විද්‍යා හා තාක්ෂණ අධ්‍යාපනය මෙසේ විය යුතුය | Page 2 | සිළුමිණ

විද්‍යා හා තාක්ෂණ අධ්‍යාපනය මෙසේ විය යුතුය

 ශ්‍රී ලංකාවේ පවතින අධ්‍යාපන පද්ධතිය තුළ හයවන වසරේ සිට සිසුනට තාක්ෂණික විෂය හුරු කිරීමට ප්‍රායෝගික හා තාක්ෂණික කුසලතා විෂය (ප්‍රා.තා.කු), විෂය නිර්දේශයට අැතු කර තිබේ. විද්‍යාව විෂය හයවන ශ්‍රේණියේදී ඉගෙනගන්නට පටන් ගන්නා නමුත්, එම විෂයය ධාරාව තුළ විෂයය කරුණු අන්තර්ගතය, දැනුම පදනම් කොටගෙන ඉගෙනුම් ඉගෙනීම් ක්‍රියාවලිය සිදු වන බැවින් විද්‍යාව විෂයයන් ඉහත සඳහන් කළ තාක්ෂණික විෂයට නිර්මාණ කිරීමට දායකත්වය ලැබේ යැයි බලාපොරොත්තු විය නොහැක්කේ එම විෂයය ඉගෙනුම් ඉගෙනීම් ක්‍රියාවලියේ ඇතිවන දුර්වලතා නිසාය. එයට හේතුව විය හැක්කේ අද පවතින තාක්ෂණික ලෝකයේ අවශ්‍යතා සපුරාලීම සඳහා විද්‍යාව විෂයයෙන් ප්‍රායෝගික හා තාක්ෂණික කුසලතා හා ආකල්ප වෙනසක් ඇති කිරීම එම විෂයය ධාරාව අසමත් වී ඇති නිසාය.

විද්‍යා විෂයය සකස් විය යුත්තේ රටේ පවතින ගැටලුවලට විසඳුම් සෙවිමට ජීවත් වීමට ප්‍රායෝගික හා තාක්ෂණික කුසලතා හා හොඳ ආකල්ප ලබා දීමටය. විෂයය කරුණු ඉගෙනගන්නා අතර එම විෂය කරුණුවල අන්තර්ගත විද්‍යාත්මක සංකල්ප යොදා ගනිමින් නිර්මාණකරණයට සිසුන් පෙලඹවීම මේ විෂය ධාරාව තුළ ක්‍රියාත්මක විය යුතුය.

එයට ඉතා අනගි පරිසරයක් ප්‍රායෝගික හා තාක්ෂණික කුසලතා විෂයයෙන් ලබා දීමට බලාපොරොත්තු වුවත් පවතින දුර්වල ඇගැයීම් ක්‍රමය තුළ එය සාර්ථක කරගැනීමට හැකි වේදැයි ගැටලුවක් තිබේ.

මේ කරුණු නිසා සිදුවිය යුත්තේ අටවන ශ්‍රේණිය වන තෙක් විෂය නිර්දේශය ක්‍රියාකාරකම් මගින් ඉගෙනුම් ඉගෙනීම් කියාවලියට යොමු කරවීමය.

ඇගැයිම් ක්‍රමය වෙනස් කොට පවතින ඉවත දමන ද්‍රව්‍ය උපකාරයෙන් ඉගෙනුම් ඉගෙනීම් ක්‍රියාවලිය සැලසුම් කිරිමට විෂය නිර්දේශ සකස් කිරීමේ වැඩපිලිවෙලක් ක්‍රියාත්මක කිරීමට හැකි නම් එය වඩාත් වැදගත් වනු ඇත.

පවතින ද්‍රව්‍ය භාවිතයෙන් විද්‍යාත්මක සංකල්ප මනස තුළ ඇති කිරීමට පාසල් පද්ධතිය තුළ ක්‍රියාත්මක විෂය බලධාරීන් සමත් විය යුතුය.

පවතින පන්ති කාමරය විභාග කර්මාන්ත ශාලාවක් නොකර නව නිර්මාණ, නිපැයුම් සහ අදහස් බිහිකරන, සාරධර්මවලින් පිරි, කුසලතා හා නිපුණතා දියුණු කරන කර්මාන්ත ශාලාවක් පාසලින් මතු විය යුතුය.

උදාහරණ වශයෙන්: සරල යන්ත්‍ර උගන්වන්නට වෙනත් ද්‍රව්‍ය මෙවලම් යොදාගැනීමට වඩා බයිසිකලය යොදාගැනීම උචිත වන්නේ සිසුන් නිතරම බයිසිකලය පරිහරණය කරන නිසාය. තිබෙන දෙයින් පටන්ගෙන විද්‍යාත්මක සංකල්ප දියුණු කිරීමේ වඩාත් සාර්ථකය. සිසුන්ගේ ප්‍රායෝගික භාවිතයෙන් තොරව ඉගෙනුම් ඉගැන්වීම් ක්‍රියාවලියට පෙලඹෙන්නේ නම් එහිදී සිසුන් එකී විෂයයට වඩාත් කැමැත්තක් දක්වන බව තහවුරු වී තිබේ.

