අපේ ම හැඟීම්වලට සුවිශේෂ කලාවක් ඇතැයි මා විශ්වාස කරන්නේ නෑ | සිළුමිණ

අපේ ම හැඟීම්වලට සුවිශේෂ කලාවක් ඇතැයි මා විශ්වාස කරන්නේ නෑ

තුරුණු මඬල

වසර 1987 දී පාසල් වේදිකාවෙන් රංගනයට ප්‍රවිෂ්ට වන රුක්මල් නිරෝෂ් වසර 1990 දී චිත්‍රපට නළුවකු ලෙසත් 1996 දී සංස්කරණ ශිල්පියකු ලෙසත් කරළියට පිවිසේ. “සඳ අමාවකයි” , “හදවිල සක්මන” ,“ධවල කන්‍යා”, “සමනලුන්ට වෙඩි තියන්න”, “ඕලු”, “ආවට පස්සේ”, “සුළඟ මත මොහොතක්”යන ටෙලිනාට්‍ය වෙනුවෙන් හොඳම සංස්කරණයට හිමි සම්මාන හිමි කරගන්නා ඔහු, “සමාරා” චිත්‍රපටයේ සංස්කරණය වෙනුවෙන් සරසවි සම්මාන උලෙළ ජූරියේ විශේෂ සම්මානය ද හිමි කරගන්නේ ය. “සුළඟ මත මොහොතක්” ටෙලිනාට්‍ය වෙනුවෙන් සිග්නීස් සම්මාන (2015) හොඳ ම අධ්‍යක්ෂණය වෙනුවෙන් ද ඔහු සම්මානයට පාත්‍ර වන්නේ ය. වසර 2000 දී හේ හොඳ ම නැඟී එන නළුවාට හිමි ජනාධිපති සම්මානය ද හොඳ ම සංගීත වීඩියෝව සඳහා රාජ්‍ය ටෙලි සම්මාන හා රාජ්‍ය සංගීත සම්මානය ද ලබන අතර, ජාතික චිත්‍රපට සංස්ථාවේ වසර 2005 හොඳ ම කෙටි චිත්‍රපට දහය අතරට ඔහුගේ චිත්‍රපටයක් ද ඇතුළත් වන්නේ ය. එමෙන් ම දැනට තිරගත වන “විසි අට” සිනමා නිර්මාණයට ද ඔහුගේ දායකත්වය සුවිශේෂය. ඕස්ට්‍රේලියාවේ Synburne විශ්වවිද්‍යාලයේ සිනමාව හා රූපවාහිනී මාධ්‍ය පිළිබඳ උපාධිධරයකු වන ඔහු දැනට කැලණිය විශ්වවිද්‍යාලයේ ලලිතකලා අධ්‍යයන අංශයේ කථීකාචාර්යවරයකු ලෙස සේවය කරන්නේ ය.

• චිත්‍රපට හෝ ටෙලි නාට්‍ය යන ශ්‍රව්‍ය දෘශ්‍ය කලාවක, සංස්කරණය නම් වූ ශිල්පය කලාවක් ලෙස හඳුනා ගන්නේ කෙසේද?

සංස්කරණය ශිල්පයක් ලෙස ප්‍රගුණ කිරීම එතරම් අපහසු නැහැ. සංස්කරණයට අදාළ මෘදුකාංග භාවිතය සිදු කරන්නේ කෙසේද යන්න අන්තර්ජාලය ඔස්සේ වුණත් පහසුවෙන් උගත හැකියි. එහෙත් සංස්කරණයේ කලාව කියන දේ ඊට වඩා සංකීර්ණ ක්‍රියාවලියක්. ඒ සඳහා අප නිරන්තර අභ්‍යාසයේ හා අධ්‍යයනයේ යෙදිය යුතු වෙනවා. අප අවට තිබෙන පරිසරය ආදී දේ පිළිබඳ දැනුමෙන් සන්නද්ධ වීමෙන් තමයි සංස්කරණයේ ශිල්පීය පාර්ශ්වයෙන් එහාට ගිය කලාව සොයා ගැනීමට හැකි වන්නේ. සංස්කරණ ශිල්පියාට කාර්මික දැනුම වගේ ම නිර්මාණශීලී පරිචය අත්‍යාවශ්‍ය වෙනවා.

• සිනමාව මෙන් ම ටෙලි නා‍ට්‍යයේත් රූගත කිරීම්වලදී සිදුවන්නේ එක්තරා ආකාරයක තාක්ෂණික කටයුත්තක්. මේ තාක්ෂණික කටයුත්ත නැවත කලාවට පරිවර්තනය කිරීමක් සංස්කරණයේදී සිදුවන බවක් හැඟෙනවා?

