යාපන කොටුවේ සිට හමුදාපති පුටුවට | Page 3 | සිළුමිණ

යාපන කොටුවේ සිට හමුදාපති පුටුවට

 සිත වසඟ කරනා මද සිනහවකින් මුව සරසාගෙන නිතර කටයුතු කරනා ලුතිතන් ජෙනරාල් මහේෂ් සේනානායක නම් අභීත සෙන්පතියා සම්භාවනාවට ලක්ව ඇති යුද්ධ හමුදා විශේෂ බළකායේ (Special Forces) හී අසමසම පුරුකකි. ඒ හැමදෙයටම වඩා අපේ කාලයේ රණවිරුවන් අතරේ කැපී පෙනෙන රටේ ස්ථිරසාර සාමය සඳහා සුවිශේෂ ලෙස ජීවිත පරිත්‍යාගයෙන් කටයුතු කරන්නාවු හා එලෙස කටයුතු කළ මානව හිතවාදියකි. මෙතැන් සිට දැවැන්ත සංවිධානයක දැවැන්ත ප්‍රතිරූපයක් ලෙස ලක්ෂ දෙකකට ආසන්න වු රණවිරුවන්ගේ අභිවෘද්ධිය වෙනුවෙන් කටයුතු කිරීම ඔහු අරඹනු ඇත. සිය අවදානම් රාජකාරි ජීවිතයේදී මරු වසඟයට කිහිපවිටක්ම ඇදගෙන යද්දී හා මරණය අභිමුඛ වුවද රට වෙනුවෙන් අසමසම වීරත්වය හා ස්ථානෝචිත ප්‍රඥාව විද්‍යමාන කරමින් උපක්‍රමශිලීව තවදුරටත් ජීවත්වීමේ වාසනාව හිමිකරගත් ඔහු අපූරු චරිතයකි.

තමන් සිප්සතර ප්‍රගුණ කළ කොළඹ ආනන්ද විද්‍යාලයේ හිටපු විදුහල්පති කර්නල් ජී.ඩබ්ලිව් රාජපක්ෂයන් අප සාරධර්ම පද්ධතීන් තුළ ඇති ගැඹුර උකහාගෙන අප තුළ ඇති නිසග කුසලතාවයන් මනාව හඳුනාගත් බව පවසන නව හමුදාධිපතිවරයා ඒ ගැන සිය හඬ අවදි කරන්නේ මෙසේය. “මා ඇතුළු මාගේ සමීප මිතුරන් කිහිපදෙනෙක්ම විද්‍යාලයීය කෙඩෙට් පුහුණුවට යොමුකර, ඉන් නොනැවතී යුද්ධ හමුදාව වැනි විශිෂ්ට සේවාවකට අප අනාගතයේදී එක්විය යුතු බව තරයේ අවධාරණය කරනු ලැබූයේ ඔහුට අප පිළිබඳව මනා සංවේදී සංජානනයක් තිබූ බැවින් යැයි දැන් අපට හැ‍ඟෙනවා. මෙම අදහස හා ඒකාබද්ධ වු තවත් කාරණයක් වුයේ ප්‍රධාන පොලිස් පරීක්ෂකවරයෙකු ලෙස සේවය කර විශ්‍රාම සුවයෙන් සිටි මාගේ ආදරණීය සීයා සහ එවකටත් පොලිස් සේවයේ යෙදී සිටි මාගේ පියාණන්ය. ඔවුන් දෙපළ අප‍ගේ පරමාදර්ශී චරිත වුණා. විනය, ආචාරශීලීත්වය, සෘජුබව හා අදීනත්වය එම චරිත තුළ පැහැදිලිව ගැබ්ගත් සුවිශේෂ සාධක. මේ පවුල් පසුබිම මාගේ හමුදා වෘත්තියට ලබාදුන්නේ ප්‍රබල උත්තේජනයක්. ලොව කුරිරුම ත්‍රස්තවාදය පිටුදකිමින් ජාතිය ගොඩනැංවීම කැපවී සිටිනා ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ අද්විතීය හැකියාවන් හා විශිෂ්ටත්වය දශක තුනකට වැඩි කාලයක් තිස්සේ මම අත්විඳිමි. එම ප්‍රෞඩ මිනිසුන්ගේ සහෘදයෙක් වීමට මට හැකිවීම මා ලද දුර්ලභ භාග්‍යයක් යැයි මම අවධාරණයෙන් ප්‍රකාශ කරමි”.