අමෙරිකාවේ හාවඩ් විශ්වවිද්‍යාලයේ හවර්ඩ් ගානර් නමැති මනෝවිද්‍යාඥයා බහු බුද්ධි න්‍යාය ලොවට හඳුන්වා දුන් අතර මේ බහු බුද්ධි න්‍යායට අනුව බුද්ධිමය හැකියා හතක් ඇති බව පැහැදිලි කරයි. පන්ති කාමරය තුළ සිදුවන ඉගෙනුම් ඉගැන්වීම් ක්‍රියාවලිය සිසුන්ට තමන්ගේ හැකියා හඳුනාගෙන එම හැකියා දියුණු කරගෙන අනාගතයට වැඩදායක පුද්ගලයකු බිහි කිරීමට පාසල සමත් විය යුතුය. විද්‍යා විෂයය නිර්දේශය හා තාක්ෂණික විෂයය නිර්දේශය සකස් කළ යුත්තේ රටට වැඩදායක පුද්ගලයකු බිහි කිරීමට හා තමුන්ගේ හැකියා හඳුනාගෙන එම හැකියා අනුව කුසලතා සංවර්ධනය කිරීමටය.

මේ නිසා විද්‍යා හා තාක්ෂණ අධ්‍යාපනය සම්පූර්නයෙන්ම සකස් විය යුත්තේ සිසුන්ගේ සැඟවුණු සියලුම හැකියා වර්ධනයට උපකාරී වන පරිදිය. පවතින පාසල් පරිසරය සම්පූරණයෙන්ම සිසුන්ගේ හැකියා සිසුන්ටම හඳුනාගැනීමට උදවු කරන ස්ථානයක් විය යුතුය.

හයවන ශ්‍රේණියේ සිට අටවන ශ්‍රේණිය දක්වා හැදෑරීමට නියමිත විද්‍යාව හා තාක්ෂණ විෂය නිර්දේශයේදී සිසුන්ගේ නිර්මාණ ප්‍රදර්ශනය කිරීමට වේදිකාවක්ද ලබා දිය යුතුය. සිසුන් හුදෙක් තමන්ගේ මොළය මතක ගබඩාවක් ලෙසින් භාවිත කිරීමෙන් සමාජයට ගැටලු පමණක් ඉතිරි කරන මිනිසුන් පිරිසක් බිහි වේ. එසේ විමට ඉඩ නොතබා සිතන සහ ඒ අනුව ක්‍රියාත්මක වන මිනිසුන් බිහි කිරීමට විද්‍යාව හා තාක්ෂණ විෂය ඉතා ප්‍රයෝජනවත් ලෙස භාවිත කළ හැකිය.

නව වැනි ශ්‍රේණියට පිවිසෙන සිසුන් ක්‍රමයෙන් තමුන් හයවැනි ශ්‍රේණියේ සිට අටවැනි ශ්‍රේණිය දක්වා හැදැරූ මූලික විද්‍යා හා තාක්ෂණ දැනුම උපයෝගී කරගනිමින් හා තාක්ෂණ දැනුම උපයෝගී කර ගනිමින් තාක්ෂණ විෂයය නිර්මාණශීලීව හැදෑරිය යුතුවේ.

මේ කාලය තුළදී ඔවුන් ආවුද මෙවලම් භාවිතය අධ්‍යයනය කළ යුතුව ඇත. මේ මෙවලම් භාවිත කොට ගනිමින් නිර්මාණකරණයට පිවිසීමටත් පාසල උපකාර කළ යුතුය. මුල් තාක්ෂණ සංකල්ප, යන්ත්‍ර විද්‍යාව, විදුලිය, යාන්ත්‍රික ඇදීම, වඩු තාක්ෂණය වැනි ඉංජිනේරු අංශයට හා කෘෂිකර්ම අංශයට, ලෝහ වැඩ, වාත්තු වැඩ යන අංශවලටද අදාළව මූලික දැනුමක් ලබා දිය යුතුය. රටේ අනාගතය ගැන සැලකිල්ලට ගෙන තාක්ෂණයෙන් බහුශ්‍රැත පුද්ගලයකු බිහිකිරීම රටට බෙහෙවින් වැඩදායී දෙයකි.

පාසල තුළ පොත්ගුල්ලන් බිහි කරන අධ්‍යාපනයට නැවතීමේ තිත දැමීමට කාලය දැන් එළඹී ඇත. අද රටට අවශ්‍ය වෘත්තීය තාක්ෂණවේදීන් පවතින අධ්‍යාපන ක්‍රමයෙන් බිහිවේද යන්න ගැටලුවකි. අද පාසල හැර යන සිසුන්ගේ ආකල්ප රටට ගැළපෙන පරිදි නිසිසේ සකස් වී නොමැති වීම තවත් ගැටලුවකි.

ඩොලරස් නමැති අධ්‍යාපනඥයා අධ්‍යාපනයේ කුලුණු හතරක් ගැන සාකච්ඡාවට යොමු කර තිබේ. එනම්:

තමන් කව්දැයි හඳුනා ගැනීමට අධ්‍යාපනය ලබා දිය යුතුය(Learning to be)

එකමුතුකමින් සහජීවනයෙන් ජීවත් වීමට අධ්‍යාපනය උදවු කළ යුතුය (Learning to live together)

ඉගෙනිම ඉගෙනීමට අධ්‍යාපනය ලබා දිය යුතුය( Learning to learn)

වැඩ ලෝකයට පිවිසීමට අධ්‍යාපනය ලබා දිය යුතුය( Learning to do)

විද්‍යා හා තාක්ෂණ විෂය ධාරාව හැදැරීමේදී ප්‍රායෝගික හා තාක්ෂණික කුසලතා මෙන්ම සමාජයේ ජීවත් වීමට අවශ්‍ය හොඳ ආකල්පවලින්ද සිසුන් පොහොසත් කළ යුතුය.

ආචාර්ය ලක්ෂ්මන් නෝනිස්

Comments