ජනාධිපතිගෙන් පිදුම් ලැබීම සුසන්තිකාට මදි පුංචිකමක්ද? | සිළුමිණ

ජනාධිපතිගෙන් පිදුම් ලැබීම සුසන්තිකාට මදි පුංචිකමක්ද?

 ඕනෑම ක්ෂේත්‍රයක විශිෂ්ටයන් සහ දක්ෂයන් ඇගැයීම ඔවුන්ට කරන ගෞරවයක් සේම ජාතියේ යහපත සඳහාම කරන කටයුත්තක් බව ජනාධිපතිවරයා පසුගියදා ප්‍රකාශ කළේ 1948 සිට 2016 දක්වා ඔලිම්පික් තරගවලට එක්වූ ලාංකේය ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට උපහාර පිදීමේ උත්සවයට එක්වෙමින්ය.

මේ වසරේ පැවැත්වෙන ක්‍රීඩා අමාත්‍යංශයේ ස්වර්ණ ජයන්ති උත්සවයට සමගාමීව පැවැත්වෙන වැඩසටහන් අතර මෙකී කර්තව්‍යයට හිමි වන්නේ සුවිශේෂි ස්ථානයක් බව සඳහන් කළ යුතුය. මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ජනාධිපතිවරයා, මාතෘභූමියේ කීර්ති නාමය ලෝකයා හමුවට ගෙන ගිය අපගේ ක්‍රීඩක ක්‍රීඩිකාවන් දක්ෂතාවන්, හැකියාවන් සහ දැනුම මෙන්ම අත්දැකීම් ද සමාජයට දායාද කරමින් හෙට උපදින මතු පරපුට මඟ පෙන්වීම සඳහා පුළුල් වැඩ පිළිවෙළක් සැකසීමේ වැදගත්කම ද මෙහිදී පෙන්වා දුන්නේය.

ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ඔලිම්පික් ගිය ක්‍රීඩක ක්‍රීඩිකාවන් පිරිස සියයකටත් අඩු සංඛ්‍යාවකි. හැමදාම එකම පිරිසක් වැඳුම් - පිදුම් ලැබූ ලාංකේය ක්‍රීඩා ඉතිහාසයේ එය අමතක කර කල්ගත වී හෝ සියලුම දෙනා ඇගැයීමට බලධාරීන්ට සිහිබුද්ධිය පහළවීම අගය කළ යුතුය. ඔලිම්පික් උළෙලට යාම ලෙහෙසි පහසු නැත. පරිසාදන මට්ටම් ඉක්මවා එකී උළෙලට එක්වීම අතිශයින්ම අගය කළ යුතුය. නමුත් ලාංකේය ක්‍රීඩාව අද බෝනස් පිට යාම පුරුද්දක් කරගෙන තිබීම කනගාටුදායකය. මේ බෝනස් ක්‍රමයෙන් ඔලිම්ිපික් යාම වෙනුවට අදාළ ඉලක්ක සපුරා යාම වඩා වටින්නේය. 1948 ඩන්කන් වයිට්ගේ නායකත්වය යටතේ ලාංකේය ඔලිම්පික් නියෝජනය පමණක් නොව, ඩන්කන් වයිට්ගේ පළමු ඔලිම්පික් පදක්කමේ පටන් 2016 ලන්ඩන් ඔලිම්පික් උළෙලට අනුරාධ ඉන්ද්‍රජිත් කුරේගේ නායකත්වයෙන් ශ්‍රී ලංකාව නියෝජනය කළ සියලු දෙනා එක මිටකට ගොනු කර ගැනීම තරම් දෙයක් තවත් නොවනු ඇත.

ලාංකේය ක්‍රීඩාව ගැන කතාබහ කරද්දී, බාල්දි පෙරලන්නට කවදාත් උපන් හපන් හැකියාවකින් යුත් සුසන්තිකා මෙකී ඇගයීම් උළෙල වර්ජනය කළාය. තමා ලාංකේය ඔලිම්පික් ඉතිහාසයේ දෙවැනි පදක්කමට හිමිකම් කියන බව හිතාමතා අමතක කරදමා කටයුතු කරන සුසන්තිකා සැම තැනකදීම ඩන්කන් වයිට් අමතක කර කතා කිරීමට පෙරමුණ ගැනීම ද අශෝබනය.

සුසන්තිකා මෑතකදී වඩාත් කතාබහට ලක්වූයේ සිය ඔලිම්පික් පදක්කම වෙන්දේසි කරන බව පවසමින්ය. අනතුරුව පැවැසුවේ ජනාධිපතිවරයා තමාට අසාධාරණයක් වීමට ඉඩ නොතබනු ඇතැයි යන්නයි. එසේ ජනාධිපතිවරයා ගැන විශ්වාසය පලකළ සුසන්තිකා ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් පැවැති ඔලිම්පික් ක්‍රීඩක ක්‍රීඩිකාවන් ඇගයීමේ උළෙල වර්ජනය කළාය. ශ්‍රියානි කුලවංශ, දමයන්ති දර්ශා සහ සුගත් තිලකරත්නගේ මූලිකත්වයෙන් පිහිටුවාගත් ශ්‍රී ලංකා ඔලිම්පියන්ස් සංගමයේ මුදුනාවීමට සුසන්තිකාට නොහැකිවීම මේ සියල්ලට ම මුල බව අද තැන තැන කරන ප්‍රකාශවලින් පැහැදිලිය.

Comments

පිටු