“යුද්ධ හමුදාවට බැඳී මගේ පියා මට දියතලා හමුදා විද්‍යාපීඨයේ දීර්ඝ පාඨමාලාවට යොමුකර ඉන්පසුව පියාණන්ද විශ්‍රාම සුවයට එළඹ අපගේ අභිවෘද්ධියටම වැඩිකාලයක් ගතකරනවා. දියතලා විද්‍යාපීඨය කියන්නේ අපගේ දෙවන උත්පත්තිය ලැබූ තැනයි. එහි ප්‍රධාන උපදේශකවරයා වූ මෙරට තැනු තවත් විශිෂ්ට ගණයේ සෙන්පතියෙකු වූ මේජර් ජෙනරාල් ජානක පෙරේරා වැනි නායකයන් අපගේ ගුරුවරුන් ලෙස කටයුතු කරමින් හමුදා ශාස්ත්‍රය ලබාදෙන ගමන්ම ඉංග්‍රීසි භාෂාව ප්‍රගුණ කරනා ලෙස අප පෙරැත්ත කර ඒ සඳහා විවිධ පුහුණු ක්‍රමයන් ද අපට ලබාදුන්නා. ප්‍රතිඵලය ඉතා පැහැදිලිය. වසර තුනක පුහුණුව ලබා 1983 ජූනි මස විසිරයන උත්කර්ෂවත් උත්සවයේදී මා අප කණ්ඩායමේ විශිෂ්ටයා වී බුහුමනට පාත්‍රවන (ගරුත්වයේ අසිපත) හෙවත් Sword of Honour සම්මානයට හිමිකම් කීය. එය ලබාගැනීම තමා විද්‍යාපීඨයේ දුෂ්කරම හා අභියෝගාත්මකම කර්තව්‍යය. ජානක පෙරේරා වැනි විශිටයෝ දේශමාමක මහා පුරුෂයන් ලෙස අදත් අපගේ ප්‍රණාමයට ලක්වන්නේ අප තුළ සැඟව තිබු සහජ නිසග කුසලතා අනාවරණය කර ඔවුන් අපව විනිවිද දැකීමයි. එහි ප්‍රතිඵල ලෙස මා පසුකාලීනව විශේෂ බළකායට එකතු වූවත් මට අවශ්‍යව තිබුණේ අද විජයබාහු පාබල හමුදාව ලෙස නිර්මාණය වී ඇති එහෙත් එවකට රණකාමී ‘රජරට රයිෆල්’ නම් වූ රෙජිමේන්තුවට එකතු වීමටය. එහෙත් පමුවන යාන්ත්‍රික ඉංජිනේරු බළකායේ නිලධාරියකු ලෙස පිටව ගියත් පසුව අන්තර් ඒකක මාරුවක් හරහා විශේෂ බළකාය ප්‍රතිෂ්ථාපනය කරන අවධියේම එයට එකතු වුණා. එලෙස විශේෂ බළකාය ප්‍රතිෂ්ඨාපනය කරනු ලැබුවාට එයට බැඳීමට පෙර කමාන්ඩෝ රෙජිමේන්තුවේ පුහුණුව අනිවාර්යයෙන්ම අප ලබාගත යුතුව තිබුණා තුන්මාසයකට වඩා සියලු සැපයුම් හා සන්නිවේදන විසන්ධි කොට ප්‍රාණ ඇපකරුවන් ලෙස යාපනය කොටුව ඇතුලේ කොටි ග්‍රහණය නතුවට ගෙන තිබු අපගේ සියලු විරුවන් නිරුපද්‍රිතව බේරාගැනීම අතිශය බිහිසුණු හා තීරණාත්මක සන්ධිස්ථානයක්. ජිවිත පරදුවට තබා මාද ඇතුළු විශේෂ බළකායේ ‘සීඝ්‍රගාමී ප්‍රහාරක’ සෙබලුන් කලපු වතුරේ කිඳා බැස ඒ ඓතිහාසික සටන කළා.” එමෙන්ම මාරාන්තික මුලතිව් මෙහෙයුම්, අලිමංකඩ හා මුහමාලේ, කලවන්චිකුඩි ක්‍රියාන්විතයන් සහ අනෙක් හමුදා මෙහෙයුම් සහ සියලු මානුෂීක මෙහෙයුම්වලදි තමන්ට ද සක්‍රීයව දායකත්වය ලබාදීමට හැකිවීම පිළිබඳ ඔහුට ඇත්තේ අභිමානයකි. ගෞරවාන්විත හැඟිමකි. එහෙත් සතුරු ප්‍රහාර හමුවේ තම සගයින් අහිමි වීම සංවේදීව සිහිපත් කරයි.

