තරු බබළයි | Page 2 | සිළුමිණ

තරු බබළයි

පළමු කාණ්ඩයේ හොඳම තුන් ඉරියව් ක්‍රීඩකයා වූ වෙන්නප්පුව ශාන්ත ජෝශප් වාස් විද්‍යාලයේ නිපුන ධනංජය පෙරේරා

තුන්ඉරියව් ක්‍රීඩකයා නිපුන ධනංජය

විනයගරුකම කණ්ඩායම නාලන්ද විද්‍යාලය

ජනප්‍රියම ක්‍රීඩකයා සන්තුෂ් ගුණතිලක

 

 

තිස්නවවැනි

දශක හතරකට ආසන්න ඉතිහාසයකට උරුමකම් කියන එක්සත් ප්‍රවෘත්ති පත්‍ර සමාගම හෙවත් පත්තර මහාගෙදර මොබිටෙල් සමඟ එක්ව ලාංකේය පාසල් ක්‍රිකට් පිටියේ ශූරයන් සොයා යාමේ තිස්නව වැනි කඩඉමේදී අම්බලන්ගොඩ පී. ද එස්. කුලරත්න විදුහලේ නිපුන් රන්සික කරළියට පැමිණෙන්නේ 2017 වසරේ ක්‍රිකට් ක්‍රීඩකයාට අමතරව වසරේ පන්දු යවන්නාට හිමි සම්මාන ද්විත්වයම දෝතට තුරුළු කර ගනිමින්ය.

 

 

 

 

පළමු වරට

මේ අනුව තිස් අට වසරක් පුරා විහිද ගිය මෙකී සම්මාන උළෙලේ 1979 සමාරම්භය සටහන් කළ රාජකීය විද්‍යාලයේ රන්ජන් මඩුගල්ලේ, 1980 - 82 ආනන්ද විද්‍යාලයේ අර්ජුන රණතුංග, 1983 - 84 නාලන්ද විද්‍යාලයේ රොෂාන් මහානාම, 1985 නාලන්ද විද්‍යාලයේ මෙවර ඔබ්සර්වර් මොබිටෙල් සම්මාන උළෙලේ ප්‍රධාන ආරාධිතයා වූ අසංක ගුරුසිංහ, 1989 නාලන්ද විද්‍යාලයේ කුමාර් ධර්මසේන, 1990 ආනන්ද විද්‍යාලයේ මාවන් අතපත්තු, 1991 කටුගස්තොට ශාන්ත අන්තෝනි විද්‍යාලයේ මුත්තයියා මුරලිදරන්, 1994 - 95 ආනන්ද විද්‍යාලයේ තිලාන් සමරවීර වැනි ලාංකේය ක්‍රිකට් විශිෂ්ටයන්ගේ නාමාවලියට අම්බලන්ගොඩ පී. ද එස්. කුලරත්න විද්‍යාලයේ නාමය ද එක් කරන්නට නිපුන් රන්සික සමත් වූයේ සිය වේග පන්දුව අවියක් කර ගනිමින්ය.

තවමත් දහ අටවන වියේ පසුවන නිපුන් රන්සික ගෙවීගිය මාස කිහිපයේ ලාංකේය යොවුන් වේග පන්දු යවන්නන් අතර තීරණාත්මක පන්දු යවන්නකු බවට පත්වූයේ ලාංකේය අනාගත වේග පන්දුවට ද නවමු බලාපොරොත්තු එක් කරමින්ය.

නිපුන් රන්සික සමස්ත ලංකා වසරේ ක්‍රිකට් ක්‍රීඩකයා සහ පන්දු යවන්නා ලෙස සන්ඩේ ඔබ්සර්වර් - මොබිටෙල් සම්මාන රැය සරසන විට, මොරටුව වේල්ස් කුමර විද්‍යාලයේ විශ්ව චතුරංග වසරේ පාසල් ක්‍රිකට් ක්‍රීඩකයා අනුශූරයා මෙන්ම හොඳම පිතිකරුවා බවට පත්වෙමින් එකී රැය තව තවත් වර්ණවත් කළේය. මේ අතර ගාල්ල ශාන්ත ඇලෝසියස් විද්‍යාලයේ අශේන් බණ්ඩාර වසරේ හොඳම පන්දු රකින්නාට හිමි සම්මානය දිනා ගත්තේය.

