පාපන්දුව නැවත කරට ගත් අනුර ගොඩයන පොට කියයි | සිළුමිණ

පාපන්දුව නැවත කරට ගත් අනුර ගොඩයන පොට කියයි

ජයග්‍රහණය ගැන ආඩම්බර වෙනවා. බලාපොරොත්තුවෙන් සිටි දෙයක්. මේ ජයග්‍රහණයෙන් වැඩි ආඩම්බරයක්, ලොකුකමක් ගන්නේ නෑ. ලොකු වගකීමක් අරගෙන තියෙන්නේ.

අපේ පාපන්දු ක්‍රීඩාව දැවැන්ත සැලැස්මකට ඉදිරියට ගෙනියන්න වෙනවා. අපි හරියට වැඩ කළේ නැත්නම් තව අවුරදු හතරකින් මේ වගේ පරාජයක් අපට අයිති වෙයි. අපිට ඕනෑ එහෙම දෙයක් නොවෙයි. පාපන්දු ක්‍රීඩාවට හොඳ සැලැස්මක් හදලා ඒක ඉදිරියට ගෙන යන්නයි.

මේ වසර හතර අවසානයේ හොඳ තරුණ කණ්ඩායමකට මේක බාර දෙන්න කැමැතියි. එකම කණ්ඩායම අවුරුදු ගණනාවක් හිටියොත් අජීර්ණ වෙන්න පුළුවන්.

මෙවර පාපන්දු නිලවරණයේදී අඛණ්ඩව නැවතවතාවක් සභාපති ධූරයට පත්වූ අනුර ද සිල්වා ලාංකේය පාපන්දුවේ අලුත් ගමන් මඟ පිළිබඳ මෙසේ කතිකාවකට එක් විය.

මෙකී නිලවරණය සම්පූර්ණ අභියෝගයක් බව පැවැසූ අනුරද සිල්වා,

තරගයක් තියෙන කොට එතැන අභියෝගයක් තියෙනවා. අපි මේ අභියෝගයට හොඳට මුහුණ දුන්නා.

අද අපේ පාපන්දුවේ තත්ත්වය පිළිබඳ පැහැදිලි කළ අනුර ද සිල්වා,

පහුගිය වසර කිහිපයේ අපි උත්සාහ කළේ පාපන්දු ක්‍රීඩාව දියුණු කරලා, හොඳ අඩිතාලමක් දමා ගන්න. ඒක අපි පටන් අරගෙන තියෙනවා.

අපිට ඕනා මේ තත්ත්වය තවත් ඉදිරියට ගෙනයන අතරම තරුණ ජවය එක්ක ජාතික සහ ජාත්‍යන්තරව අපේ පාපන්දුව උඩට ගෙන ඒම තමයි මූලිකම ඉලක්කය.

ඉදිරි වැඩපිළිවෙළ පිළිබඳ අදහස් දක්වමින්,

පාසල් පාපන්දුව බිම් මට්ටමේ ඉඳලම සූක්ෂම හා හරි ආකාරව කරවීම තමයි මූලික ඉලක්කය. ක්‍රීඩකයන් අද ඉන්න තැනින් ඉහළට ගෙනාවා වගේම පුහුණුකරුවන් ඉහළට තලයට ගෙනත් හොඳ වටිනාකමක් දීලා අනාගතයකට යාම තමයි මූලිකම අරමුණ.

මෙකී වැඩ පිළිවෙළෙහි මූලික සැලසුම් අවසන් කර ඇති බවද පැවැසූ අනුර ද සිල්වා,

නිලවරණය නිසා ඒකට යම් යම් බාධාවන් සහ අතපසුවීම් සිදුවුණා. ලබන සතියේ ඉඳලා ම මේ අතපසුවූ වැඩ ටික පටන් ගන්න ඕනෑ.

මෙවර නිලවරණයේදී ලාංකේය පාපන්දු ක්‍රීඩාව ඉහළට ගෙන ඒමේ අරමුණ ජය ගත් බවද අනුර ද සිල්වා පවසයි.

පුද්ගලිකව ගත්තත් මට අභියෝගයක් තිබුණා. මම වයස 12 ඉඳලා 35 වෙනකම් අඛණ්ඩව ක්‍රීඩා කළ ක්‍රීඩකයෙක්. ජාතික තලයේ ක්‍රීඩා කළා. ජාතික කණ්ඩායමට නායකත්වය දුන්නා. පරිපාලනය ගැන වසර ගණනාවක අත්දැකීම් තිබෙනවා. මගේ දැනුම තුළින් ක්‍රීඩාවට සාධාරණයක් කරන්න උපරිමයෙන්ම උත්සහ කරනවා.

පසුගිය තම සභාපතිධූර කාලයේ මුහුණදීමට සිදු වූ අභියෝග පිළිබඳ කතාබහ කිරීමට ද අමතක නොකළ අනුර ද සිල්වා,

අභියෝග නොතිබුණාමත් නොවෙයි. අපේ ජාතික කණ්ඩායම දිහා බැලුවොත් ඔවුන්ගේ තත්ත්වය පිළිබඳ කනගාටු වෙනවා. ඒ මට්ටම ඉහළට ගෙන ඒමට බැරිවීම ගැන.

