ලැන්තන් මහත්තයා | සිළුමිණ

ලැන්තන් මහත්තයා

කෙටිකතාව

ලැන්තන් මහතාට ඇය මුණ ගැසුණේ ඔහුගේ දෙපාර්තමේනතුවේ ජ්‍යෙෂ්ඨ නිලධාරී තැන විසින් පිළියෙල කරන ලද සාදයක දී ය. ඔහු තම නෙත් බිඟුන් රන් හුයක පටලා, මාලතී පුෂ්පයක් බඳු ඇය වෙත පියා හඹන්නට ඉඩ හළේය. උහු රිසිසේ සැරි සැරූහ. ඔහු‍ගේ මතක ලොවේ ඇය තනි වූවාය.

ඕ වසර කිහිපයකට පෙර පරලොව සැපත් වූ ප්‍රාදේශීය වරිපනම් නිලධාරියෙකුගේ එක ම දියණිය වූවාය. කලක් ඇවෑමෙන් මව, දැරියත් කැටුව පැරිස් නගරයට පැමිණියාය. දියණිය සරණ පාවාදීමේ අදහස පෙරදැරිව ඇය අසල්වැසි මධ්‍යම පන්තිකයන් හා ඇසුරට වැටුණාය. මවත්, දියණියත් දුප්පත් වුව ද අවංක නිස්කලංක දිවියකට කැමැති, යුක්තිගරුක ඇත්තෝ වූහ. ඕනෑම තරුණයෙකු සිහින ලොවෙහි දී පමණක් ‍කලාතුරකින් දකින තරමේ රූපශ්‍රීයෙන් හෙබි ඕ යහපත් භාර්යාවක් සතු ගුණාංග මොනවට පළ කළා ය. දෙවඟනක බඳු ඇයගේ දෙතොල් අතර නිරතුරු රැඳි මන්දස්මිතය ඇගේ හදවත කියාපාන්නක් බඳු විය.

සෑම කෙනෙක් ම පාහේ ඇගේ ගුණාංග වර්ණනා කළහ. ඇගේ හදවත දිනන්නා මිහිපිට වසන වාසනාවන්ත තැනැත්තා වනු ඇතැයි කවුරුත් අනාවැකි පළ කළහ.

ප්‍රාදේශීය ඇමතිවරයකුගේ ප්‍රධාන ලිපිකරු වශයෙන් උසස් වීමක් ලැබ මසකට ෆ්රෑන්ක් තුන්දහස් පන්සියයක් ඉපැයූ ලැන්තන්ගේ යෝජනාවට ඇගේ මව එක පයින් එකඟ වූවා ය.

ලැන්තන් අදහා ගන්නට බැරි තරමින් ප්‍රීති ප්‍රමෝදයට පත්විය. ඇය ගෘහයේ කටයුතු ඉතා දක්ෂ අන්දමින් මෙන්ම ‘සුඛෝපභෝගී’ තත්ත්වයකට ළං වන තරමින් ඉටු කළා ය. ඇය පිසූ ආහාර දිව්‍ය භෝජන මෙන් රස දැනවිය. ඇය වටා පැතිරී සුන්දරත්වය හමුවේ ලැන්තන් වසර හයක් ඉක්ම ගිය තැනේ දී පෙරටත් වඩා ඇයට ඇලුම් කළේ ය.

එය එසේ වුවත් නාට්‍ය නැරඹීමට ඇගේ තිබූ ආශාවත්, අරුමෝසම් ආභරණ පැලඳීමට ඇය තුළ වූ ගිජුකමත් ලැන්තන්ගේ සිත් ගත්තක් නොවීය.

ඇගේ යෙහෙළියෝ කෙසේ හෝ ඇය රංග ශාලාවකට එක්කර ගෙන යෑමට මං පෑදූහ. කලින් ආසන වෙන්කරවා ගැනීම ඔවුහු ඇය වෙනුවෙන් ඉටු කළහ. ලැන්තන්ට මෙය හිසරදයක් වුවද, අකැමැත්තෙන් හෝ එකඟ වීමට සිදුවිය. දවස පුරා රාජකාරී කටයුතු ඉටුකිරීමෙන් ලබන වෙහෙසට වඩා වෙහෙසක් ලැන්තන්ට මේ නිසා දැනිණි. නාට්‍ය ශාලාවකට ඇය රැගෙන ගොස් නැවතත් නි‍ෙවසට ගෙනවිත් ඇරලීමට ඇගේ යෙහෙළියක සූදානම් කරගන්නැයි ලැන්තන් ඇයට කන්නලව් කළේ ය. ඇය ඊට අකැමැත්ත පළ කළා ය. තීරණයකට එළැඹීම පසුවට කල් දැමුවා ය. කලකට පසුව ඔහුගේ යෝජනාවට ඇය කැමැති වූයෙන්, ලැන්කන් සිය කෘතඥතාව ඇයට නොමඳව පළ කළේය.