ජනප්‍රියම ක්‍රීඩකයා

සන්ඩේ ඔබ්සර්වර් - මොබිටෙල් මෙවර සමස්ත ලංකා වසරේ ජනප්‍රියම ක්‍රීඩකයා සම්මානය දිනා ගැනීමට බම්බලපිටිය ශාන්ත පීතර විද්‍යාලයේ සන්තුෂ් ගුණතිලක සමත් විය. එහි අනුශූරයා වූයේ ඉසිපතන විද්‍යාලයේ සංජුල අබේවික්‍රමයි.

සමස්ත ලංකා වසරේ හොඳම පාසල් ක්‍රිකට් කණ්ඩායම ලෙස තර්ස්ටන් විද්‍යාලය ශූරතාව හිමිකර ගනිද්දී, ශාන්ත පීතර විද්‍යාලයට අනුශූරතාව හිමිවිය. හොඳම විනයගරුක කණ්ඩායමට හිමි ශූරතාව කොළඹ නාලන්ද විද්‍යාලයට හිමිවිය. ගාල්ල විද්‍යාලෝක විද්‍යාලය හොඳම නැඟී එන කණ්ඩායමට හිමි සම්මානය හිමි කර ගත්තේය.

පළමු කාණ්ඩයේ

පළමු කාණ්ඩයේ වසරේ හොඳම තුන් ඉරියව් ක්‍රීඩකයා ලෙස ඔබ්සර්වර් මොබිටෙල් සම්මාන උළෙලේ ශූරයාවීමට වෙන්නප්පුව ජෝශප් වාස් විද්‍යාලයේ නිපුන ධනංජය සමත් වූ අතර, එහි අනුශූරයා වීමට තර්ස්ටන් විද්‍යාලයේ චරණ නානායක්කාර සමත් විය.

පළමු කාණ්ඩයේ හොඳම පිතිකරුවා වීමට ඉසිපතන විද්‍යාලයේ පැතුම් නිශ්ශංක සමත් වූ අතර එහි අනුශූරතාව මහානාම විද්‍යාලයේ මලිඳු මධුරංගට හිමිවිය.

ගාල්ල ඇලෝසියස් විද්‍යාලයේ හරීන් වීරසිංහ පළමු කාණ්ඩයේ හොඳම පන්දු යවන්නාට හිමි සම්මානය හිමිකර ගනිද්දී එහි අනුශූරතාව හිමිකර ගැනීමට තර්ස්ටන් විද්‍යාලයේ නවීන් ගුණවර්ධන සමත් විය.

අම්බලන්ගොඩ ධර්මාශෝක විද්‍යාලයේ රවිඳු රශාන්ත පළමු කාණ්ඩයේ හොඳම පන්දු රකින්නාට හිමි සම්මානය හිමිකර ගනිද්දී, එහි අනුශූරතාව මීගමුව මාරිස්ස්ටෙල්ලා විදුහලේ දුෂාන් ගුරුගේට හිමිවිය.

තිස්නව වැනි සන්ඩේ ඔබ්සර්වර් - මොබිටෙල් සම්මාන උළෙලේ සමස්ත ලංකා (ජාතික), පළමු කාණ්ඩයට අමතරව දෙවැනි සහ තෙවැනි කාණ්ඩයේ ශූරයන් සහ අනුශූරයන් ද මෙහි සම්මානයට පාත්‍ර වූහ. මෙහිදී පාසල් කණ්ඩායම් ද ඇගැයීමට ලක්විය. දෙවැනි සහ තෙවැනි කාණ්ඩයේ පාසල්වල ජනප්‍රියතම ක්‍රීඩකයන් තෝරා ගැනීමක් ද මෙහිදී සිදුවිය.

 

 

 

 
 

Comments