කෘෂි ක්ෂේත්‍රයට ආයෝජන මණ්ඩලයේ දිරිය | සිළුමිණ

කෘෂි ක්ෂේත්‍රයට ආයෝජන මණ්ඩලයේ දිරිය

ඩඩ්ලි පෙරේරා
පර්යේෂණ හා ප්‍රලේඛණ දෙපාර්තමේන්තුව 
ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය

කෘෂිකාර්මික ක්ෂේත්‍රය යටතේ ග්‍රාමීය හා වැවිලි ආශ්‍රිත ආර්ථිකය කාර්මික සහ සේවා පදනමක් සහිත ආර්ථිකයක් බවට පරිවර්තනය කිරිමට ආයෝජන මණ්ඩලය ආයෝජකයින් දිරිගන්වයි. මේ අනුව කෘෂිකර්මාන්ත ක්ෂේත්‍රයේ ආයෝජකයෝ දේශිය වෙළදපොළ සහ අගය එක්කළ අපනයන මාර්ගය යන ද්විත්වයටම පිවිසෙති. කෘෂිකර්ම ක්ෂේත්‍රය දේශීය ආර්ථික සංවර්ධනයෙහි ප්‍රධාන භූමිකාවක් ඉටු කරමින් සිටින අතර එම සංවර්ධන ඉලක්ක වෙත ළඟා වෙමින් පවතී.

එදා අපේ ගොවියන් කමතේ හේනේ ගොඩගැසු වී ටික එළවළු පලතුරු ටික කර තබාගෙන කඩමණ්ඩියට පොළට ගෙන ගියේය. අද අති නවීන ට්‍රක් රථ ගොවිපොළටම පැමිණ ඒවා සියල්ල මිලටගෙන පටවාගෙන යන කාලයයි. නගරයේ පිහිටි මහාපරිමාණ කර්මාන්තශාලාවලදී පිරිපහදු කර අසුරා තවත් දේශයකට ඒවා අපනයනය කරති. නව ආයෝජන රටාව සහ නව තාක්ෂණික මෙවලම් නිසා සියල්ල වෙනස් වෙමින් කෘෂි කර්මාන්තයට නව මුහුණුවරක් සහ නව වෙළඳපොළොක් විවෘත වී ඇත.

අපගේ කෘෂි කර්මාන්තය නැංවීමට අතහිත දෙමින් එය ආයෝජකයින්ගේ අවධානයට යොමු කළ රාජ්‍ය ආයතන අතර ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය කැපී පෙනෙයි. 1978 දී පිහිටුවන ලද මහ කොළඹ ආර්ථික කොමිසමේ වත්මන් අනුප්‍රාප්තිකයා වන්නේ ආයෝජන මණ්ඩලයයි. අප රටට සෘජු විදෙස් ආයෝජන ඇද ගැනීමෙන් කෘෂිකර්මාන්තය ඇතුළු ක්ෂේත්‍ර ගණනාවක් උසස් කිරිමට පසුගිය කාලයේ මේ ආයතනයට හැකි විය. එමඟින් රටේ ආර්ථික සංවර්ධනය, අපනයනය උසස් කිරිම සහ නව තාක්ෂණය සහ රැකියා උත්පාදනය මුලික අපේක්ෂාව විය.

එදා මෙදාතර ගතවු කාලය දශක 4 කට ආසන්නය. මේ වන විට ආයෝජන මණ්ඩලය රට පුරා ආයෝජන ව්‍යවසායකයන් 1700 ආසන්න ප්‍රමාණයක් බිහි කිරීමට සමත්ව සිටි. ඒ අතුරින් ව්‍යවසායකයන් 88 ක් ම කෘෂිකර්මාන්තයට අයත්වීම සුවිශේෂ කාරණයකි. රටෙහි නිෂ්පාදන මේ වන විට යුරෝපය ඇතුළු මැද පෙරදිග රටවලට අපනයනය කෙරේ. රටේ සමස්ත අපනයනයෙන් 70% ආයෝජන මණ්ඩලයේ ව්‍යාපෘති වේ.

කෘෂිකාර්මික ක්ෂේත්‍රය යටතේ ග්‍රාමීය හා වැවිලි ආශ්‍රිත ආර්ථිකය කාර්මික සහ සේවා පදනමක් සහිත ආර්ථිකයක් බවට පරිවර්තනය කිරිමට ආයෝජන මණ්ඩලය ආයෝජකයින් දිරිගන්වයි. මේ අනුව කෘෂිකර්මාන්ත ක්ෂේත්‍රයේ ආයෝජකයෝ දේශිය වෙළදපොළ සහ අගය එක්කළ අපනයන මාර්ගය යන ද්විත්වයටම පිවිසෙති. කෘෂීකර්ම ක්ෂේත්‍රය දේශීය ආර්ථික සංවර්ධනයෙහි ප්‍රධාන භූමිකාවක් ඉටු කරමින් සිටින අතර එම සංවර්ධන ඉලක්කයන් වෙත ළඟා වෙමින් පවතී.

ශ්‍රී ලංකාවේ ප්‍රධානම සම්ප්‍රදායික අපනයන බෝග වන්නේ තේ රබර් සහ පොල්ය. මේ භෝග ආශ්‍රිත කර්මාන්ත සැලැසුම් සහගතව ස්ථාපිත වී ඇත. මේ නිසා ආයෝජන මණ්ඩලයේ වැඩි අවධානයක් යොමු වී ඇත්තේ අගය එකතු කළ නිෂ්පාදන සඳහා ය. මේ නිසා උසස් තත්ත්වයේ බීජවර්ග සහ රෝපණ ද්‍රව්‍ය යොදා ගනිමින් උසස් තාක්ෂණික ක්‍රම හඳුන්වා දෙමින් ඵලදායිතාව වැඩි දියුණු කිරිම අපේක්ෂා කෙරෙන අතර අන්තර්ජාතික වෙළඳපොළට පිවිසීමට ද හැකියාව ලැබේ.

