනී. එම නිසා සූදුවට ඇබ්බැහිවූ පුද්ගලයින් අවසානයේදී ලබන්නේ පරාජයක් ම පමණි. සූදුව සම්බන්ධයෙන් අප මේ සාකච්ඡා කරන ලද කරුණු කුමන ආකාරයකට කොටස් වෙළෙඳ පොළට අදාළ කරගන්නේ කෙසේ දැයි විමසා බලමු. කොටස් වෙළෙඳපොළ හරහා සමාගමක කොටස් මිලටගත් පසු ඔබ එම සමාගමේ අයිතිකරුවන් බවට පත්වේ. එනම් සමාගමෙන් ඔබ මිලදී ගත් කොටස් ප්‍රමාණයෙන් නිරූපණය වන්නේ ඔබට එම සමාගමේ ඇති අයිතියයි. ඔබ සමාගමෙන් වැඩි කොටස් ප්‍රමාණයක් මිලට ගත්තේ නම් සමාගමේ වැඩි අයිතියක් ද අඩු කොටස් ප්‍රමාණයක් මිලට ගත්තේ නම් සමාගමෙන් අඩු අයිතියක් ද ඔබට හිමිවේ.

සමාගමේ අයිතිය

මෙම කොටස් හිමියන්ගේ මුදල් සමාගමේ වගකීමකි. එම වගකිම්වලට සරිලන වත්කම් ද සමාගම සතුව පවතී. එහෙත් සූදුවකදී ඔබ ඔට්ටු අල්ලන මුදල් පරාද වුවහොත් එතැනින් එහාට කිසිවක් නැත. ඔබ මිලටගත් කොටස්වල වෙළෙඳපොළේ මිල ගණන් අඩු වුවත් ඔබට සමාගමේ අයිතියේ වෙනසක් සිදු නොවේ. එම සමාගමේ වත්කම්වලට, ලාභයට හිමිකමක් ‍ඔබට ලැබේ.

සමාගමක කොටස් සම්බන්ධයෙන් බොහෝ දෙනා සිතන්නේ එය ගනුදෙනු මාධ්‍යයක් ලෙස පමණි. එනම් කෙටිකාලීන වශයෙන් කොටස් මිලදී ගැනීම, විකිණීම තුළින් ප්‍රාග්ධන ලාභ ලැබීම ගැනයි. අඩු මිලකට ගත් කොටස් වැඩි මිලකට අලෙවි කිරීමෙන් ‘ප්‍රාග්ධන ලාභ’ ද වැඩි මිලට ගත් කොටස් අඩු අගයකට විකිණීමෙන් ‘ප්‍රාග්ධන අලාභ’ ද ලැබේ.

එහෙත් කොටස් මිල අඩු වුවත් ඔබට සූදුවකදී මෙන් සියලු ධනය අහිමි වීමක් සිදුනොවේ. රුපියල් 50 කට මිලට ගත් කොටසක් රුපියල් 30 කට අලෙවි කළහොත් ඔබට පාඩුවක් සිදුවේ. එහෙත් තවදුරටත් ඔබේ කොටස් සඳහා රුපියල් 30 ක වටිනාකමක් ඇත. රුපියල් 20 ක අලාභයක් සිදුවන්නේ ඔබ රුපියල් 50 ක් වටිනා කොටසක් රුපියල් 30 කට අලෙවි කිරීමට තීරණය කළහොත් පමණි.

ලාභාංශ ආදායම

එහෙත් රුපියල් 30කට එම කොටස් අලෙවි නොකර ළඟ තබාගෙන සිටියේ නම් තවමත් ඔබ සමාගමේ අයිතිකරුවකු වශයෙන් සමාගම පිළිගන්නා අතර ලාභ ලබන කාලවලදී සමාගමෙන් ‘ලාභාංශ’ ආදායමක් ද ඔබට ලබාගත හැකිවේ.

සමාගමකට ලාභ නැතිව කෙටිකාලීනව පැවතිය හැකි වූවත් දිගුකාලීනව ලාභ නොමැතිව සමාගමක් පවත්වා ගෙන යා නොහැකි ය. පාඩු ලබන රාජ්‍ය ආයතනයකට නම් ඒවා පවත්වාගෙන යාමට රජයේ අය වැය ලේඛනයෙන් මුදල් වෙන් කරයි. නමුත් සමාගමකට එසේ කළ නොහැකි නිසා කොටස් කරුවන් දිගින් දිගටම පාඩු ලැබීමට අකමැති නිසා තමා මිලට ගත් කොටස් විකුණා දමා සමාගමෙන් ඉවත් වේ.

