
ප්‍රශාන්ත ඇල්පිටිය
131 වැනි විම්බල්ඩන් ශූරතාවලිය
ලොව පැරැණිතම සහ ප්‍රධානතම ටෙනිස් තරගාවලිය එංගලන්තයේදී නිමාවට පත් වූයේ ස්විස්ටර්ලන්තයේ රොජර් ෆෙඩරර්ට සහ ස්පාඤ්ඤයේ ගාර්බිනා මුගුරුෂා හට කේවල (තනි) ශූරතා හිමිකර දෙමිනි. මෙවර පැවැත්වූයේ 131 වැනි විම්බල්ඩන් ශූරතාවලියයි.
රොජර් ෆෙඩරර්
(කේවල ශූරයා)
බොහෝ ටෙනිස් ක්‍රීඩා විචාරකයන්ට සහ ක්‍රීඩාලෝලීන්ට අනුව මෙතෙක් බිහිවූ විශිෂ්ටම ටෙනිස් ක්‍රීඩකයා ෆෙඩරර් වේ. එය තවදුරටත් තහවුරු කරමින් ෆෙඩරර් සිය 19 වැනි ග්‍රෑන්ඩ් ස්ලෑම් කේවල ශූරතාවය මෙවර විම්බල්ඩන්හිදී හිමිකර ගත්තේය. එමෙන්ම එය ඔහුගේ 08 වැනි විම්බල්ඩන් ශූරතාවයයි. එය නව වාර්තාවකි.
එනම් විම්බල්ඩන් කේවල වැඩිම ශූරතා ගණනක් හිමිකර ගත් ක්‍රීඩකයා විමයි. ඊට පෙර ෆෙඩරර්, අමෙරිකාවේ පීට් සම්ප්‍රාස් සහ බ්‍රිතාන්‍යයේ විලියම් රෙන්ෂෝ ශුරතා 07 බැගින් හිමිකර ගෙන තිබුණාහ. මෙහි වාර්තාව වන්නේ කේවල ශූරතා නවයකි. ඒ චෙකොස්ලොවේකියාව සහ අමෙරිකාව නියෝජනය කළ හිටපු සුපිරි ශූරියක් වන මාටිනා නව්රතිලෝවා සතුය.
මෙවර අවසන් තරගයේදී 35 හැවිරිදි ෆෙඩරර් තරග වට 3 - 0 කින් (ලකුණු 6 - 3, 6 - 1, 6 - 4) ක්‍රොයේෂියාවේ 28 හැවිරිදි මාරින් චිලිච් පරාජය කළේය. චිලිච් 2014 වසරේ අමෙරිකානු විවෘත කේවල ශූරයාය.
ෆෙඩරර් මෙවර තරගාවලියට සහභාගි වූයේ ලොව අංක 03 ක්‍රීඩකයා ලෙසටයි. මෙය ඔහු සහභාගි වූ 11 වැනි විම්බල්ඩන් කේවල අවසන් තරගය විය. හෙතෙම ශූරයා වූයේ 2003, 04, 05, 06, 07, 09, 12 සහ 17 වසරවලදීය. අනුශූරයා වුයේ 2008, 14 සහ 15 දිය.
ෆෙඩරර් මෙවර මුල් වටයේදී යුක්රේනයේ ඇලෙක්සැන්ඩර් ඩොල්ගොපොලොව්, දෙවන වටයේදී සර්බියාවේ ඩුසාන් ලාජොවිච්, තෙවන වටයේදී ජර්මනියේ මිස්චා ෂ්වෙරෙව්, සිවුවන වටයේදී බල්ගේරියාවේ ග්‍රිගෝර් දිමිත්‍රොව්, අර්ධ අවසන් තරගයේදී කැනඩාවේ මිලොස් රාඔනිච් සහ අවසන් පූර්ව තරගය්දී චෙක් ජනරජයේ තෝමස් බර්ඩිච්ව පරාජය කරන ලදී. මෙවර මුළු තරගාවලිය පුරාවටම ෆෙඩරර් එක් තරග වටයක් හෝ පරජය නොවීම විශේෂත්වයකි. අවසන් වරට එවැනි දස්කමක් කළ විම්බල්ඩන් ශූරයා වූයේ ස්වීඩනයේ බියෝර්න් බෝර්ග්ය. ඒ 1976 වසරේදීය.
ටෙනිස් ක්‍රීඩාව වෘත්තීයමය වීමෙන් අනතුරුව විම්බල්ඩන් කේවල ශූරයා වූ වයස්ගතම ක්‍රීඩකයා බවටත් ෆෙඩරර් මෙවර තවත් වාර්තාවක් පිහිටුවීය.