කෘෂි ක්ෂේත්‍රය යටතේ ආයෝජකයින් තවදුරටත් දිරිගන්වනුයේ ඉතා උසස් තත්ත්වයේ උද්‍යානකරණීය නිෂ්පාදන ලොවට හඳුන්වාදීමටයි. මෙය දෙස් විදෙස් ආයෝජකයින්හට මහඟු අවස්ථාවකී. මේ යටතේ ආයෝජකයින්හට පටක රෝපිත තාක්ෂණය භාවිතා කරමින් ලෝකයේ අති නවීන දියුණු කළ දෙමුහුන් බීජ වර්ග ආනයනය කර එම මවු ශාකවලින් පැල බෝකිරීමට හා අපනයනයට අවස්ථාව සැලසේ. මෙයට සමානවම එළවළු සහ පලතුරු නිෂ්පාදනය සඳහා ද ආයෝජන ව්‍යාපෘති ආරම්භ කළ හැකි අතර මැද පෙරදිග සහ ජපානය වැනි රටවලට අපනයනය කිරිමට ද අවස්ථාව උදාකර ගත හැකිය.

තවදුරටත් කෘෂි ක්ෂේත්‍රයට පිවිසෙන ආයෝජකයින් හට විවිධ කෘෂි නිෂ්පාදන සඳහා ආයෝජන අවස්ථා පුළුල් කර තිබේ. කුළුබඩු නිෂ්පාදනය මෙයට වැදගත් උදාහරණයකි. ශ්‍රී ලංකාව සෙසු රටවල් අතර විශාල වශයෙන් කුළුබඩු අපනයනය කරන රටකි. මේ නිසා රජය තවදුරටත් ආයෝජන සහන ලබාදෙමින් අගය එක් කළ කුළුබඩු නිෂ්පාදනයට සහ අපනයනයට දිරිගන්වයි. තවද පශු සම්පත් හා ධීවර කටයුතු වැනි අංශවල ආයෝජනයට ද මේ කෘෂි ක්ෂේත්‍රය යටතේ දෙස් විදෙස් ආයෝජකයින්හට පිවිසිය හැකිය.

මේ වන විට ආයෝජන මණ්ඩලයේ දිරිගැන්වීම් සහ බදු සහන මත ක්‍රියාත්මක වන වැවිලි ආශ්‍රිත කෘෂි ව්‍යවසායකයන් 88 කට වැඩි ප්‍රමාණයක් රට පුරා ක්‍රියාත්මකය. මේ ව්‍යවසාකයන් අපනයන සැකසුම් කලාපවලත් ඉන් බැහැරව දිවයිනේ විවිධ පළාත්වල පිහිටුවා තිබේ. ඉදිරියේ දී තවත් නව ව්‍යාපෘති 16ක් ක්‍රියාත්මක කිරීමට කටයුතු සම්පාදනය වෙමින් පවතී. 2015 වසරේ සමස්ත කෘෂි ආයෝජනවල වටිනාකම රු.මිලියන 65,851.78 කී. 2016 වසරේ අපනයන වටිනාකම රු.මිලියන 13,403.20 ක් බව දැක්වේ.

මේ ව්‍යාපෘතීන් යටතේ එළවළු පලතුරු වගාව, පිටි සහ සීනි ආශ්‍රිත නිෂ්පාදන, ධාන්යන මගින් සකස් කළ නිෂ්පාදන, උද්‍යානණකරණ නිෂ්පාදන කැපු මල් යනාදිය, කෘෂි ආහාර, උද්යාානකරණ නිෂ්පාදන යටතේ ෆාම් තෙල් (පොල් සෝයා කජු එළවළු) කිරි ආශ්රි ත නිෂ්පාදන එළවළු සහ පලතුරු සකස් කිරීම යනාදිය විදෙස් වෙළඳපොළ ඉලක්ක කරගෙන සකස් කෙරේ.

එක්සත් රාජධානිය, සිංගප්පූරුව, ඇමරිකා එක්සත් ජනපදය, හොංකොං, ජපානය, ඉන්දියාව, ඉතාලිය, ජර්මනිය, එක්සත් අරාබි ජනරජය, නෙදර්ලන්තය, නෝර්වේ, චීනය, යන රටවල් සෘජු ආයෝජනයෙන් ද චිනය ජර්මනිය හොංකොං ඇමරිකා එක්සත් ජනපදය ජපානය බෙල්ජියම ඔමානය ප්‍රංසය එක්සත් රාජධානිය මාලදිවයින වියට්නාමය නෙදර්ලන්තය ඉතාලිය යන රටවල් ශ්‍රී ලංකාව සමඟ හවුල් ආයෝජනයෙන් ද මේ ව්‍යාපෘවලට දායක වී ඇත.

ශ්‍රී ලංකාව විශාල මත්ස්‍ය සම්පතින් සහ කෘෂි පදනමක් සහිත කර්මාන්ත සඳහා ගැලපෙන කෘෂි ඉඩම් වලින් පොහොසත්ය. මේ නිසා කෘෂිකර්මාන්තය, පශු සම්පත් සහ ධීවර කර්මාන්තය යනාදිය අංශ තුළ දෙස් විදෙස් ආයෝජකයින්හට ආයෝජන අවස්ථා බහුලය. 

 

Comments