
බන්දුල ජයමාන්න
දෙවැනි ටෙලිකොම් - ස්පීඩ් අප් පාපැදි සවාරියේ අවසන් අදියරට තරගය එළැඹෙණ විට, එතෙක් තරගයේ තත්පරයකින් පෙරමුණ ගෙන සිටි ටෙලිකොම් හි චාමික සඳුන් කුමාර තත්පරයකින් තමයි පෙරමුණේ ඉන්නේ. අවසන් අදියරේ හොඳින් තරග කරලා සමස්ත තරගය ජය ගන්න උපරිමයෙන් ම උත්සාහ කරනවා. යැයි බණ්ඩාරවෙල සිට ඇඹිලිපිටිය දක්වා පැවැති අවසන් අදියරේ තරගයට පිවිසෙමින් පැවැසීය.
සඳුන්ට තත්පරයකින් පසුපසින් සමස්ත තරගයේ දෙවැනි ස්ථානයේ පසුවූ ගුවන් හමුදාවේ සංජු දීමන්ත ද අවසන් අදියරට තරගය පිවිසෙන විට පැවැසුවේ තරගය ජය ගැනීමට උපරිමයෙන් ම උත්සාහ කරන බවය.
ශ්‍රී ලංකා ටෙලිකොම් ආයතනය දක්ෂයන් අතර දක්ෂයා තෝරා ගැනීමේ පාපැදි සවාරියට මෙවර අත ගැසුවේ දෙවැනි වරටය. කන්දේ - පල්ලමේ සහ තැන්නේ සිය පාපැදිය මනාව හසුරුවා ගත් ටෙලිකොම්හි සඳුන් කුමාර දෙවැනි ටෙලිකොම් ස්පීඩ් අප් පාපැදි සවාරිය ජය ගනිද්දි, සංජු දීමන්තට දෙවැනි ස්ථානය හිමි විය.
ලාංකේය පාපැදි ඉතිහාසයේ තියුණු තරග අවසානයක් සටහන් වූ මෙකී පාපැදි සවාරියේ සුවිශේෂිම සිද්ධිය වූයේ සඳුන් සහ සංජු එකම තරග නිමි කාලයක් වාර්තා කිරීමත් සමඟම අදියර දක්ෂතා හමුවේ සංජුට වඩා සඳුන් පෙරමුණ ගැනීම තුළ සමස්ත තරගයේ ජය සඳුන්ට හිමිවීමයි.
දින පහක් පුරා අදියර හයක් යටතේ පැවැති ස්පීඩ් අප් සවාරිය දිවයින පුරාම ආවරණය වන පරිදි ගෙවා තිබු සමස්ත දුර ප්‍රමාණය කිලෝමීටර් 737 කි. අවසන් දිනයේ අදියර බදුල්ලේ සිට ඇඹිලිපිටිය දක්වා පැවැත්වීමට නියමිත වුවද, එදින තරගය ආරම්භ වූයේ බණ්ඩාරවෙලින්ය. මේ අනුව සමස්ත දුර ප්‍රමාණය කිලෝ මීටර් 765 ක් ලෙස කලින් ප්‍රකාශ වුවද, පසුව එකී දුර ප්‍රමාණය කිලෝ මීටර් 28 කින් අඩු විය.
මෙකී සමස්ත දුර ප්‍රමාණය සඳුන් සහ සංජු පැය 18.23.20 කින් නිම කිරීම තුළ දෙවැනි ටෙලිකොම් ස්පීඩ් අප් තරගයේ තරගකාරීත්වය සහ තියුණු බව මනාව පැහැදිලි විය. බණ්ඩාරවෙල සිට ඇඹිලිපිටිය දක්වා වූ අවසන් අදියර නාවික හමුදාවේ අවිශ්ක මැඩොන්සා ජය ගත් අතර, එකී අදියරේ දෙවැනි සහ තෙවැනි ස්ථානය ප්‍රදීප් කුමාරට සහ චතුර මධුෂාන්ට හිමිවිය. සමස්ත තරගයේ ජයග්‍රාහකයා වූ සඳුන්ට මෙහිදී අටවැනි ස්ථානය හිමි වූ අතර, සංජු පස්වැනි ස්ථානය හිමි කර ගත්තේය.
පසුගිය 25 දා ගාලු මුවදොර පිටියෙන් ටෙලිකොම් ස්පීඩ් අප් සවාරිය ඇරඹුණු අතර, එහිදී පුත්තලමින් පළමු අදියර නිමා කිරීමට තරගකරුවන් 110 දෙනෙකු සමත් වූහ. කෙසේ වෙතත් සමස්ත තරගය ඇඹිලිපිටියෙන් අවසන් වන විට තරගකරුවන් 61 දෙනෙකු තරගය නිම කිරීමට සමත් වූහ.
පළමු ටෙලිකොම් ස්පීඩ් අප් තරගයේ ජයග්‍රාහකයා වූ දර්ශන ප්‍රසාද්ට මෙවර සමස්ත තරගයේ හිමි වූයේ අටවැනි ස්ථානයයි. සාග් රන් පදක්කම්ලාභි ජීවන් ජයසිංහට මෙවර පළමු 25 දෙනා අතරට හෝ එක්වීමට නොහැකිවීම විශේෂත්වයකි.
මීට සමගාමීව රත්නපුරයේ සිට ඇඹිලිපිටිය දක්වා වූ කාන්තා තරගයේ ජය හිමිකර ගැනීමට ගුවන් හමුදාවේ සුධාරිකා ප්‍රියදර්ශනී සමත්වූ අතර දෙවැනි සහ තෙවැනි ස්ථානයන්ද ගුවන් හමුදාවේම දිනේෂා දිල්රුක්ෂි මෙන්ම සුලෝචනා පංචාලි හිමිකර ගැනීමට සමත් වූහ.
සමස්ත පිරිමි තරගයේ වේගවත්ම ක්‍රීඩකයා, කඳු නැගීමේ ශූරයා සහ වයස අවුරුදු 23 න් පහළ ශූරයා ලෙස ගුවන් හමුදාවේ සංජු දීමන්ත සම්මාන දිනා ගනිද්දී, සමස්ත කණ්ඩායම් ශුරතාවද ගුවන් හමුදාවට හිමිවිය. එහි දෙවැනි සහ තෙවැනි ස්ථාන යුද හා නාවික හමුදාවන්ට හිමි විය.