අපේ නිෂ්පාදන අවධීන් තුනකට බෙදෙනවා, පූර්ව නිෂ්පාදන අවදිය, නිෂ්පාදන අවදිය හා පසු නිෂ්පාදන අවදිය ලෙස. ශ්‍රී ලංකාවේ සංස්කරණ ශිල්පියා සම්බන්ධ වන්නේ පසු නිෂ්පාදන අවදියේදී පමණයි. එහෙත් විදේශ සිනමාවේ තත්ත්වය මීට වෙනස්. ඔවුන් රූගත කරන සෑම දර්ශන තලයක් ම චිත්‍රයට නඟනවා. එහිදී සංස්කරණ ශිල්පියා පවා සම්බන්ධ වෙනවා. එසේ සංස්කරණ ශිල්පියාගෙනුත් ඒ අවස්ථාවන්හිදී අදහස් ලබා ගැනීම මඟින් ඒ නිෂ්පාදනය වඩාත් කලාත්මක කරගැනීමට හැකියාව ලැබෙන බව මගේ විශ්වාසයයි. ඒ වගේ ම සංස්කරණ ශිල්පියා ශිල්පීය දක්ෂතාවයෙන් ඔබ්බට ගිය පරිබාහිර ලෝකය පිළිබඳවත් අධ්‍යයනය කළ යුතු වෙනවා. එවැනි සංස්කරණ ශිල්පියකු අතින් තමයි හොඳ නිර්මාණයක් බිහි වෙන්නේ. උදාහරණ ලෙස අපේ උඩරට තේ දලු නෙළන ළඳුන්ගේ ජීවිත හා වෙරළබඩ මුහුදු යන සමාජයේ කාන්තාවකගේ ජීවිතවල තිබෙන රිද්මය එකකට එකක් වෙනස්. සංස්කරණ ශිල්පියා මේ රිද්ම දෙක හරිහැටි අවබෝධ කර නොගත්තොත් ඊට අවශ්‍ය කරන සංස්කරණ රිද්මය නිවැරදිව නිර්මාණයට ඇතුළත් කළ නොහැකි වෙනවා.

• දැනට අපේ සිනමාවේ රූගත කිරීම්වලදී සංස්කරණ ශිල්පියාගේත් දායකත්වය ලබාගන්නවා ද?

බොහෝ දුරට නැහැ. එහෙත් පෙර නිෂ්පාදන අවදියේදී හා රූගත කිරීම්වලදී සංස්කරණ ශිල්පියාට සම්බන්ධ වන්න හැකි නම් පවතින තත්ත්වයට වඩා සංස්කරණය කියන කලාව වර්ධනය වෙනවා. ශ්‍රී ලංකාවේ අපට ටයිටස් තොටවත්තයන්, රවීන්ද්‍ර ගුරුගේ, එල්මෝ හැලිඩේ, රොසැල් ද අල්විස් වැනි ප්‍රතිභාන්විත සංස්කරණ ශිල්පීන් සිටියත් වර්තමානය වන විට එහි පසුබෑමක් දකින්න ලැබෙනවා. ඩිජිටල්කරණය වීමෙන් පසු ඕනෑ ම කෙනෙකුට මේ ක්ෂේත්‍රයට පිවිසීමේ හැකියාව ලැබුණා. එහිදී බිහි වුණේ තාක්ෂණික දැනුම තිබෙන පිරිසක් මිසක් සංස්කරණ කලාව ප්‍රගුණ කළ පිරිසක් නෙවෙයි. ඒ නිසා අපේ සංස්කරණ ශිල්පීනුත් මීට වඩා හොඳ අධ්‍යයනයක නිරත විය යුතුයි.

• ඔබ සම්මානනීය සංස්කරණ ශිල්පියකු වීමට ඔබ සතු රංගන හැකියාව සහ ටෙලිනාට්‍ය අධ්‍යක්ෂණය පිළිබඳ දැනුම බලපානවාද?

මූලිකව ම මා කලාවට ප්‍රවිෂ්ට වන්නේ රංගන ශිල්පියකු ලෙසයි. පසුව සංස්කරණ ශිල්පය මා වෘත්තිය ලෙස තෝරා ගන්නවා. ඉන් පසුවයි මා අධ්‍යක්ෂණයට යොමු වන්නේ. රංගන ශිල්පියකු ලෙස රූපගත කිරීමවලට සහභාගී වීමේදී එක් එක් රූපරාමු ලබාගන්නේ ඇයිද කියන කාරණය අවබෝධ වෙනවා. එය සංස්කරණ මැදිරියේදී සංස්කරණය කිරීමේදී පහසුවක් වෙනවා. ඒ වගේ ම රංගන ශිල්පියකුගේ භාවාත්මක රූප රාමුවක් තෝරා ගැනීමට හා කොපමණ දුරකට එය අවශ්‍යද කියන කාරණා තේරුම් ගැනීමට මට රංගන හැකියාවත් බලපානවා. ඒ වගේ ම අධ්‍යක්ෂණයට පිවිසෙන විට රංගන ශිල්පියකු ලෙස වැඩ කිරීම මෙන් ම සංස්කරණ ශිල්පියකු ලෙස වැඩ කිරීමත් මහත් පිටුවලක් වෙනවා. එහිදී මට හැකියාව ලැබෙනවා අත්‍යවශ්‍ය රූප රාමුව පමණක් රූපගත කරන්න. සිනමාව කියන්නේ අධ්‍යක්ෂවරයාගේ මාධ්‍යයක් නිසා සංස්කරණ ශිල්පියා කළ යුතු වන්නේ ඒ කෘතිය සාර්ථක කරගැනීම සඳහා තමන්ට කළහැකි උපරිමය කිරීමයි.