“මා පරමාදර්ශී චරිත ලෙස ගෞරවයෙන් සැලකු දිවංගත ජෙනරාල් ඩෙන්සිල් කොබ්බැකඩුව රණවිරුවෙකුටත් වඩා අති විශීෂ්ට මානව හිතවාදියෙක්. ඔහු මහත්මා ගතිවලින් හෙබි සොල්දාදුවාගේ හදවත සංවේදි ලෙස නිවැරදිව හඳුනාගත් උදාර පුරුෂයෙක්. ඔහු එවකට තරුණ අපගේ හදවතට තදින්ම කිඳා බැසගත් චරිතයක්. කාලය ඇවෑමෙන් හමුදා විධානය අතට ගත් ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා අපගේ යුද්ධය දිනීම පිළිබඳ මෙතෙක් අවධානයට ලක් නොවී තිබු ‘විප්ලවිය හා විකල්ප ශීල්ප ක්‍රමවලට’ හා ඒවා භාවිතය පිළිබදව මහත් උත්තේජයක් ලබා දුන්නා. එවකට ගතානුගතික හා සම්ප්‍රදායනුකුලව දියත්ව තිබු සටන් කිරීම වෙනුවට අපි යෝජනා කළ සංකල්ප ෆීල්ඩ් මාර්ෂල් ‍ෆොන්සේකා තර්කානුකුලව පිළිගනීමින් ‘දිගදුර ගමන් කරන කුඩා කණ්ඩායම්’ සමඟ මෙහෙයුම් අතිශය සාර්ථක බවට ඒත්තු ගැන්වූවා. ඒකාලේ මම 3 විශේෂ බලකායේ අණදෙන්නා. එම ක්‍රමවේද නොසිතූ විරු පරිද්දෙන් සාර්ථක වුණා. මෙම ක්‍රමවේද සතුරාට බරපතළ හානිගෙන දෙමින් ඔවුන්ව පුදුමයට පත් කෙරුවා. ‘මාවිල්ආරු’ මෙහෙයුම සාර්ථකවී ඉදිරියට ඇදෙන විට නිලධාරින් හැටියට අපට නැවත ජනනය වෙමින් තිබුණේ විශාල විශ්වාසයක්. ෆිල්ඩ් මාර්ෂල් සරත් ‍ෆොන්සේකා “ත්‍රස්තවාදය නැති කිරීම සිය අනුප්‍රාප්තිකයාට ඉතිරි නොකරන බව” ප්‍රසිද්ධියේම ප්‍රකාශ කිරීමත් සමඟම අපට නව ධෛර්යයක් ලැබුණා. ඔහු වැනි විශීෂ්ට විධානයක් හිමි කෙනෙකු නොසිටියා නම් අදටත් කුමක්වේදැයි සිතාගත නොහැකි,” යැයි සැහැල්ලු සිතින් එහෙත් ගැඹුරු ස්වරයකින් නව හමුදාධිපතිවරයා පවසන්නේ ආඩම්බරයෙනි.

