
ප්‍රශාන්ත ඇල්පිටිය
ස්විස්ටර්ලන්තයේ රොජර් ෆෙඩරර් පසුගියදා නිමාවට පත්වූ එංගලන්තයේ පැවති විම්බල්ඩන් ටෙනිස් ශූරතාවලිය වාර්තාගත අටවැනි වරටත් ජය ගැනීමට සමත් වූයේය. එම ජයග්‍රහණය ඔහුට තවත් විශේෂිත වූයේ ෆෙඩරර්ගේ සමීපතමයන් කිහිපදෙනෙකුත් මෙවර ශූරතාව හිමිකර ගනු දැකීමට පිටියට පැමිණ සිටීම නිසයි.
ඒ ඔහුගේ මව, බිරිය සහ දරුවන් සිවු දෙනාය. මෙම දරුවන් ද සුවිශේෂිතය. ඒ ඔවුන් කනිවුන් දරුවන් වීමය. නිවුන් දියණියන් වන මයිලා රෝස් සහ චාර්ලේන් රිවා උපත ලැබුවේ 2009 වසරේදීය. නිවුන් පුතුන් වන ලියෝ සහ ලෙනාර්ට් 2014 වසරේදී උපත ලැබූහ.
"ඔවුන්ට (පුතුන්) මෙතැන සිදුවුයේ කුමක්ද කියලා කිසිම අදහසක් නම් නැහැ. ඔවුන් සමහර විට සිතනවා ඇති මෙතැන සෙල්ලම් කරන්න හොඳ තැනක් කියලා. ඒ වගේම ඔවුන් සිටිය තැනට එතැන හොඳට පෙනෙනවා කියලත් ඔවුන් සිතනවා ඇති. ඒ වුණත් එවැනි තත්ත්වයක් නෙමේ තිබුණේ. ඒ නිසා කවදා හරි දවසක ඔවුන්ට ඒක තේරේවි කියලා බලාපොරොත්තු වෙනවා. ඒ වුණත් එය හරිම විශේෂිතයි. දියණියන් නම් ටිකක් විතර විනෝද වුණා."ෆෙඩරර් වාර්තාගත ජයග්‍රහණයෙන් පසුව පැවසීය.
ෆෙඩරර්ගේ බිරිය වන්නේ මිර්කාය. ඇය තෙවසරකින් පමණ ෆෙඩරර්ට වැඩිමහල්ය. ඇගේ නියම නම වන්නේ මිරොස්ලාවා වව්රින්කෝවා හෙවත් වවුරිනෙක්ය. මිර්කා 1978 වසරේ අප්‍රේල් මස 01 වැනිදා උපත ලැබුවාය. ඒ එවකට චෙකොස්ලොවේකියාවේ බොයිනිස් නුවරය. අද එම ප්‍රදේශය ස්ලොවේකියාවට අයත්ය. මිර්කා දෙහැවිරිදි වියේදී සිය පවුලත් සමඟ ස්විස්ටර්ලන්තයේ පදිංචියට ගියාය.
ඇය 1998 සිට 2002 දක්වා වෘත්තීයමය ටෙනිස් ක්‍රීඩිකාවක් ලෙසට ක්‍රීඩා කළාය. එහිදී අන්තරජාතික ටෙනිස් සම්මේලන කේවල ශූරතා ත්‍රිත්වයකුත් දිනා ගත්තාය. ඇය කාන්තා ටෙනිස් සංගමයේ ඉහළතම කේවල ශ්‍රේණිගත කිරීමට ලක් වූයේ 2001 වසරේදීය. ඒ ලොව 76 වැනි ස්ථානයයි. ඇගේ උස අඩි 5 අඟල් 8 හමාරකි. ෆෙඩරර්ගේ උස අඩි 6 අඟල් එකකි. මිර්කා සිය ක්‍රීඩා දිවිය තුළදී වරින් වර පාදයේ ආබාධයන්ට ලක් වූවාය.
