
බැස නොයන පුරසඳ
රැළි නඟන සමුදුර හිරු ගිලින හවසක
විල කුමුදු විකසිත නව සුවඳ විඳගෙන
පිනි පොදක අරුමය කවි කරන මොහොතට
කඳු වළලු මැඬගෙන ගෙට එෙබන පුර සඳ
ගන අඳුර සිඳ බිඳ දුර අහස සරසන
හදවතට පිවිසෙන තනි රකින සකි සඳ
මුළු රැයම හිනැහෙන දුක සුසුම හඳුනන
මගෙ දිළිඳු කුටියට මුදු කිරණ විහිදන
නෙත කොපුල සිඹිමින නෙත කඳුළු පිසලන
රතු දෙතොල නොමැඬම රස පහස තවරන
රළුපරළු දිවි හිමි මගෙ වෙහෙස හඳුනන
තනි මඟෙහි යන කල බර පොදිය උසුලන
දුර දකින නයනග තිර කැලුම බබළන
ළය සොඳුරු සෙනෙහස මට පුදන පුර සඳ
කවි හිතට වද දෙන විඳි ගැහැට මඟ හැර
මගෙ සුරත අරගෙන යළි ගමන අරඹන
ඉරි තැළුණු හදවත යළි රැහිරු දුවවන
මරු කතර දිය පොද ලෙස නිවන සරතැස
නුඹ ගැඹට පැමිණෙන තරු පිරිස අතහැර
මිහිමඬල වෙත එන මට උරුම පුර සඳ
හෙට දවස අරඹන හෙළි-පෙහෙළි මඟ-තොට
පිය හසර තබමින බැස නොයන පුර සඳ
මගෙ සිහින මැඳුරට තැබූ අයුරු හිණිපෙත
හිත නිවන පුර සඳ ඔබ අයිති අහසට
ශ්‍රියා හිඳුරංගල
නුඹ
සවන් දෙනු මැනවි
නිහඬ මේ රාත්‍රියේ
හදම කම්පිත කරන්
පෙම් වෙණෙහි තත් වැයේ..
මුවින් නොගැයූ කවිය
තවම මා ළඟ තියේ
නුඹට දුන් සෙනෙහස
වියැකිලා නැත හිතේ
කෞශල්‍යා මාරඹේ
සුදු හිම පියලි
හිම පියලි වැටී
සුදුම සුදු වූ භූමියේ
කාලය හා අවකාශයෙන් මිදී
ඇවිද යමි දේවදාර ගස් අතරින්..
වසන්ත සමයේ
චෙස්නට් ඇට සොයමින්
එහි මෙහි දිව ගිය
ලේනුනි නුඹලා කොහිද?
ගස් බෙනවල සැඟවී
යළි වසන්තය උදා වන තෙක්
යළි බලා ඉන්නවාද?..
සීතල සුළඟ නිසා
තුරු ගොමු මුදුනින්
ඇදවැටෙන හිම කැට
වැස්සක් සේ විසිර යයි
මවමින් මනස්කලු රටා
වෛද්‍ය රුවන් ජයතුංග
පින් පුරවන්න ද
තොප එන්නේ
වෙල් ඉස්මත්තේ පැළවැට අද්දර
කුරුලු පාළුවට තොප එනවා
වී ඇට අහුලන අහුලන තාලෙට
අප්පච්චි කොහෙහරි හිනැහෙනවා..
වාන් දමන වැව් තාවල්ලට වී
පාන්කිරිත්තෝ නුඹ නාඬන්
හීන් සීරුවට වෙල පෙති මත නැග
සේන්දු වෙන හැටි බලා ඉඳින්..
අපෙ අප්පච්චිගෙ දහඩිය සුවඳට
කිරිවදිනා වී ඇට ගානේ
කිචි බිචි හඬ ඇයි - උන්දැගෙ නාමෙට
පින් පුරවන්නද කුරුල්ලනේ...
