භූමිකම්පාවලින් ජපානය රකින හෙලවෙන මේසය | සිළුමිණ

භූමිකම්පාවලින් ජපානය රකින හෙලවෙන මේසය

 ලෝකයේ තුන්වැනියට විශාලතම යන්ත්‍රය වාර්තා වන්නේ ජපානයෙනි. ජපානය මේ යන්ත්‍රය නිෂ්පාදනය කර ඇත්තේ ජපාන ජාතියට මුහුණ දීමට සිදුවී ඇති ප්‍රබලතම තර්ජනයට මුහුණ දීම වෙනුවෙනි. එම තර්ජනය නම් භූමිකම්පාය. ජපානයේ කෝබේ ප්‍රදේශය 1995දී ඇතිවූ භූමිකම්පාවකින් සුනුවිසුනු වීමෙන් පසු ගොඩනැගිලි තැනීමේදී භූමිකම්පා සම්බන්ධව වඩාත් වැඩි අවධානයක් යොමු කළ යුතු බව ජපාන රජයට ස්ථාවර විය. ඒ අනුව ගොඩනැගිලි තැනීමේදී භූමිකම්පාවන්ට ඔරොත්තු දීම සම්බන්ධව පර්යේෂණ පැවැත්වීමටත් එම පර්යේෂණවලින් සමත් වන ගොඩනැගිලි පමණක් ඉදි කිරීමට අනුමැතිය දීමටත් ජපාන රජය තීරණය කළේය. ලෝකයේ තුන්වැනියට විශාලතම යන්ත්‍රය ජපානයේ ඉදිවන්නේ ඒ අනුවය. මේ යන්ත්‍රය නම් කර ඇත්තේ E - Defense යනුවෙනි. එහි අර්ථය Earth Defense හෙවත් භූමි ආරක්ෂකයා යනුයි. කොබේ ව්‍යසනයෙන් පසු මෙවැනි යන්ත්‍රයක් ඉදි කිරීමේ අවශ්‍යතාව පැන නැගුණද මේ යන්ත්‍රය නිපදවා අවසාන වන්නේ 2005 වසරේදීය.

මෙය හැඩයෙන් මේසයකට සමාන වේ. මේ මේසය චලනය කළ හැකිය. මේ මේසය මත ඉදිකිරීමට බලාපොරොත්තු වන ගොඩනැගිල්ලේ අවශ්‍ය කරන ප්‍රමාණයේ ආකෘතියක් ඉදිකිරීමට යෝජිත අන්දමින්ම ඉදි කරනු ලැබේ. මේ මේසය මත ටොන් 1200ක පමණ බරකින් යුත් ගොඩනැගිල්ලක් පවා ඉදිකිරීමට හැකි වන ලෙස ශක්තිමත්ව නිපදවා තිබෙන බවද සඳහන් කළ යුතුමය. එපමණක්ද නොව මේ මේසය මත රබර්, ලී හෝ කොන්ක්‍රිට් යන මේ ඕනෑම අමුද්‍රව්‍යයක් යොදා නිපදවන ලද අකෘතියක් වුවද පර්යේෂණයට භාජනය කළ හැකිය.

ඉන්පසු මේ මේසය රික්ටර් මාපක 7ක ප්‍රමාණයකදී ඇති වන බලයක් යොදමින් චලනය කරනු ලැබේ. ඒ සඳහා යොදා ගනු ලබන්නේ හයිඩ්‍රොලික් බලයෙන් ක්‍රියාත්මක වන පිස්ටන් පද්ධති දෙකකි. චලනය වීම අතරතුර ගොඩනැගිලි ආකෘතියට සවි කරන ලද සෙන්සර් මගින් ගොඩනැගිල්ලේ දරා ගැනීමේ ශක්තිය සහ චලනයන් හේතුවෙන් දුර්වල වන්නාවූ ස්ථාන මොනවාදැයි විමසා බැලේ. මේ තොරතුරු සියල්ල පරිගණක පද්ධතියකට යොමු වන අතර අවසානයේ පරිගණකය විසින් මේ ගොඩනැගිල්ල ඉදි කිරීමට සුදුසුද යන්න තීරණය කරනු ලැබේ.

මෙය දැනට ලෝකයේ ඇති මෙවැනි එකම යන්ත්‍රය වන අතර ජපානය තවත් මෙවැනිම එහෙත් මෙයට වඩා තරමක් ප්‍රමාණයෙන් කුඩා යන්ත්‍රයක් නිපදවමින් සිටින බවද වාර්තා වේ.

මේ E - Defense යන්ත්‍රය ලොව පුරා ප්‍රසිද්ධියට පත් වී ඇත්තේ තවත් ඉංජිනේරු විස්මයක් ලෙසිනි.

ටිරෝනි වෑවලගේ

Comments