අමෙරිකානු නිදහස් දිනය වෙනුවෙන්... උතුරු කොරියාවෙන් ගිනිකෙළි! | සිළුමිණ

අමෙරිකානු නිදහස් දිනය වෙනුවෙන්... උතුරු කොරියාවෙන් ගිනිකෙළි!

''අපි අමෙරිකානුවන්ට ඔවුන්ගේ නිදහස් දිනයේදී ඒ වෙනුවෙන් 'ත්‍යාගයක්' ලබාදුන්නා. ඉදිරියේදීත් යැංකින්ට ලොකු හා කුඩා තෑගි වරින් වර ලබාදෙන මෙන් මම මගේ නිලධාරීන්ට උපදෙස් දී තිබෙනවා.''

මේ උතුරු කොරියානු නායක කිම් ජොං අන් පසුගිය අඟහරුවාදා උතුරු කොරියාව සාර්ථකව අන්තර් මහාද්වීපික බැලස්ටික මිසයිල අත්හදා බැලීමෙන් පසු සිදු කළ ප්‍රකාශයයි. මෙය මෑතකාලීනව යම් කිසි රටක නායකයකු අමෙරිකා එක්සත් ජනපදය ඉතා බරපතළ ලෙස හෑල්ලුවට ලක් කළ ප්‍රථම අවස්ථාවයි. එපමණක් නොව, කිසියම් රටක් අමෙරිකා එක්සත් ජනපදයේ ජාතික ආරක්ෂාවද ඉතා බරපතළ ලෙස තර්ජනයට ලක් කළ ප්‍රථම අවස්ථාව ලෙසද මෙය හැඳින්වේ. අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් දේශීය හා විදේශීය වශයෙන් මුහුණ පා ඇති අර්බුද වඩාත් සංකීර්ණ තත්ත්වයට ගෙන ඒමේ ප්‍රවණතාවක් උතුරු කොරියානු ප්‍රශ්නය තුළින් ඉස්මතු වී තිබේ.

උතුරු කොරියාව වසර පුරා පාහේ විවිධ යුද ක්‍රියාකාරකම්වල නිරත විය. එපමණක් නොව, මිසයිල ඉතා විශාල සංඛ්‍යාවක් අත්හදා බැලීය. අසල්වැසි රටවලට පහරදෙන බවට හා බලවත් රටවලට යුදමය වශයෙන් මුහුණ දීමට තමන් සූදානම් බවට එරට ජනාධිපති කිම් ජොං අන් ප්‍රසිද්ධියේ කිහිප විටක් වහසි බස් දෙඩීය. එසේ නම් එම සිද්ධි හා මෙවර මිසයිලයක් අත්හදා බලා එරට නායකයා වහසි බස් දෙඩීමේ සිද්ධිය මුළු මහත් ලෝකයම සසල කිරීමටත් ඒ පිළිබඳව ඉතා පුළුල් වශයෙන් සාකච්ඡා කිරීමටත් ගෝලීය ප්‍රජාව මෙතරම් උනන්දු වන්නේ ඇයි? වසර පුරා හටගත් සිදුවීම් ජාලයේ හා මෙවර මිසයිල අත්හදා බැලීමේ සිද්ධිය අතර පවතින වෙනස්කම කුමක්ද?