නාට්‍යය නැරඹීමට යෑමේ දී ඕ අනිවාර්යයෙන් ම විසිතුරු ආභරණ පැලඳුවා ය. චාම් ඇඳුම් පැලඳුම්වලට වඩා ඇගේ ආභරණ වෛර්ණ ඒවා විය. දියමන්ති ඇල්ලූ තෝඩු ඇගේ කන් පෙති සැරසීය. විචිත්‍ර මාල ඇය සුමුදු ගෙල වටා විය. කුඩා මැණික් ගල් එබ්බ වූ වළලු ඇය සුරත් සැරසීය.

තම බිරිය ප්‍රදර්ශන භාණ්ඩයක් බඳු යැයි සිතූ ලැන්තන් සිය අමනාපය පළ කළේය. “වටිනා ආභරණ මිලට ගන්නට ඔයාට වත්කමක් නැතිකොට, ඔයාගේ ලස්සන පෙනෙන්න ඕන ස්වභාවයෙන්, ඔයා සතු චාම් ගතිගුණවලින් නේදැ” යි දිනක් ඔහු ඇගෙන් විමසීය.

ඇය සුපුරුදු සිනාවෙන් මුව සරසා ගත්තීය. “ඉතින්... මං මොනවා කරන්න ද? මං දන්නවා ඔයා කියන දේ හරි කියලා. ඒත් මම මේ තියන ආශාව කොහොම ද නැති කරලා දමන්නෙ?” ඇය දොඩමලු වූවා ය.

ඇයට මේ තරම් වටිනා ආභරණ කොහෙන් ද? ලැන්තන් වරෙක සිතුවේය.

සමහර සැඳෑවෙක ඔවුන් ගිනි උඳුන අසල සිටිද්දී ඇය තමා සතු ආභරණ පිරි පෙට්ටිය ගෙනැවිත් ටීපෝව මත මුණින් නමා එකිනෙක පලඳින්නී ය. ඇය වරෙක සිඟිත්තියක මෙන් ලැන්තන්ගේ ගෙල වටා ද පලඳවන්නී ය. උමතු­‍ෙවන් මෙන් සිනාසෙන්නීය. ඔහුගේ ගෙල බදාගෙන හාදු දෙන්නීය.

එක් ශිත සන්ධ්‍ය‍ාවෙක ඇය ගීත නාටකයක් නරඹා ශීතලයෙන් ගැහි ගැහී ගෙට ගොඩ වැදුණා ය. ඊළඟ දිනයේ දරුණු කැස්සකින් පෙළෙන්නට වූ ඇය, සතියක් ඉක්ම ගිය තැනේ දී මරු වසඟ වූවාය.

ලැන්තන් සතු වූ ආත්මය කවුරුදෝ සොරා ගත් සෙයකි. අසාර වූ, අනන්ත වූ ලෝකයේ ඔහු තනි වූවේය. ඇගේ සොහොන වෙත උමතුවෙන් පියමං කරන ඔහු, සිහි විකල් ව ගෙට ගොඩවෙයි. මසක් ඉක්ම යන්නට පෙර ඔහුගේ හිසකේ සුදු විය. ඉවසා දරා ගන්නට බැරි වේදනාවෙන් ඔහු හෙම්බත් විය. රිදී සීනුවක් වන් ඇගේ කටහඬ දුටුවන් වශී කරන ඇගේ මුදු සිනහව, දෙවඟනකගේ බඳු රූපශ්‍රීය මතක සටහන් අතරට එක්ව ඔහුට වධ දෙන්නට විය.

නික්ම යන දින ගණන් ඔහුගේ ශෝකය තුනී කරන්නට අපොහොසත් වූ සේ ය. කාර්යාලයේ තම මිතුරන් සතුටු සාමීචියේ යෙදෙද්දී, ලැන්තන්ට හොරා දෙනුවන් කෙරෙන් වෑහෙන කඳුළු බිඳු වළකාලන්නට කෙනෙක් නොවූහ.

ඇයගේ ඇඳුම් පැලඳුම් කාමරයේ තුබූ තැන්වල එසේම තිබෙන්නට ඉඩහළ ඔහු, ඒවා දෙස බලා දැහැනකට සම වැදුණකු මෙන් නිසොල්මන් ව උන්නේය.