එම නිසා ලාභදායිත්වය ගන්න සමාගම්වල දිගුකාලීන පැවැත්මට අත්‍යාවශ්‍ය දෙයකි. මේ කරුණු අනුව අප පැහැදිලි කරගත යුත්තේ කොටස් වෙළෙඳපොළ යනු කෙටිකාලීනව මෙන් ම දිගුකාලීනව ද මුදල් ආයෝජනය කළ හැකි ස්ථානයක් බවයි. දිගුකාලීන ආයෝජනයේදී ලාභ ලබන සමාගමක කොටස් මිල ගණන් ඉහළ යෑමෙන් සහ ලාභාංශ හිමිවීමෙන් ඔබට ඉහළ ප්‍රතිලාභයක් අත්කර ගැනීමට පුළුවන. ඒ නිසා කොටස් යනු කෙටිකාලීන ගනුදෙනු මාධ්‍යයක් පමණක් නොවේ. කෙටිකාලීනව අඩු මිලට ගත් කොටස් වැඩි මිලට විකිණීමෙන් ප්‍රාග්ධන ලාභ ලැබීමට අපේක්ෂා කරන අයට ඉතා ඉහළ අවදානමකට මුහුණදීමට සිදුවේ. එම අපේක්ෂාව ඉටු නොවන්නට ද පිළිවන.

ඇතැම්විට තමන් රු. 10 කට මිලදී ගත් කොටස් රුපියල් 8 වූ අවස්ථාවක (වෙළෙඳ පොළ මිල) වුව ද එම කොටස් විකිණීම සිදු කළ හැකි ය. එනම් එම අවස්ථාවේදී රුපියල් 2 ක ප්‍රාග්ධන අලාභයක් ලැබූව ද එම තත්ත්වය යටතේ කොටස් අලෙවි නොකර තබාගතහොත් ඉදිරියේදී රුපියල් 2 ක ප්‍රාග්ධන අලාභයකටත් වඩා වැඩි අලාභයක් සිදුවිය හැකිය‍. ඇතැම් විට දිගින් දිගටම එම කොටස් අලෙවි නොකර ළඟ තබාගත හොත් ඉදිරියේදී එම කොටස්ම රුපියල් 15 කට 20 කට වුව ද අලෙවි කර විශාල ප්‍රාග්ධන ලාභයක් ලැබීමට පුළුවන.

ප්‍රතිලාභ

සූදුව තුළින් ජයගතහොත් වාසනාව යැයි කිව හැකි ය. පරාජය වුවහොත් අවාසනාව යැයි කිව හැකි ය. එහෙත් වාසනාව හෝ අවාසනාව ගැන අප අර්ථකථනයන් සපයන්නේ ජය පරාජයෙන් පසුව ය. ඊට පෙර ස්ථිර වශයෙන් ම වාසනාවක් තිබේද නැද්ද යන්න පිළිබඳව දැනගත නොහැකි ය. එහෙත් කොටස් වෙළෙඳපොළේ ආයෝජනයෙන් අපට ප්‍රතිලාභ ලැබෙන්නේ වාසනාව මත නොව අත්දැකීම්, දැනුම, අවබෝධය මත වෙළෙඳපොළ තොරතුරු අනුව තාර්කිකව කටයුතු කිරීමෙනි. ඒ නිසා කොටස් වෙළෙඳපොළ ආයෝජනය ‘වාසනාව’ සමඟ කරන ගනුදෙනුවක් නොවේ. ඊට අමතරව කොටස් වෙළෙඳ පොළ ආයෝජනය තුළින් රටේ නිෂ්පාදනය ඉහළ ගොස් රටේ ආර්ථික වර්ධනය වේගවත්වේ. නව රැකියා අවස්ථා ජනිත වේ. සමාගම්වල ව්‍යාපාර කටයුතු පුළුල් වේ. එසේ ම නව නිෂ්පාදන බිහිවීම තුළින් ආර්ථික වශයෙන් රටකට ප්‍රතිලාභ අත්වන බව ද කිව යුතු ය.

නමුත් සූදුව තුළින් රටකට සිදුවන සෙතක් නැත. තවෙ‍ෙකකුගේ මුදල් තවෙකෙකුට හුවමාරුවීමක් පමණක් ම සිදුවේ. එම නිසා කොටස් වෙළෙඳපොළ ආයෝජනය යනු යම් කිසි රටක සමස්ථ ආර්ථිකය මත පදනම්වූ ආර්ථිකය ශක්තිමත් කරන්නා වූ ඉතාමත් ශ්‍රේෂ්ඨ ඝනයේ ක්‍රියාවලියකි. බොහෝ ආර්ථික විශ්ලේෂකයින් රටක ආර්ථික වර්ධන වේගය, උද්ධමන අනුපාතිකය, සේවා නියුක්ති අනුපාතිකය යනාදිය ගැන තීරණය කිරීමට මේ කොටස් වෙළෙඳපොළ ද සාධකයක් ලෙස භාවිතා කරනු ලබයි.

Oxford college of  business school හි ව්‍යාපාර හා ගිණුම්කරණය පිළිබඳ ඉංග්‍රීසි මාධ්‍ය ප්‍රවීන දේශක සුගත් ලියනගේ

Comments