මහ වැව පිරිලා වාං දමනවා
තිත්ත පැටවුෙන් යන්න එපා
පොරි අරගෙන අප්පච්චි එයි දැන්
මං වාගෙම මඟ බලා ඉඳින්
ප්‍රේමා රාජකරුණා
සිතුවිලි
දවසක් ගෙවී තව දවසක් එළැඹෙනවා
ඊයේ දවස නම් නැවතත් නොම එනවා
ගත වුණු දවස ගැන දොම්නස් නොමවෙනවා
පැමිණෙන හෙට දවස සතුටින් ගත වෙනවා
ජීවන බර දරා සැම සත වෙහෙසෙනවා
සැපයැයි සිතා තව සමහරු හිනැහෙනවා
එනමුත් සැප නැතේ කවදත් දුක් එනවා
නිවනින් සැනසුණොත් සැම දුක් දුරු වෙනවා
වැට මායිමට වැලි කැටයට පොර කනවා
මියැදෙන තුරා එය නම් ඉහළට යනවා
අවසන එයින් අරුතක් නම් නැති වෙනවා
වූ දෙය ගැන සිතා දඟ ගෙයි ළතැවෙනවා
අනුලා ද සොයිසා
හමු වන
වෙන් වන
බොහෝ කලකින්
සිනා දෙනෙතින්
සිප වැලඳගෙන
හමු වන මොහොතක්..
එදවස ගුවන්තොට
අසලදි මිහිරක්..
නොබෝ කලකින්
කඳුළු දෙනෙතින්
සිප වැලඳගෙන
වෙන් වන මොහොතක්..
මෙදවස ගුවන් තොට
අසලදි සුසුමක්..
හමු වුණ-වෙන් වුණ
මේ කෙටි දවසට
කඳුළක් විඳවන හැටි
නෙත'ගිස්සේ..
පිට කළ හැකි දෝ
විඳින විඳවන මතකය..
අමිතා කුමාරි දිවාරත්න
දළු සීපද
මීදුම තදයි දළු මත ලෙඩ බින්දූ
සීතල වෙළෙයි නෙළනා අතැඟිලි බැන්දූ බෑවුම සැරයි පය ලිස්සා ගැසු කුන්දූ
තිබහක් දැනෙයි සිත වෙත එයි මල් බින්දූ
උස අතු සැලිසැලී පිනි හිස තෙමන්නා
ටික ටික නෙළී දළු සරමත් පිරෙන්නා
දහදිය වෙළී ගත දුක් ගිනි නැඟෙන්නා
දිව ඇත ගීලි කහටත් අද නොදෙන්නා
අඩියෙන් අඩිය තේ නෙරියෙන් නෙරිය නැඟ
වඩියෙන් වඩිය දළු නෙළුවත් පඳුරු අග
පඩියෙන් පඩිය ඉහළට ගියෙ කවුද නැඟ
වැඩියෙන් වැඩිය දුක අප ළඟ නඟයි කග
සුනිල් ලීවානගේ
ගමන් සඟයා
සවනත මිහිරිමය ඈ
දොඩන්නීය මුදු තෙපුල්
පිසින්නීය ඈ රස මසවුළු
දොවන්නීය ඈ සළුපිළි
කුමක් නම් නොකරන්නීද ඈ
මා වෙනුවෙන්
ආදරෙන්... දයාවෙන්...
එනමුදු..
පසුබට නොවන්නීය ඈ
වරද දුටු තැනම
එකහෙළා පවසන්නට
යළිදු කැප වන්නීය ඈ..
මා වෙනුවෙන්ම
ආදරෙන් දයාවෙන්..
ඈ නම් මවක්මය
ළබැඳි සොහොයුරියක්මය
හිතැති මිතුරියක්මය
මටම හිමි රැජිනමය..