ජීවිතය තව දුරටත් ගෙවීමට ඔහුට මහත් ගැටලුවක් විය. තම ආදරණීය බිරියගේ දෑතින් සියලු සැප විඳි ලැන්තන්ට එදිනෙදා දිවිය ගෙවාගන්නට වත් තමා ඉපයූ වේතනය මදි විය. ඔහු ණයගැතියෙක් විය. මාසයේ වැටුප් ගෙවන දිනට තව සතියක් තිබෙද්දී ඔහු අත තඹ දොයිතුවක් නොවූයෙන් කුමක් හෝ විකිණිය යුතු යැයි ඔහු කල්පනා කළේය. අවසාන දිනය දක්වාම දිනපතා පාහේ තම බිරිඳ මොනයම් හෝ අලුත් ආභරණයක් ගෙනාවා නේ දැයි ඔහුට මතක් විය. ඒත් ඇය එතරම් ආදරයෙන් රැස්කළ ඒවා මා විකුණා දමන්නේ කෙසේ ද? ඔහු ඇගේ ‘නිධානයේ’ දොර විවර කළේය. ඇස් අදහාගත නුහුණු ඔහු, වටිනාකමෙන් අඩු යැයි සිතුණු මාලයක් තෝරාගෙන එය ෆ්රෑන්ක් හතක් හෝ අටක් වටිනු ඇතැයි තක්සේරු කළේය. මාලය සාක්කුවේ ලා ගත් ඔශු, විශ්වාසවන්ත කෙනෙකු සොයා යන්නට පටන් ගත්තේය.

එක් ආභරණ සලක් ඉදිරිපට නැවතුණු ඔහු, ලජ්ජාවෙන් මිරිකුණේය. ‘මේ මාලෙ අරන් ගියාම මම හිඟන්නෙක් කියලා ඒ මිනිස්සු හිතාවි. මේ වගේ නොවටිනා මාලයක්’ ඔහු කෙසේ ‍හෝ දිරි උපදවා ඊට ගොඩවිය.

“මුදලාලි මේ මා‍ලය කීයක් විතර වටිනව ද?” ඔහු තැතනුවේය. සාප්පු අයිතිකරු ඒ අතට ගෙන පරීක්ෂා කොට බලා බර කිරුවේය. තම සගයෙකුට කථා කළ මුදලාලි ඇසෙන නෑසෙන තරමින් මොකක්දෝ කීය. මේ සියල්ල දුටු ලැන්තන් හදිසියේම වාගේ, “‍ඔව් මම දන්නවා මුදලාලි ඒක එච්චර වටින්නේ නැති බව... ඒත් මේ වෙලාවෙ හැටියට....” යි කීෆව්ය.

“සර් මේ මාලය ෆ්රූන්ක් දොළොස් දහටත්, පහළොස් දාහටත් අතර වටිනවා. ඒත් මහත්තයට මේක ලැබුණේ කොහොමද කියලා හරියට කියන තුරු මිලයට ගන්න බැහැ...”

ලැන්තන් තද නින්දකින් ගැස්සී අවදි වූවෙකු බඳු විය. දෙසවන් අදහාගත නුහුණු ඔහු, අන්දමන්ද විය. අවසානයේ ඔහු ගොත ගසමින්, “මොනවා මුදලාලි ඔය ඇත්තමදැ” යි ඇසීය.

“ඔබ විශ්වාස නොකරනවානම් මට කරන්න දෙයක් නෑ. මට දැනට ඒක පහළොස් දාහක් වටිනවා. ඕන්නම් වෙනින් තැනකට ගිහිල්ලා බලවා ගන්නා. මීට වඩා අඩු ගණනක් කීවොත් නැවතත් මෙතැනට එන්න” යි මුදලාලි තරමක අමනාපයකින් කීය.

ලැන්තන් මාලයත් රැගෙන ඉන් පිටවිය. ඔහුට දැන් අවශ්‍ය වූයේ තනිවීමටය. කිසි කෙනෙකුගේ සෙවණැල්ලක් හෝ නොගෑවී හුදෙකලා වීමටය.

 

ඔහු තනිව සිනාසුණේය. ‘මන් කොච්චර මෝඩයෙක් ද? මට මුදලාලි කීව ගානට මේක දෙන්න තිබුණේ. ඒ මෝඩ මිනිහා බඩුවක් තක්සේරු කරන්න දන්නේ නැහැ.’

ඔහු ඒ මගෙහි ඇති වෙනත් ආභරණ සලකට ගොඩවුණේය. මාලය දුටු සැණින් ඒ සාප්පු හිමියා මවිත වී, “ඇත්ත වශයෙන්ම මේ මාලය මට හොඳට අඳුනාගන්න පුළුවන්... මේක විකුණුවේ මම...” යි කීවේය.