මෙයට විවිධ හේතු බලපෑවා. අපිට හොඳට මුදල් රැස් කරලා ජාතික කණ්ඩායම උපරිම මට්ටම ගේන්න බැරි වුණා. ඒකම නෙවෙයි වෙන්න ඕනා. අපේ තරග ඉහළ මට්ටමකින් පැවැත්වීම, චැම්පියන්ස් තරගාවලිය මීට වඩා ඉහළ මට්ටමකින් පවත්වලා ජාතික කණ්ඩායම ශක්තිමත් කරන්න පුළුවන් නම් ඒක තමයි වෙන්න ඕනා. මේක වෘත්තිය මට්ටමට ගේන්න ඕනා.

ලාංකේය පාපන්දුව ආර්ථික අතින් දුප්පත් හෝ පොහොසත් අතර මැදි තැනක තිබෙන බව පවසන අනුර ද සිල්වා,

දුප්පත් කියලා කියන්නත් බෑ. පොහොසත් කියන්නත් බෑ. සම තැනක තියෙනවා.

අපිට ලෝක සහ ආසියානු පාපන්දු සම්මේලනවලින් තමයි මුදල් ලැබෙන්නේ. මෙයින් තමයි පරිපාලන කටයුතු කරන්නේ. අපි සැලසුම් ඉදිරිපත් කරන්න ඕනා. මේවායින් පිට වැඩ කරන්න බෑ.

මේ ලැබෙන මුදල්වලින් ජාතික කණ්ඩායමක් නඩත්තු කරන්න බෑ. ක්‍රීඩා සංකීර්ණ 11 ක් නඩත්තු කරනවා. සේවක සේවිකාවන් 60 - 70 ක් ඉන්නවා. මේ සියල්ල නඩත්තු වෙන්නේ ලැබෙන මුදල්වලින්.

ක්‍රීඩා ඇමැතිතුමා කිව්වා පාපන්දු වෙනුවෙන් ම ඊළඟ අයවැයේදී මුදල් ප්‍රමාණයක් වෙන් කරලා දෙනවා කියලා. මේ තුළින් අපි බලාපොරොත්තු වෙනවා අමාත්‍යංශය එක්ක පාපන්දු සම්මේලනය අත්වැල් බැඳගෙන එකම අරමුණකට ගමන් කරන්න.

ක්‍රීඩා අමාත්‍යංශයෙන් උපරිම සහාය ලැබෙන බවද පවසන අනුර ද සිල්වා,

ක්‍රීඩා අමාත්‍යංශයෙන් විශේෂ සහයක් ලැබෙන්නේ දකුණු ආසියානු තරගාවලියට හෝ අපේ මැදිහත්වීමෙන් පැවැත්වෙන තරගාවලිවලට පමණයි. වෙනත් තරගාවලිවලට යනකොට අපි අවහිරතාවලට පත්වෙනවා. අපි හොඳ අනුග්‍රහකයන්ගේ සහාය මේ සඳහා බලාපොරොත්තු වෙනවා. අනුග්‍රාහකයන් ලබා ගන්න පුළුවන් තැනකට අපි එන්න ඕනා.

අනුග්‍රහකයන් නොමැතිවීම පාපන්දුවේ පසුබැස්මක් නොවන බවද අනුර ද සිල්වා පවසයි.

1991 දී මම එතකොට ජාතික කණ්ඩායමේ උප නායකයා, තායිලන්තය සමඟ තරග දෙකක් තිබිලා 1 - 1 ක් විදියට දිනුවා. එතකොට අපි කොළඹදී තරගයක් දිනලා තියෙන්නේ අවුරුදු 21 කට පස්සේ. අපිට එතැනදී කියන්න බෑ පාපන්දුව පහළට වැටිලාද නැද්ද කියලා.

ලෝක ශ්‍රේණිගත කිරීම්වල ඉහළට එන්න නම් ඉක්මනින් ජාත්‍යන්තර තරග වැඩි ප්‍රමාණයකට එකතු වුණා නම් හරි. ජය පරාජය වැදගත් නෑ. තරග කරනවාට ලකුණු ලැබෙනවා.

කෘත්‍රිම ක්‍රමවේදයකින් වැඩි තරග සංඛ්‍යාවකට එකතුවෙලා උඩට එන්න පුළුවන්. ඒ වුණාට අපේ බලාපොරොත්තුව හොඳ ටීම් එකක් විදියට, පාසල් මට්ටමේ ඉඳලා ඉහළට ගේන්න. ක්‍රිකට් හැර අනෙක් ක්‍රීඩාවන්ට අතදීම් මදි. ක්‍රිකට් සහ සුළු වශයෙන් රග්බි වලට තියෙනවා. අනෙක් ක්‍රීඩා සියල්ලම පසුබෑමට ලක්වෙනවා ආකර්ෂණය මදි හින්දා. එක වර්ධනයකර ගන්නවා නම් අපිට ගමනක් තියෙයි.

ළමයින්ගේ දෙමාපියන්ගේ පැත්තෙන් අද අධ්‍යාපනයට තියෙන තරගයට හසුවෙලා. අපිට රජයක් විදියට එකතුවෙලා වැඩක් කරන්න පුළුවන් නම් රටේ ක්‍රීඩකයෝ සහ ශක්තිමත් ජනතාවක් බිහි කරන්න පුළුවන් වෙයි.

 

 

Comments