
ලාංකේය පාසල් ක්‍රිකට් ක්ෂේත්‍රයේ ඉහළම සම්මාන උළෙල වන සන්ඩේ ඔබ්සර්වර් තිස්නව වැනි සම්මාන උළෙලේ නව පරිච්ඡේදයක් සටහන් කරමින් ඉතිහාසයේ පළමුවරට, දෙවැනි කාණ්ඩයේ පාසලක ක්‍රීඩකයකු වසරේ විශිෂ්ටතම පාසල් ක්‍රිකට් ක්‍රීඩකයා සම්මානය මෙවර හිමිකර ගැනීමට සමත් විය. ඒ අම්බලන්ගොඩ පී. ද එස්. කුලරත්න විදුහලේ නිපුන් රන්සික ය.
ලාංකේය ක්‍රීඩා කෙත නිරන්තරයෙන්ම පෝෂණය කරනු ලබන තවාන් බිම පාසලය. අද එකී පාසල නාගරිකද, අර්ධ නාගරිකද, ග්‍රාමීයද යන්න වැදගත් නොවන බව නිපුන් රන්සික සනාථ කර තිබේ. මුල් කාල වකවානුවේ මෙකී සම්මාන උළෙලේ වැඩි ජයග්‍රහණ කොළඹට කේන්ද්‍රගත වුවද, පසුගිය වසර තුනේදීම සන්ඩේ ඔබ්සර්වර් - මොබිටෙල් පාසල් ක්‍රිකට් ක්‍රීඩකයා සම්මානය දකුණු පළාතට රැගෙන යාමට චරිත් අසලංක 2015 - 16 දී සමත් වෙද්දී, මෙවර එකී සම්මානය දකුණට ගෙන යන්නට සමත් වූයේ පී. ද එස්. කුලරත්න විදුහලේ නිපුන් රන්සිකයි.
ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ තරග තීරකවරුන්ගේ ප්‍රධානියා වන රන්ජන් මඩුගල්ලේ ගෙන් සමාරම්භය සටහන් වූ මෙකී සම්මාන උළෙලේ එතෙක් මෙතෙක් බිහි වු විශිෂ්ටයන් වූ අර්ජුන රණතුංග, මුරලි ගොන්නට එකතු වූ සුපිරි තරුව බවට පත්වන්නට නිපුන් රන්සික සමත්වීම තුළ ලාංකේය පාසල් ක්‍රිකට් ක්ෂේත්‍රයේ දෙවැනි කාණ්ඩයට ද නව ආලෝකයක් එක් වූ බව නොරහසකි.
1979 පටන් ලාංකේය පාසල් ක්‍රිකට් ක්ෂේත්‍රයේ තුන් ඉරියව් ක්‍රීඩකයන් හෝ පිතිකරුවන්ට උරුම වූ මෙකී සම්මානය මුරලිගෙන් පසු හිමි කර ගන්නා පළමු පන්දු යවන්නාද නිපුන් රන්සිකයි.
ගෙවී ගිය වසරේ මෙරට පැවැති යොවුන් ආසියානු ක්‍රිකට් තරගාවලියේ තරග තුනකදී කඩුලු පහක් බිඳ හෙළමින් සිය ගමනට ජවයක් එක්කරගත් නිපුන් ගෙවී ගිය පාසල් ක්‍රිකට් තරග වාරයේ තරග තුනකදී කඩුලු 23 ක් බිඳ දැමූ අතර, දකුණු අප්‍රිකාවේ පැවැති සිම්බාබ්වේ ද එක් වූ තුන් කොන් ක්‍රිකට් තරගාවලියේ තරග අටකදී කඩුලු 26 ක් ඔස්ට්‍රේලියාව සමඟ තරග පහකදී කඩුලු 15 ක් බිඳ හෙළමින් ජාත්‍යන්තර යොවුන් පන්දු යවන්නන් අතර ද විශිෂ්ට දස්කම් දැක්වීමට සමත් විය. ශ්‍රී ලංකාව බිහි කළ සුපිරි වමත් වේග පන්දු යවන්නා වන චමින්ද වාස්ගේ විශේෂ ඇගැයීමට ද ලක් වූ නිපුන් රන්සික ලාංකේය වේග පන්දු බලඇණියේ නියමුවකු කර ගැනීමේ වගකීම ලාංකේය ක්‍රිකට් බලධාරීන්ගේ වගකීමකි.