ලැන්තන්ට දහවල් තරු පෙනෙන්නට ඔන්න මෙන්නය. “මේක කීයක් වටිනවාද?” ඔහු පුදුමය අතරින් විචාළේය. “සර් මේක මම විකුණුවේ ෆ්රූන්ක්් විසිපන් දාහට. ඕන්නම් මම නැවත ගන්නන් ෆ්රූන්ක් දහ අටදාහට. හැබැයි මේක මහත්තයට ලැබුණේ කොහොම ද කියලා දැනගන්න ඕනැ.”

මෙවර ලැන්තන් තුළ පුදුමයෙන් ශරීරයේ අඩක් පණ නැතිව ගියේ ය. “හොඳට බලන්න. හොඳට බලන්න. මේක එච්චර වටිනවා ද කියලා.” ලැන්තන් කන්නලවු කළේය.

“මට කරුණාකරලා සර්ගේ නම කියන්න පුළුවන් ද?” ඔහු විමසීය.

‘ඔව්, මම ලැන්තන්...” ඔහු සිය රැකියා ස්ථානයත්, ලිපිනයත් කීවේය.

සාප්පුකරු ගිණුම් පොතක් ගෙන, පිටු පෙරළන්නට පටන් ගති. “ඔව් සර් කියාපු ලිපිනයේ ලැන්තන් නෝනට, 1876 ජූලි 20 වැනිදා මම මේ මාලය වික්කා.”

ඔවුහු දෙදෙනාම තුෂ්නිම්භූතව එකිනෙකා දෙස බැලූහ.

“සර් මට මේ මාලය එක දවසකට දෙන්න. මම එය භාරගත් බවට සර්ට රිසිට් පතක් දෙන්නම්.”

ලැන්තන් මාලය ඔහුට භාර දී, රිසිට් පත රැගෙන මාවතට වන්නේය. ඔහු පාර හරහා ගියේය. මඳ දුරක් ගමන් කළේය. ඔහු ආපසු හැරී බැලුවේය. තමා මෙතෙක් වැරදි මාර්ගයක පැමිණ ඇතැයි වැටහිණි. ඔහු සිහි විකල්ලෙන් මෙන් මිමිනුවේය. ‘මගේ බිරිඳ මෙතරම් වටිනා මාල ගත්තේ කොහොම ද? ඒක වෙන්න බැහැ. තෑගි ලැබෙන්නට ඇති. එහෙනම් කාගෙන් ද? කොහෙන් ද? කොහොම ද?

ඔහු නොදැනුවත්වම පාර මැද්දට පැමිණ ඇත. මහ පොළොව කැරකෙන්නට පටන් ගෙන ඇතැයි ඔහුට සිතුණේය. මහ පාර මැද ඔහු සිහිසන් නැතිව ඇදවැටිණි. නැවත සිහිය ලබද්දී ඔහු අසල ඔසුසලක සිටියේ ය. නාඳුනන පුද්ගලයකුගේ උපකාරයෙන් නි‍ෙවසට ළඟා වූ ඔහු ගෙට වැදී දොරගුළු ලා ගති. ඔහු හැඬුවේය. විලාප දුන්නේය. ලේන්සුව තෙත් වනතුරු කඳුළු පිස දැමුවේය.

හිරු රැසින් දැවුණු ඔහුට හදිසියෙන් ඇහැ‍රුණේය. ඇ‍ඳෙන් නැගිටින්නට පවා සිතක් ඔහුට නොතිබිණි. කාර්යාලයට පැමිණිය නොහැකි බව දන්වා ඔහු ලිපියක් යැවුවේය. සාප්පුකරු සමඟ තනිකර ආ මාලය හදිසියේම ඔහුගේ මතකයට නැඟිණි. කඩිමුඩියේ ඇඳගත් ඔහු නිවෙසින් පිටවිය.

“මන් පොහොසත් නම් කොච්චර ලේසියෙන් සන්තෝෂයෙන් ඉන්න පුළුවන් ද? සල්ලිවලට ඕන දෙයක් කරන්න පුළුවන්. වැඩට හිතුණොත් විතරක් යන්න පුළුවන්. නැතිනම් ගෙදර නවතින්න පුළුවන්. ලෝකෙ ඕන මුල්ලකට යන්න පුළුවන්...”