මේ සසර දිවිමඟ
මා කැටුව යන-එන
ගමන් සගයාය ඈ
මා ආදර බිරින්දෑ
චම්පා අබේසිංහ
නිදිකුම්බාවී
නිසරු බොල් මහ පොළොව
සෙනෙහසින් වැලඳගෙන
ආලෝබයක් නැතිව
ලොවට මල් පුදන්නී
අන් පහස ලද සැණින්
පිළිකුලෙන් බරිත වී
විළිබියෙන් මුසපත්ව
නිහඬ වී නිඳන්නී
තළන පාගන දෙපා
පුංචි කටුවලින් ඇන
තැළෙන පෑගෙන අපට
පුංචි නිදිකුම්බාවී
පාඩමක් කියන්නී
කරුණාරත්න හපුආරච්චි
සිහිනය
තැළෙන පොඩි වන හද
සිනා මල් ගෙන තබා ඒ මත
සිහිනයෙන් හැම විට එබෙන
නුඹයි ඒ සිනා සෙන කත
දිනෙන් දින නෙක හැඩ ගෙන
ඇසිල්ලක දී සිහිනයට වැද
හැබැහින්ම දෑස් දල්වන
මිතුරියයි නුඹ මඟ බලන
කලාතුරකින් අවුත්
නොකියාම නික්ම යන
ප්‍රේම සැමරුම් අතර
සදාතන සිහිවටනයයි නුඹ
වේදනාවෙන් තුරුලු කරගෙන
සුසුම් එකිනෙක තබමි හිස මත
දෙතොල් පහසින් තෙමමි
නිසංසල කෙහෙරැළි
නුඹ තවම පැමිණ නැත
නුඹ නික්ම ගොස්ද නැත තව
සයනයේ නුඹට හිමි තැන
ආදරෙන් සිපගන්නවා හැර
මලිඳු කාවින්ද කුමාරසිංහ
සුදු නෙළුම
මල් පිදු පිනෙන් මහියංගණය දාගැබට
සිල් සුවඳක් වුණා ඔබ මේ පුදබිමට
දල්වා තබන්නට පහනක් ඔබ නමට
මල් ආසනය සකසා ඉඩ දෙමි හැමට
සොරබොර වැවේ ඉස්මත්තේ අඳුරු දොහේ
අරගෙන සුදු නෙළුම නුඹ සැඟවිණි ද කොහේ
පර වන සිහින මැද හඬවා පිරිස නොහේ
දුර ගෙන ගියා යළි කිසි දින දැකිය නොහේ
හිරු සැඟවුණා සැන්දෑ අහසේ ඈත
දුරු වී ගියා ආලෝකය ළඟ පාත
තරු කැල ගයන විට දුක් බර සෝ ගීත
කරුවල දියඹ ගත්තා සුරතල් දෑත
මියුගුණ වෙහෙර වැඳුමට එන පිරිවරට
සියුමැලි අතින් මල් පුබුදා දී පෙරට
සයුරක් සිනා හඬවා ඈතට දුරට
පියුමක් වුණා නුඹ මහියංගන පුරට
බියකරු බව නොසිඳි මේ දිය තලාවේ
දිය රැල්ලකට අමතමි හුදෙකලාවේ
ඇය ගෙන ගිය පවින් මිදුමට මුලාවේ
සියපත් පුබුදු වනු මැන ගල් තලාවේ
බුදු රැස් විහිද මියුඟුණ මහ වෙහෙර පිරී
සුදු සඳ රැස් ගලා එන විට පැහැය පෙරී
නිදුකින් සිටින්නට අම මෙත් ගඟුලෙ එරී
බුදු නෙත ඇරේවා යළි නුඹ දෙසට හැරී
චන්ද්‍රිකා දිසානායක
අන්ධ බිත්තිය
කප්පාදු කරන නෙක වර
නටයි ග්ලිරිසීඩියා ගස් පෙළ
විහිදිමින නව රිකිලි සිකි පිල
සලමින වතළ පිනි මුතු නෙත
ඉරිමා අදෑසන
නෑර මැදියම් රෑ කල
ගල්වා නයන අංජන
රමණිය මයුර රංගන
සේම හසරැළි මල් නෙළන
මට නුදුන්නැයි සිතට නොරිදෙන
අසල්වැසි තුරුණු හසඟන
දිය නාන රසඳුන
සඳැල්ලකි දියතට විවර
කවුළු දොරකැයි නොසිතෙන
නතර වී හෝරා යතුර
මා සමඟ එහි දවසැරිය
කෝ ඒ කවි කඳුර
පුබුදු කළ මගෙ කවි සිත
අන්ධ බිත්තිය අහසට
පැනනැගුණ තැන තිබුණ
රංජිත් මල්ලියාවඩු
අඬ-දබරයෙන් පසු...
සිකි පිල ලිහී
අවුල් වැ..
අඩ සඳ පැළුම්
නා දලු තඩිස්සි ව..
රණ හංසයන්
දියෙන් ගොඩ ගත්
මින් රැළ සේ
බියෙන් සැලි-සැලී..
ඉඳුදුනු
උස් ව නැඟ
නිල් මැණික් නෙත්
කඳුළු පිරුණා..