පසුගිය අගහරුවාදා උතුරු කොරියාව එරට යුද තාක්ෂණඥයන් විසින් නිර්මාණය කරන ලද 'හ්වාසොං - 14' නමැති මිසයිලය අත්හදා බැලීය. එය අන්තර් මහාද්වීපික බැලස්ටික වර්ගයේ මිසයිලයකි. එනම් එය දිගු-දුර මිසයිල ගණයට අයිති වන අවියකි. එය එක් මහද්විපයක සිට තවත් මහද්විපයක පිහිටි ඉලක්කයකට විදිය හැකි වේ. මිසයිලය ගමන් කරන්නේ බැලස්ටික තාක්ෂණය යොදාගනිමිනි. එනම් අභ්‍යවකාශයට රොකට්ටුවක් සේ විද ඉන් පසුව පෘථිවි ගුරුත්වාකර්ෂණය හා වායුගෝලිය ඝර්ෂණය යොදාගනිමින් ඉලක්කය කරා යොමුකිරීමේ මෙහෙයුම් ක්‍රමවේදය අනුගමනය කරන්නකි. කෘෘස් වර්ගයේ මිසයිලයක් මෙන් නොව බැලස්ටික මිසයිලයක් එහි සම්පුර්ණ ගමන පුරා පාලනය නොකෙරේ. එය රොකට්ටුවක තාක්ෂණය හා නිදැල්ලේ පහලට ඇදහැළීම යන සංසිද්ධින් යොදාගනිමින් පාලනය කරන්නකි. මිසයිලයේ දිග-පළල හා ඊට රැගෙන යා හැකි පුපුරන ද්‍රව්‍ය ප්‍රමාණය පිළිබඳ විස්තර මේ දක්වා සොයාගෙන නැත. සාමාන්‍යයෙන් බැලස්ටික මිසයිලයක් එහි පුපුරණ ද්‍රව්‍ය සහිත කොටස එනම් 'වෝ හෙඩ්' ලෙස හදුන්වනු ලබන ප්‍රහාරක කොටස විවිධ සංයුතින් සහිතව නිර්මානය කරයි. එහි එක් ප්‍රහාරක කොටසක් හෝ ඉලක්ක කිහිපයක් කරා යොමු කළ හැකි ප්‍රහාරක කොටස් කිහිපයක් සහිතව නිර්මාණය කෙරේ. ඊට සාම්ප්‍රදායික පුපුරන ද්‍රව්‍ය සහිතව හෝ න්‍යෂ්ටික බෝම්බයක් සහිතව හෝ වෝ හෙඩ් හෙවත් ප්‍රහාරක කොටස් එකක් හෝ ඊට වැඩි ගණනක් ඇතුළත් කරමින් නිර්මාණය කළ හැකි වේ. විශේෂත්වය නම් හ්වාසොං 14 උතුරු කොරියාව සතු වඩාත්ම දුරකට පහර දිය හැකි අවිය බවට පත්විමයි. එහි ගමන් දුර කිලෝමීටර 6000ත් - 8000ත් අතර වේ. සමස්ත ලෝකයම හ්වාසොං 14 මිසයිලය ගැන කතා කිරීමටද හේතුව වන්නේ එයයි. මෙහි විශේෂත්වය වන්නේ අමෙරිකා එක්සත් ජනපදයේ ඇලස්කා සහ හවායි දුපත් වැනි ප්‍රදේශ මේ දිගුදුර අවිය මගින් ඉලක්ක කරගැනිමට උතුරු කොරියාව සමත් වීමයි. කලින් එම හැකියාව පැවතුණේ සෝවියට් දේශයටයි. වත්මන් රුසියාව සතුවද අමෙරිකාවට පහරදිය හැකි ආකාරයේ මිසයිල වර්ග කිහිපයක් පවතී. එහෙත් අමෙරිකාවත් රුසියාවත් අන්‍යෝන්‍ය වශයෙන් අවි හරණ ගිවිසුවලට එළඹ ඇති නිසා එකිනෙකාට එරෙහිව එවැනි අවි භාවිත කිරිමේ වලංගුභාවයෙන් ඈත් වී තිබේ. ඒ නිසා රුසියාවෙන් එල්ල විය හැකි මිසයිල තර්ජන පිළිබදව කිසිවෙක් මේ අවස්ථාවේ කතා නොකරති. ඒත් උතුරු කොරියාව එසේ නොවේ. අමෙරිකාවට එල්ල කළ හැකි මිසයිලයක් තමන් සතු බව ලොවට පෙන්වා දීමට උතුරු කොරියානු නායක කිම් ජොං අන් මෙය අවස්ථාවක් කරගත්තේය. ඔහුගේ අන්තර්ජාතික සබඳතා රටාවේ විශේෂ ලක්ෂණයක් වන බලපෑම්කාරී තර්ජනාත්මක ක්‍රමවේදය වඩාත් ශක්තිමත්ව පවත්වාගෙන යාමට උතුරු කොරියානු නායකයාට මෙමඟින් අවස්ථාවක් ලැබී තිබේ. එය ඔහුගේ බලය ඉතා විශාල වශයෙන් වැඩිකරන්නකි. ලොව න්‍යෂ්ටික ප්‍රහාරක අවි සතු රටවල් අතර වඩාත් කැපි පෙනෙන ලෙස ඉස්මතු වීමටද හ්වාසොං 14 මිසයිලයේ සාර්ථක බව උපයෝගි කරගනිමින් උතුරු කොරියාව සමත් වී තිබේ. මෙය අංශ රැසකින් අවධානයට ලක් කළ යුතු තත්ත්වයකි. උතුරු කොරියාවේ නිරන්තර තර්ජනයට ලක්වන ජපානය හා දකුණු කොරියාව හැරුණුකොට තවත් රටවල් ගණනාවක් උතුරු කොරියාවේ ප්‍රහාරක ශක්තියේ බලපෑමට ලක් වන තත්ත්වයක් අන්තර්ජාතික වශයෙන් නිර්මාණය වී තිබේ.