• ඔබ චිත්‍රපට, ටෙලි නාට්‍ය හා සංගීත වීඩියෝ යන ධාවන කාලය හා තිරය යන කාරණාවලින් ද විවිධත්වයක් ගන්නා රූප මාධ්‍ය තුනේ ම සංස්කරණ ශිල්පියකු ලෙස කටයුතු කරනවා. ඔබ මේ මාධ්‍ය තුනේ සංස්කරණ කාර්යයේ දී කලාත්මක පාර්ශ්වයේ වෙනස් වූ රීති භාවිතා කරනවාද?

සංස්කරණයේදී මාධ්‍යය කුමක්ද කියන කාරණය ඉතා වැදගත් වෙනවා. රූපවාහිනිය කියන්නේ ගෘහස්ථ මෙවලමක් .අපි රූපවාහිනිය නරඹන්නේ ‍බොහෝවිට තවත් ශබ්ද හා කටයුතු සමඟයි. එවැනි ප්‍රේක්ෂක පිරිසකගේ අවධානය දිනා ගැනීමට ටෙලි නාට්‍යයේදී විවිධ උපක්‍රම භාවිතා කරන්න වෙනවා. එහෙත් සිනමා ශාලාවකදී ප්‍රේක්ෂකයාට දිගට ම ඇස රඳවාගෙන සිටීමේ හැකියාව තිබෙනවා. ඒ නිසා අපි සිනමාවට වඩා ටෙලි නාට්‍යය තුළ සංගීතය භාවිතා කරනවා. ඒ වගේ ම සිනමාවේ හා ටෙලිනාට්‍යයේ රූපය වුණත් භාවිත වන්නේ වෙනස් ආකාරයකටයි. වර්තමානයේ රූපවාහිනී තිරය පුරා දිවෙන වෙළඳ දැන්වීම් නිසා ඉදිරියේදී රූපවාහිනී මාධ්‍යයේ ඉතා සමීප රූප භාවිතා කිරීමට නොහැකි වෙනවා. අපි දැනටත් රූපවාහිනියට භාවිතා කරන්නේ මධ්‍යස්ථ සමීප රූපයි. එවැනි දේ පිළිබඳවත් සංස්කරණයේදී අවධානය යෙමු කරන්න වෙනවා.

• ටයිටස් තොටවත්ත වැනි සංස්කරණ ශිල්පීන් අතින් නිර්මාණය වූ අතිශය රමණීය සංස්කරණ අපට අතීතයේදී හමු වෙනවා. මෙසේ ඔවුන් හෙළි පෙහෙළි කරගත් අපට අනන්‍ය වෙනම ම සංස්කරණ කලාවක් තිබෙනවාද?

මුළු ලොකයේ ම හැඟීම් පොදුයි. අපි කලාව තුළ ගනුදෙනු කරන්නේ ඒ හැඟීම සමඟයි. අපේ ම හැඟීම්වලට සුවිශේෂ කලාවක් පිළිබඳව මා විශ්වාස කරන්නේ නෑ. ලංකාවේ නෙනෙකුගේ හැඟීමක් පිටරට කෙනෙකුට දැනෙන්න නම් එය පොදු විය යුතුයි. ඒ පොදු බව දැනෙන්න සංස්කරණයක් කරනවා හැරෙන්න අපට ආවේණික සංස්කරණ ශිල්පයක් අවශ්‍යයි කියලා මා සිතන්නේ නෑ.

• දේශයෙන් දේශයට කලාවන්ගේ අනන්‍යතා වෙනස් වෙනවා. සංස්කරණයත් ඔබ කලාවක් වශයෙන් අර්ථ දක්වනවා. එහෙත් ඒ තුළ අනන්‍යතා ලක්ෂණ ගොඩනැගෙන්නේ නැතැයි කීමට හේතුව කුමක්ද?

අපි සිනමාවේ ආභාසය ලබන්නේ අන්තර්ජාතික සිනමා නිර්මාණවලින්. අපේ සංස්කෘතිය වුණත් සිනමා භාෂාවෙන් කියන විට එය අයත් වන ශානරයක් තිබෙනවා. සංස්කරණයේදී ඒ ශානරයට අවශ්‍ය සංස්කරණ විධි ක්‍රම හැරෙන්න අපට ම අනන්‍ය රීති කියලා ශානරයක් නැහැ. අපේ තිබෙන්නේ Commercial Film සහ Art Film පමණයි. විදේශ රටවල මීට වඩා ශානරයන් විශාල ප්‍රමාණයක් තිබෙනවා. තව ම අපට ම අනන්‍ය වූ ශානරයක් වත් නිර්මාණය වී නැහැ.

Comments