ගොම පොළොවේ
මුතු එක දෙකක්
හැලී තිබුණා
අනුසාර මාහිංගොඩ
ළමයි
පුංචි හිතේ නෙළුම් පිපේ
දවස පුරා සුවඳ දිදී
පායන රන් පුන්සඳ වේ
සිතේ සතුට සිනා නැෙඟේ...
දවසෙ විඩා හැර දමන්න
පුංචි ළමයි දෙස බලන්න
ගිනියම් වන සිත නිවන්න
ළමා ලොවේ සැරි සරන්න..
දඟ කෙරුවත් හැඩ බලන්න
කෝල කතා අසාගන්න
රණ්ඩු වුණත් යාළු වෙන්න
ළමා ලොවෙන් ඉගෙනගන්න
සඳරුවන් කරුණාතිලක
චුං පාන් චන්දරේ
රබර් කොට පළනකොට මැද මිදුලෙ බක්කරේ
ලුණු පදං බලනවා පාංපිටි මන්තරේ
හෙමින් ගෙල අත ගගා එල්ලිච්ච යන්තරේ
පිටි ගුළිය අනනවා තනිකඩ චන්දරේ
පාං පිටි ගුළි ගිලී රළු යකඩ අච්චුවට
මෘදු මොළොක් පාං ගෙඩි ගිනියමින් පෝලිමට
බනිස් ගෙඩියක සීනි රසක් නැති තනිකමට
චන්දරේ කියනවා සින්දුවක් තාලයට
උදෑසන පේ කරන් ගම වටේ පාං ගෙඩි
බෙදයි සුදු අත්වලට කළු වාටි පාං ගෙඩි
කබ පෙරා සුරඟනන් කුණුකෙළින් මවා එඩි
ඒ නයිටි ණයටමයි මාසෙ අග ලැබේ පඩි
උදේ හයයි - පහයි තිහයි අතරට ඉර තිබුණාම
අතින් වහන් ඉහයි කනයි දුහුලෙන් පිට පැන්නාම
බනිස් මූණ මේකප් නැති තව දවසක් ඇන්දාම
චන්දරේට ඉර පායයි ගෑනු නැතත් හැමදාම
චමින්ද ප්‍රදීප් සිල්වා ගුණරත්න
('පාට පහක්' කාව්‍ය සංග්රහයෙනි)
එතෙර කවිය
පමා වී පැමිණි වසන්තය
පුළුල්ය, කහවන්ය සැඳෑ ආලෝකය
සොඳරුය, සුවදායකය අප්‍රේල් සිසිලස
පැමිණ ඇති මුත් වසර ගණනක් පමා වී
ඔබේ පැමිණීමෙන් සතුටින් සිටිමි මම
සතුටින් සිනාසෙන ඔය සුමුදු දෑසින්
මා දෙස බලනු මැන මා ළඟින් හිඳගෙන
පිරී ඇත මේ සටහන් පොත ඉතින්
මා ලියූ කවිවලින් දැරියක විලස
සමා වනු මැන මා හට ශෝකයෙන් තැවුණාට
කමනු මැන ඉදින් නොතැකුවාට මේ හිරු එළිය
වෙසෙසින්ම දෙනු මැන සමාව මා වෙත
අනෙකුන් බොහෝ දෙන ඔබ යැ යි සිතුවාට
අන්නා අහ්මතෝවා
Anna Akhmatova (1889-1966)
ප්‍රකට රුසියානු කිවිඳියක වන අන්නා අහ්මතෝවාගේ Board and Yellow is the Evening Light නම් කවියෙහි පරිවර්තනයකි. ඇනා සාර් යුගය සහ විප්ලවීය රුසියාව යා කළ කිවිඳියකි. පොදු ජනතාවගේ ආදරය ඉමහත් සේ දිනාගත්තද ඇය ස්ටාලින්ගේ සහ ඔහුගේ නිලධාරිවාදයේ වෛරයට පාත්‍ර වූවාය. කෙසේ වුවත් පසු කලෙක ඒ කවි නිසා ඇය විදේශයන්හිදී සම්මානයට සහ ගෞරවයට පාත්‍ර වූවාය. එසේම මේ කවි නිසා සෝවියට් ලේඛක සංගමයෙන් පලවා හරිනු ලැබුවද වයස 76දී ඇය එහි පරිපාලන විධායක සභාවට තේරි පත් වූවාය.
පරිවර්තනය - නිලූක කඳුරුගමුව