2010 ජනාධිපතිවරණයෙන් පසු පැවති ඔවුන් හඹා ගිය ‘අඳුරු භීෂණය’ සංවේදී ලෙස සිහිපත් කරන නව හමුදා ප්‍රධානියා තමන් ඇතුළු නිලධාරින් 14 දෙනෙක් සිය ජිවිත බේරාගැනීම අරභයා පවුල් සාමාජිකයන් සීසීකඩ විසුරුවා ගම්බිම්-ගෙවල් දොරවල් අතහැර අස්ථානගතවු හැටි සිය මතකයට කැඳවයි. “රට වෙනුවෙන් මෙවැනි කැප කිරීම් කළ අපට එක පෑන් පහරකින් හෝරා කිහිපයක් තුළදි සියල්ල අහිමි වුණා. ‘සේවාව අනවශ්‍ය බව’ ලියු කොළයක් මගින් අපගේ වැටුප, නිළය, හමුදා නිවාස, විශ්‍රාම වැටුප හා කීර්තිමත් සේවාව නිර්දය ලෙස හා ක්ෂණිකව අවසන් කළා. මෙවැනි ව්‍යාකූල තත්වයක් යටතේ සාමාන්‍යයෙන් හමුදා පිළිවෙත අනුව මුලික පරීක්ෂණ උසාවියක් පවත්වා සත්‍ය සොයා ගතයුතු වුවත් ඒ කිසිවක් අවාසනාවට කෙරුණේ නෑ. ඒ වෛර තිරණවල පසුබිම බලය රැක ගැනීම පමණක්ම වුණා. එකම පැතිරුණු චෝදනාව වුයේ ‘අපි ‍ෆොන්සේකාගේ සහචරයන් වු බවයි’. මෙය ඉඳුරාම සත්‍යයෙන් තොර වුවකි,” හමුදාපතිවරයා පවසයි.

“රට අස්ථාවරව දරුණු යුද්ධයක් තීරණාත්මක මොහොතකට එන විට නිලධාරීන් ලෙස අපි හමුදාපතිගේ නියෝග ක්‍රියාත්මක නොකර කුමක් කරන්නද ? අපි කාගේවත් දේශපාලනයක් කළේ හෝ ඒවාට සහයක්වත් දුන්න අය හෝ නොවේ. එහෙත් අපගේ හමුදා තනතුරුවලට අනුකූලව විධානය දෙන නායකයා සමඟ ත්‍රස්තවාදයට විරුද්ධව ඒකාත්මිකවී කටයුතු කරනවා හැර වෙනකුමක් කරන්නද? එනිසා අප ‘දේශපාලන’ කෝණයකට කොටුකර චුදිතයන් කරන්නට උත්සාහ කිරීම රටට කළ අපහාසයක් හැටියටයි අප දැක්කේ. අසාධාරණ ලෙස පදනම් විරහිතව අපට දුන් ශාරීරික හා මානසික වධ විස්තර කළ නොහැකි තරම් සහාසිකයි. මම ඒවා පිළිබද උපේක්ෂාවෙන් දකින්නේ. එනිසා අපට සිදුවු දේ ‘පැවති සතුරු තත්වයන්’ යටතේ සිදු කළ ක්‍රියා බවයි අපගේ හැඟිම. එවකට හමුදා ලේකම්වරයා හැටියට කටයුතු කළ මගේ පුර්වාගාමී ක්‍රිෂාන්තත් එවකට හමුදාපති වු ජෙනරාල් ජයසුරියත් අපි වෙනුවෙන් සත්‍ය ප්‍රකාශ කරමින් ශක්ති ප්‍රමාණයෙන් පෙනී සිටියත් ඔවුන්ගේ මතය ඒවා අභිබවා ගියා.” කිසිවිටකත් හමුදාව ඉදිරි කාලයේදි හෝ දේශපාලනීකරණයට ලක්නොවනු ඇතැයි යන්න තමා තදින්ම විශ්වාස කරන බව හමුදාපතිවරයා අවධාරණාත්මකව පවසන්නේ ඉතා සංවේදිවය.