ෆෙඩරර් සහ මිර්කා මුල්ම හමුව සිදුවූයේ 2000 වසරේදීය. ඒ ඔස්ට්‍රේලියාවේ පැවැති සිඩ්නි ඔලිම්පික් ක්‍රීඩා උළෙලට සහභාගි වූ ස්විස්ටර්ලන්ත කණ්ඩායම නියෝජනය කරන විටදීය. වාර්ෂිකව ප්‍රධානතම මිශ්‍ර යුගල කණ්ඩායම් තරගාවලියක් පැවැත්වෙයි. එය පැවැත්වෙන්නේ හොප්මන් කුසලානයටයි. 2002 වසරේදී එම තරගාවලියට ෆෙඩරර් සහ මිර්කා යුගලයක් ලෙසට සහභාගි වූහ. එහිදී ඔවුන් තරගයක් ජය ගත්හ. තරග 02 ක් පරාජය වූහ.

මිර්කා ක්‍රීඩාවෙන් සමු ගැනීමෙන් අනතුරුව ෆෙඩරර්ගේ මහජන සම්බන්ධතා කළමනාකාරවරිය ලෙසට කටයුතු කළාය. අවසානයේ දී ඔවුන් පෙම් යුවළක් බවට පත්වුහ. 2009 වසරේ අප්‍රේල් මාසයේදී ඔවුන් විවාහ වූහ. ඊට සහභාගි වුයේ ඔවුන්ගේ පවුල් සහ සමීපතම හිත මිතුරන් සුළු පිරිසකි.
සෑම සාර්ථක මිනිසකු පිටුපසම කාන්තාවක් සිටියි යන ප්‍රකට කියමනක් තිබේ. එය ෆෙඩරර් සම්බන්ධයෙන් නම් නිවැරදිය. රොජර් ෆෙඩරර් 1981 වසරේ අගෝස්තු මස 08 වැනිදා උපත ලැබීය. ඔහුගේ උපන් නගරය වනුයේ බාසෙල්ය. එය ස්විස්ටර්ලන්තයේ තෙවැනි වැඩිම ජනගහනයක් සිටින නගරයයි. එහි මුල් තැන සුරිච් සහ ජිනීවා නගරයන්ට හිමිය. නමුත් ස්විස් දේශයේ අගනුවර වනුයේ ඉහත නගර ත්‍රිත්වයම නොවේ. එරටේ අගනුවර බර්න් නුවරයි. එයට එරටේ වැඩිම ජනගහනයක් සිටින නගර අතරන් සිවුවන තැන හිමිවීමත් විශේෂත්වයකි.
කෙසේ වෙතත් රොජර් ෆෙඩරර් අද ජීවත් වන්නේ ඉහත සඳහන් කළ ප්‍රධාන නගර සතරින් එකකවත් නොවේ. ඔහුගේ පදිංචිය බොට්මින්ගෙන් නම් කුඩා නගරයේය. මෙම වසර මුලදී එහි සමස්ත ජනගහනය වූයේ 6559 ක් පමණකි.
ෆෙඩරර්ගේ පියා රොබට් ස්විස් ජාතිකයෙකි. මව ලිනෙට් දකුණු අප්‍රිකානුවෙකි. දෙවසරකින් පමණ වැඩිමහල් ෆෙඩරර්ගේ අක්කා ඩියෑන්ය. ඔහුට ස්විස් සහ දකුණු අප්‍රිකානු ද්විත්ව පුරවැසිබව හිමිය. එමෙන්ම ස්විස් ජර්මන්, ප්‍රංශ සහ ඉංග්‍රිසි භාෂා චතුරව හැසිරවිය හැකිය. ෆෙඩරර් ටෙනිස් ක්‍රීඩාවට අමතරව බැඩ්මින්ටන් සහ බාස්කට්බෝල් (පැසිපන්දු) ක්‍රීඩාවන්ටත් දක්ෂයෙකි. එමෙන්ම ක්‍රිකට් සහ පාපන්දු ක්‍රීඩා කෙරෙහිත් උනන්දුවක් දක්වයි. මේ අතර ෆෙඩරර් පවුලට නිවුන් දූ දරුවන් ලැබීම ගැන පුදුම විය යුතු නැත. ඒ ෆෙඩරර්ගේ වැඩිමහල් සොහොයුරියටත් සිටින්නේ නිවුන් දරුවන් බැවිනි.