ඔහුට හනික කුස ගින්නක් දැනිණි. පෙර දින දහවල් ආහාර වේලක් ගත්තට පසුව, අනුභව නොකළ බව ඔහුට පසක් විය. ඒත් කෝ සල්ලි. සාක්කු දෙකම හිස්. ඒත් මාලය ෆ්රූන්ක් දහ අටදාහක්. මොන සම්පතක් ද? ප්‍රෑන්ක් දහ අටදාහක්.

ඔහු සාප්පුව ඉදිරිපිටට පැමිණ එහාටත්, මොහටත් ගමන් කරන්නට පටන් ගති. යම්දෝ නොයම්දෝ, ෆ්රූන්ක් දහ අටදාහක්.

ඔහු දුටු සැණින් සාප්පු හිමියා ඔහුව හැඳින ගති. මුව පුරා සිනාසී හනිකට ආසනයක් පිරිනැමුවේය.

“මම ඔබට ප්‍රෑන්ක් දහ අටදාහක් දෙන්නම් සර්” සාප්පු හිමියා කීයෙන් ලැන්තන් ගොත ගසමින් “හා” යි කීවේය.

ගැහෙන දෑතින් යුතු ව ප්‍රෑන්ක් දාහේ කොළ දහඅටක් ගත් ලැන්තන්, ආපසු යන්නට හැරිණි. සිනාසුණේය. “මගේ ළඟ තවත් මේ වගේ මාල තියෙනවා. ඔබ ගන්නට කැමැති ද?”

“ඔව් සර් ඔක්කොම ගේන්න”

සාප්පු හිමියාත්, ඔහුගේ සගයන් කිහිප දෙනෙකුත් ඔහුගේ නිවසට ගියහ. ලැන්තන් දැන් නියම වෙළෙඳ ව්‍යාපාරිකයෙක් බඳු ය. තම බිරිය විසින් මිලයට ගනු ලැබූ භාණ්ඩයන්ගේ නියම බිල්පත් පරීක්ෂා කර, නියමිත ගණන් හිලව් සාප්පු හිමියාට දැන්වූවේය. අරුංගල් ජෝඩුව ප්‍රෑන්ක් විසිදාහයි, වලලු ෆ්රූන්ක් තිස්පන්දාහයි, කොණ්ඩ කටු, මුදු ෆ්රූන්ක් දහසය දාහයි. සියලුම ආභරණළුල වටිනාකම ප්‍රෑන්ක් එක්ලක්ෂ අනූහය දහසකි.

ලැන්තන්ගේ වටිනාකම එන්න එන්න ම ඉහළ යයි. මිටෙන් හළ කුරුල්ලකු මෙන් ඔහු ආඩම්බරයෙන් දෙපා ඔබා ගමන් යයි.

පෙනෙන්ට තිබුණු හොඳම අවන්හලට ගිය ඔහු බෝතලය ෆ්රූන්ක් විස්ස ගණනේ වයින් බීවේය. හොඳට බඩ කට පුරා කෑවේය. කුලී රියක් මිලට ගෙන නගරය පුරා සැරිසැරුවේය.

“මන් පොහොසත්, ‍ෙම් බලනවා... ෆ්රූන්ක් ලක්ෂ දෙකක් මුළු ලෝකයටම ඇසෙන්නට බෙරිහන් දෙන්නට ඔහුට සිතිණි.

ඔහු තම කාර්යාලයට ගොඩවිය. තම ජ්‍යෙෂ්ඨ නිලධාරියා ළඟට මහත් ආඩම්බරයෙන් පියමං කළේය. “සර් මම ඉල්ලා අස්වීමේ ලිපිය බාරදෙනවා. මට ප ෆ්රූන්ක් ලක්ෂ දෙකක නිධානයක් පහළ වුණා.” ඔහු කාර්යාලයේ උන් සෑම සගයෙකුටම අතට අත දී සමුගත්තේය. රාත්‍රී භෝජනය සඳහා ඉතා විශාලම ‍හෝටලයක් ‍තෝරමින් ගමන් ගත්තේය.

පැයෙන් පැය ෆ්රූන්ක් ලක්ෂය බැගින් වැඩි කරමින් ඔහු හයියෙන් කෑගහන්නට ඔහුට සිත්විය.

ජීවිතයේ පළමු වතාවට නාට්‍යයක් නැරඹීමට ඔහුට ආශාවක් උපනි. ඔහු නාට්‍යය නරඹා මහත්සේ අමන්දානන්දයට පත් විය.

මාස හයකට පසු ඔහු නැවතත් විවාහයකට ඇතුළු විය. ඒ බිරිය මහත් වූ ධනයක් හිමි කතක් වූවාය. ඒත් ඇය, ඔහුගේ ජීවිතය සහමුලින්ම විනාශ ‍ෙකාට දැමුවාය.

Comments