ඉස්සෙල්ලාම අඬ අඬා යනකොට දැල්පන්දු ක්‍රීඩාව ගැන කිසිම දෙයක් දන්නේ නෑ | සිළුමිණ

ඉස්සෙල්ලාම අඬ අඬා යනකොට දැල්පන්දු ක්‍රීඩාව ගැන කිසිම දෙයක් දන්නේ නෑ

බොට්ස්වානාහි පැවැත්වෙන යොවුන් දැල්පන්දු ලෝක කුසලාන තරගාවලියට එක්වූ ශ්‍රී ලංකා කණ්ඩායම, ඉදිරිපෙළ වමේ සිට, සෙත්මි දනුෂි, සුසීමා බණ්ඩාර, සචිනි රුද්‍රිගු, නිලුමි හපුආරච්චි, තරුෂි ඉලංගරත්න, පසුපෙළ වමේ සිට, පූර්නි ලක්ෂානි, මල්ෂා රත්නායක, කවීනා රාජපක්ෂ (උප නායිකාව) මෙලනි විජේසිංහ, මන්දිරා චාරුණි (නායිකා) නදී ප්‍රනාන්දු, නටාෂා අලුවිහාරේ.

බොට්ස්වානාහි පැවැත්වෙන අටවන යොවුන් ලෝක කුසලාන දැල්පන්දු තරගාවලියේ ශ්‍රී ලංකා කණ්ඩායමේ නායකත්වය මන්දිරා චාරුණී සම්පත්ට හිමිව තිබේ. මේ මන්දිරා සමඟ කතාබහකට අප වෙන් කළ ඉඩකඩයි.

- මන්දිරා චාරුණී සම්පත් ශ්‍රී ලංකා යොවුන් කණ්ඩායමේ නායිකාව

 

මේ තරගාවලිය පිළිබඳ මන්දිරාගේ තක්සේරුව මොන වගේද?

හුඟක් කාලයකට පස්සේ මේ වගේ ලෝක කුසලාන තරගාවලියකට අපි එකතු වෙන්නේ.

2015 තිබ්බ ආසියානු තරගාවලියෙන් තමයි අපි මේ තරගාවලියට සුදුසුකම් ලබා ගත්තේ. පාසල් මට්ටමේ ක්‍රීඩිකාවන් පස් දෙනෙක් කණ්ඩායමට එකතු වෙනවා. ඔවුන්ට ලොකු අත්දැකීමක් වෙයි. මේ පස් දෙනාට ඊළඟ ආසියානු තරගාවලියටත් ක්‍රීඩා කරන්න පුළුවන්.

අපි දීර්ඝ කාලයකට පස්සේ මේ වගේ තරගාවලියකට එකතු වෙන්නේ?

ඔව්. අපි ඉතිහාසයේ දෙවැනි වතාවට තමයි මේ තරගාවලියට එකතු වෙන්නේ.

මේ තරගාවලියට එකතුවෙන ශ්‍රී ලංකා කණ්ඩායම කොහොමද?

හුඟක් හොද ටීම් එකක් කියලා කියන්න පුළුවන්. අපි මහා ලොකු කාලයක් පුහුණුවීම් කළේ නෑ. ලැබුණු කෙටි කාලයෙන් උපරිමයෙන්ම පුහුණුවීම් කළා.

නායකත්වය ඔබට ලැබුණාම මොකද හිතුණේ?

ගොඩක් සතුටු වුණා. හය දෙනකුට කතා කළා. ඒ අතරින් තමයි මම නායිකාව වුණේ.

අපි තරග කරන රටවල් ගැන මන්දිරාට මොනවගේ තක්සේරුවක් ද තියෙන්නේ?

අපි ඒ කාණ්ඩයෙන් තරග කරන්නේ නවසීලන්තය, ස්කොට්ලන්තය, සැමෝවා සහ උතුරු අයර්ලන්තය එක්ක. අපේ ලොකුම ටාගට් එක සැමෝවා සහ උතුරු අයර්ලන්ත තරග ජය ගෙන ඊළඟ වටයට යන එක.

කිසිම තැනකදී මේ රටවල් මීට කලින් මුණගැහිලා නෑ?

මේ රටවල් කිසිම තරගයක හම්බවෙලා නෑ. ආසියානු තරගවලදී නම් සිංගප්පූරුව, මලයාසියාව හම්බවෙලා තියෙනවා. අපි ටාගට් කරන්නේ ඉන්න තැනින් ඉහළට එන්න. මේ තරගාවලිය අවසානයේ සිංගප්පූරුවට මලයාසියාවට වඩා ඉහළට එන්න.