ඔහුගේ මෙම සුපිරි ජය දැකබලා ගැනීමට බිරිය මිර්කා සහ දු දරුවන් සිවුදෙනාත් පැමිණ සිටියහ. ඒ 2009 වසරේදී උපන් නිවුන් දියණියන් සහ 2014 දී උපන් නිවුන් පුතුන්ය.
ගාර්බිනා මුගුරුෂා
(කේවල ශූරිය)
මෙවර අවසන් තරගයේදී 23 හැවිරිදි ගාර්බිනා තරග වට 2 - 0 කින් (ලකුණු 7 - 5, 6 - 0) අමෙරිකාවේ වීනස් විලියම්ස්ව පරාජය කළාය. මෙය ගාර්බිනාට විශේෂිත ජයකි. ඒ ඇගේ කුඩා කල වීරවරිය වූයේ වීනස් බැවිනි.
ගාර්බිනා හිමිකර ගත් දෙවන ග්‍රෑන්ඩ් ස්ලෑම් කේවල ශූරතාව මෙය වේ. 2016 වසරේදී ඇය ප්‍රංශ විවෘත කේවල ශූරිය වූයේ අමෙරිකාවේ සෙරීනා විලියම්ස් හමුවේය. ගාර්බිනා විම්බල්ඩන් අවසන් තරගයට සුදුසුකම් ලැබුවේ දෙවන වතාවටයි. 2015 දී අනුශූරතාවයෙන් සෑහීමට පත්වීමට ඇයට සිදුවූවාය. එවර ශූරිය වූයේ සෙරීනාය.
මෙවර තරගාවලියට ඇය සහභාගි වූයේ ලොව අංක 05 ක්‍රීඩිකාව ලෙසටයි. නමුත් විම්බල්ඩන් ශ්‍රේණිගත කිරීම්වලදී ඇයට හිමි වූයේ අංක 14 වන ස්ථානයයි.
මෙවර මුල් වටයේදී ගාර්බිනා තරග වට 2 - 0 කින් රුසියාවේ එකාටෙරිනා ඇලෙක්සැන්ඩ්‍රෝවා, දෙවන වටයේදී තරග වට 2 - 0 කින් බෙල්ජියමේ යානිනා වික්මායර්, තෙවන වටයේදි වට 2 - 0 කින් බෙල්ජියමේ යානිනා වික්මායර්, තෙවන වටයේදී වට 2 - 0 කින් රුමේනියාවේ සොරානා සර්ස්ටියා, සිවුවන වටයේදී වට 2 - 1 කින් ලොව අංක 01 ක්‍රීඩිකාව වූ ජර්මනියේ ඇන්ජෙලික් කර්බර්, අර්ධ අවසන් තරගයේදී රුසියාවේ ස්වෙට්ලානා කුස්නෙට්සෝවා වට 2 - 0 කින් සහ අවසන් පූර්ව තරගයේදී ස්ලොවේකියාවේ මැග්ඩලිනා රිබාරිකෝවා පරාජය කළාය.
37 හැවිරිදි වීනස් මෙවර තරග කළේ සිය 09 වන විම්බල්ඩන් කේවල අවසන් තරගයටයි. එහිදි ඇයට ශූරතා 05 කි. අනුශූරතා සතරකි.
මෙවර විම්බල්ඩන් තරගාවලිය පුරාවටම ගාර්බිනාගේ පුහුණුකාරිණිය ලෙසට ක්‍රියා කළේ කොන්චීටා මාර්ටිනෙස්ය. ඇය 1994 වසරේ විම්බල්ඩන් කේවල ශූරියයි. විම්බල්ඩන් කාන්තා කේවල ශූරිය වූ ප්‍රථම ස්පාඤ්ඤ ක්‍රීඩිකාවත් මාර්ටිනෙස් වේ. දැන් එහි දෙවන තැන ගාර්බිනාටය.
ගාර්බිනා මුගුරුෂා බ්ලැන්කෝ 1993 වසරේ ඔක්තෝබර් මස 08 වැනිදා උපත ලැබුවාය. ඒ වෙනිසියුලාවේ කැරකස් නුවරදීය. ඇගේ පියා ස්පාඤ්ඤ ජාතිකයෙකි. මව වෙනිසියුලාවෙනි. ඇයට අයියලා දෙදෙනෙක් සිටිති. ඇය වයස අවුරුදු 03 සිට ටෙනිස් ක්‍රීඩා කරන්නීය.
ගාර්බිනා පවුල 1999 වසරේදී ස්පාඤ්ඤයේ පදිංචියට ගියහ. ඉන් අනතුරුව බාර්සිලෝනා නුවර පිහිටි බෘගේරා ටෙනිස් ඇකඩමියේ පුහුණුවීම්වල ඇය නිරත වූවාය.