“සත්‍යයම කියනවා නම් 2015 මේ රජය බලයට පත්විමත් සමඟම මා දන්නා පමණින් කිසිම දේශපාලන බලපෑමක් හමුදාව වෙත ඇති වෙලා නෑ. එහි ගෞරවය හිටපු හමුදාපතිතුමාට යන්ට ඕන. හොඳම උදාහරණය තමයි 2015 අගෝස්තු මැතිවරණයේදි හමුදාවට විරුද්ධව එකම පැමිණිල්ලක්වත් කිසිවෙක් හෝ කර නොතිබීම. එය ඉතා හොඳ ප්‍රවණතාවයක්. මගේ පුර්වාගාමීන් මට ඉගැන්නුවේ නිවැරදි දේ බය නැතිව කරන ලෙසයි. එනිසා හැමදෙයක්ම මගේ යහපතටම සිදුවු දේ හැටියටයි මම දකින්නේ. ජිවිත අවදානම නිසා පවුල් සාමාජිකයන් අතහැර රටින් පිටව ගියත් එය වෙස්වලාගත් ආශිර්වාදයක් වුණා. ලෝකය ගැන දැනගන්න මට තවත් හැකි වුණා. ඉරාකයේ, ඉරානයේ, ඇෆ්ගනිස්ථානයේ සහ තවත් රටවල් කිහිපයකම යුද්ධය නිසා පිඩාවට පත් දහස් ගණනක් දිවිගෙවන හැටි එම කාලය තුළදි මගේ ඇස්දෙකෙන්ම දැක්කා. අපේ සොල්දාදුවන් හා හමුදාවන් කොටි සටන්කාමින්ට සහ කොටි ග්‍රහණයෙන් මිදී පැන ආ සිවිල් ජනතාවට සැලකු අන්දම කොතරම් විශිෂ්ට ද, යන්න මට ඉතා හොඳින් මේ සංචාර හරහා ප්‍රත්‍යක්ෂ වුවා. ශී ලංකා යුද හමුදාවටම පහරදුන් 12,000 කට අධික කොටි සටන්කාමීන්ට සමාව දී පුනරුත්ථාපනය කර සමාජගත කිරිමේ මහ මෙහෙවර කොතරම් අද්වීතියද, මානුෂීකද යන්න එහිදි මට වැටහුණා. කණගාටුවට කරුණක් වුණේ එවැනි අද්විතීය මෛත්‍රීසහගත උතුම් සමාජගත කෙරුණු කර්තව්‍යයක් ප්‍රමාණවත් ලෙස ජාත්‍යන්තරයේ ඇගයිමට ලක් නොවිමයි. කාලය වේගයෙන් ගෙවිමත් සමඟම අද ඒ සටන්කාමී පරපුරේ සාමාජික සාමාජිකාවන් මව්වරුන්, පියවරුන් බවට පත්වි වැඩිහිටියන්ව තවත් අලුත් පරම්පරාවක් හා අනුබද්ධ වෙමින් සිටිනවා. ආයුධ සංස්කෘතියෙන් මිදුනු ඔවුන්ව අප නැවත එක්කරගත යුතුව තිබෙනවා. ආර්ථික වශයෙන් ඒ අය ශක්තිමත් කර සමාජයට සම්පත් දායකයන් ලෙස එකතු කර ගැනීමෙන් මෙම ප්‍රශ්න වැඩිහරියක් විසඳාගන්න පුළුවන් යැයි මම තරයේ අදහන දෙයක්,”

2009 ට පෙර යාපනයේ හේ සේවය කළත් යාපනයේ ආරක්ෂක සේනා ආඥාපති හැටියට 2016 ජනවාරි සිට මාස 14 ක් වැනි කෙටි කාලයකදි අමතක නොවන දැවැන්ත ප්‍රජා මෙහෙවරකට හා සංහිඳියාව උදෙසා අතදුන් මේ පුළුල් හදවතක් ඇති රණවිරුවාගේ භුමිකාව එක් අතකින් ‘ඇලඩින්ගේ පුදුම පහනෙන්’ කළ විස්මිතයන්ට සමානකමක්ද දක්වයි.