මන්දිරා ක්‍රීඩිකාවක් විදියට ගොඩනැඟෙන පසුබිම හැදෙන්නේ කොහොමද?

ප්‍රජාපති විද්‍යාලයේ ඉගෙන ගත්තේ. එහෙදි තමයි නෙට්බෝල් ක්‍රීඩිකාවක් විදියට ඉදිරියට ආවේ.

පාසලේ පහසුකම් තිබුණද?

මහාලොකුවට පහසුකම් තිබුණේ නෑ. අපේ ඉස්කෝලේ ග්‍රවුන්ඩ් එකේ භාගයකම ලොකු තාප්පයක් ඉදිකරලා තිබුණා. ග්‍රවුන්ඩ් එකේ භාගයක තමයි පුහුණුවීම් කළේ.

මන්දිරාගේ ගම්පළාත කොහෙද?

ගම අම්බලන්ගොඩ. ක්‍රීඩා ශක්ති වැඩසටහනේ දිස්ත්‍රික්ක මට්ටමින් තේරිලා තමයි කොළඹ ආවේ.

මන්දිරාගේ පවුලේ?

අම්මයි - තාත්තයි අයියලා දෙන්නයි. පවුලේ කවුරුවත් විශේෂයෙන් කියලා ක්‍රීඩා කරන්නේ නෑ. ගමේදී අයියලා ක්‍රිකට් ගහනවා. ක්‍රීඩාවෙන්ම කියලා ඉදිරියට ආවේ මම විතරයි.

මන්දිරා නෙට්බෝල්ම තෝරා ගන්න විශේෂ හේතුවක් තිබුණද?

අපේ ඉස්කෝලේ නදීකා අක්කා තමයි පන්තිවල උස ළමයින්ට කතා කරලා එන්න කිව්වේ. ඒ අතරින් ගොඩක් අය තෝර ගත්තා. හුඟක් අය ඉගෙන ගන්න තමයි මුල් තැන දුන්නේ. මම එතකොට පහේ පන්තියේ ඉගෙන ගත්තේ.

කතා කරපු ගමන් මන්දිරා ගියාද?

මායි මගේ හොඳම යහළුවා සුපුනියි, අපි අක්කගේ පස්සේ අඬ අඬා තමයි ගියේ. නෙට්බෝල් කියන්නේ මොනවගේ ක්‍රීඩාවක්ද කියලා දැනගෙන හිටියෙත් නෑ. පස්සේ ඒ අක්කා කිව්වා, ගෙවල්වලට ගිහින් අම්මා තාත්තාගෙන් අවසර අරගෙන ලියුමක් ගේන්න කියලා.

ගෙදරින් එකපාරම අවසර දුන්නද?

අපේ අම්මා යාළුවගේ අම්මාට කතා කළාට පස්සේ අපි දෙන්නටම යන්න දුන්නේ.

යහළුවා බෑ කිව්ව නම් මොකද වෙන්නේ? මන්දිරා වෙන ක්‍රීඩාවක් තෝරා ගන්නවද?

අපේ ඉස්කෝලේ ගොඩක් ක්‍රීඩා නෑ. මං ආසාවෙන් හිටියේ මලල ක්‍රීඩාවලට. හැබැයි එහෙම කියලා විශේෂ ක්‍රීඩා ගුරුවරයෙක් හිටියේ නෑ. නෙට්බෝල් ක්‍රීඩාවත් නදීකා අක්කා තමයි කළේ.

පහසුකම් නැතුව ක්‍රීඩා ගුරුවරයෙක් නැතුව මලල ක්‍රීඩාවට හිත ගියේ ඇයි?

මට දුවන්න පුළුවන්. හැබැයි පුහුණුවීම් එහෙම කළෙත් නෑ. දුවන්න ආස නිසා තමයි. කොට්ටාශ - කලාප දුවනවා. එතැනින් එහාට අපි යැව්වේ නෑ.

දුර පැනීම ඉසව්වෙන් එක පාරක් කලාපයේ පළමුවැනියා. පළාත් තරග තිබ්බ කාලය කිව්වේ නෑ. එහෙම ගිය නැති තරග ගොඩක් තිබුණා. අපේ ඉස්කෝලෙත් එහෙම මලල ක්‍රීඩාවෙන් ඉදිරියට ආපු අය නැති තරම්. මම මීටර් 100, 200 ඉසව් එහෙම දිනලා තියෙනවා. අනාගතයේ නෙට්බෝල්වලින් ම ඉදිරියට යන්න තමයි බලන්නේ.

 

 

  

 

 

 

 

Comments