යාපනය සමඟ ඇතිවු මේ සබැඳියාව හදවතේ කිසිවක් නොසඟවමින් ඔහුට කිසිසේත් අමතක කළ නොහැකි එකක් බව තවත් තහවුරු කරමින් ඔහු සිය හඩ නැවතත් අවදි කරයි. “අපි නල්ලිනාක්කපුරම්හි පලාලි යුද්ධ හමුදා ආරක්ෂක ජනපදයට ආසන්නවම තිබෙන රජයේ ඉඩමක මාස දෙක හමාරක් තුළදි අලුත්ම ගෙවල් 100 ක් හදලා යාපනයේ අවතැන් කඳවුරුවල හිටි අයට නිවාස ලබාදුන්නා. තවත් තිස්ගණනක් ඊට පසුව හදා දුන්නා. ජනාධිපතිතුමා, හිටපු ජනාධිපතිතුමිය, අමාත්‍යවරු ඇතුළු සියලුදෙනාම ඒ ව්‍යාපෘතියට සහය පළ කරමින් අප දිරිමත් කළා. භුමියේ සිට සොල්දාදුවා ශක්තිය ලබාදුන්නා. සිවිල් ජනතාවගේ ඉඩම් නිදහස් කිරීමත් සුදුසු පරිදි සිදුවෙනවා. දැන් මං දන්නවා යාපනයේ මගේ අනුප්‍රාප්තිකයාත් ඒවා දිගටම කරගෙන යනවා කියලා. ඊට අමතරව වැන්දඹුවන්, ගර්භණී මාතාවන්, පාසල් සිසුන්, ආබාධිත පිරිස් ඇතුළු උපකාර අවශ්‍ය සියලු කොටස්වලට පෞද්ගලික අංශයේ දානපතියන් හා විවිධ පෞද්ගලික සමාගම් එකතු කරගෙන ඔවුනට පිටිකිරි, පොත්පත්, මිල අධික බෙහෙත් වර්ග, පාසල් හා වෛද්‍ය උපකරණ ආදිය නොකඩවා බෙදාදීමේ සුභසාධන වැඩපිළිවෙළද දියත් කර තිබෙනවා” යැයි හේ සතුටෙන් ප්‍රකාශ කරයි.

වසර 35 කට වඩා වැඩිකාලයක් උපරිම සේවය සලසමින් හදවතට සමීපම ආයතනය තමන් සිය දිවි දෙවනි කොට සලකන හමුදාව බව සෘජුව පවසන ලොකු-පොඩි කා අතරත් ප්‍රසාදය හිමිකරගෙන ඇති මේ රණවිරුවා සංග්‍රාම භුමියේදි තනියෙන් හෝ එකතුව දැක්වු අභිත රණශුර වික්‍රාමාන්විත ස්වභාවය වෙනුවෙන් ‘රණවික්‍රම පදක්කම’ (RWP) මගින් ද කිහිපවතාවක්ම පුදන ලද වෙනත් පදක්කම් මගින් ද බුහුමනට ලක්ව ඇත. හමුදාවන් තුළ කීර්තියට පත් වු ජර්මන් ජාතික යුද සෙන්පතියෙකු වු ජෙනරාල් ප්‍රිමඩෝ උන්ඩ් සෙන්ගර් පැවසු ආප්තෝපදේශය පරිදිම ‘සත්‍ය නායකත්වයේ සලකුණ වන්නේ පවතින තත්වයන් නිසිව ක්‍රියාත්මකවන්නේ දැයි ඇගයිමට හැකි සමර්ථභාවයයි’ යන්න මෙම සෙන්පතියාගේ චරිතය අපූරුවට පැහැදිලි කර පෙන්වයි.

නව හමුදාධිපති ලුතිනන් ජෙනරාල් මහේෂ් සේනානායක යනු මේ සිද්ධාන්තයේ අව්‍යාජ ලකුණක් බව හමුදාවේ සියල්ලගේම අවිවාදිත පිළිගැනිමයි.

සිසිර විජේසිංහ
යුද්ධ හමුදා මාධ්‍ය උපදේශක

 

Comments