මෙහිදි වඩාත්ම අවධානයට හා කතාබහට ලක් වන කරුණ නම් අමෙරිකාව මේ මිසයිලයේ ප්‍රහාරක වපසරියට ඇතුළත් වීමයි. එපමණක් නොව අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සිය සුප්‍රකට ට්විටර් ගිණුම මගින් පණිවිඩයක් නිකුත් කරමින් ප්‍රකාශ කර තිබුණේ උතුරු කොරියාවට කිසිවිටෙකත් අමෙරිකාව ඉලක්ක කරගැනිමට හැකි වන ආකාරයේ මිසයිල නිෂ්පාදනය කිරීමට ඉඩ නොලැබෙන බවයි. ඔහු ඉතා දැඩි හා උපහාසාත්මක ලෙස උතුරු කොරියානු මිසයිල තර්ජනය එදා ප්‍රතික්ෂේප කර තිබිණි. එහෙත් ඩොනල්ඩ් ට්‍රම්ප් බලයට පත් වු දා සිට ඔහු මුහුණ දී ඇති ඛේදනීය තත්ත්වය වන්නේ කළ කී බොහෝ දෑ ආපසු ඇදගැනීමට එසේත් නැත හොත් ආපසු වැමෑරීමට සිදු වීමයි. මෙයද එවැනි එක් අවස්ථාවකි. එමෙන්ම උතුරු කොරියාව අවතක්සේරු කිරීම නිසා දේශිය වශයෙන් මෙන්ම අන්තර්ජාතික වශයෙන්ද අර්බුදකාරි තත්ත්වයකට මුහුණ දීමට ඔහුට සිදුව තිබේ. එමෙන්ම මෙය ට්‍රම්ප්ගේ ප්‍රතිරූපය ඉතා බරපතළ වශයෙන් ගරාවැටෙන තත්ත්වයකට පත් කළ එක් අවස්ථාවකි.

නව මිසයිල ප්‍රහාරක ශක්තියත් සමඟ උතුරු කොරියාව සමග ගනුදෙනු කිරීමේ ක්‍රමවේදය යථාවක් කිරීමේ අභියෝගය අමෙරිකාව පමණක් නොව සෙසු බලවත් රටවල්ද මුහුණ පා ඇති ගැටලුවකි. මිසයිල අත්හදාබැලීම සාර්ථක බව සැල වීමෙන් මඳ වේලාවකට පසු ඩොනල්ඩ් ට්‍රම්ප් ජනාධිපතිවරයා නැවතත් තම ට්විටර් ගිණුම උපයෝගි කරගනිමින් උතුරු කොරියානු මිසයිල අත්හදාබැලීම පිළිබඳව ප්‍රතිචාර දැක්වීය. එය තර්ජනාත්මක පණිවිඩයකි. ඉන් කියැවෙන්නේ උතුරු කොරියාව සම්බන්ධයෙන් ඉතා බරපතළ ප්‍රතිචාර දැක්වීමේ ක්‍රමවේදයක් ගැන තමා සැලසුම් සකසමින් සිටින බවයි. උතුරු කොරියාව ඉතා දැඩි තර්ජනාත්මක ස්වරූපයෙන් හැසිරෙන බවත් ඒ සම්බන්ධයෙන් යමක් කිරීමට තමන්ට සිදු වන බවත් ට්‍රම්ප් ප්‍රකාශ කර තිබේ. එම පණිවිඩය මගින් ට්‍රම්ප් නැවතත් සිහිපත් කරන්නේ අන්තර්ජාතික වශයෙන් සාමුහික ක්‍රියාමාර්ගයක් උතුරු කොරියාවට එරෙහිව අනුගමනය කිරිමේ අවශ්‍යතාව ඉතා දැඩි ලෙස ඉස්මතුවී ඇති බවයි. අනෙක් අතට උතුරු කොරියාව රටක් වශයෙන් පවත්වාගෙන යන හුදෙකලාවාදි ප්‍රතිපත්තිය හා ස්වයංපෝෂිත ආර්ථිකය පදනම් කරගනිමින් එක්සත් ජාතීන්ගේ සම්බාධක දැඩි කිරීම වැනි රාජ්‍යතාන්ත්‍රික දඬුවම් ක්‍රියාමාර්ග මඟින් උතුරු කොරියාවට දැනෙන ආකාරයේ යමක් කිරීමට අන්තර්ජාතික ප්‍රජාව මේ දක්වා සමත් වී නැති බව තහවුරු වී තිබේ. එමෙන්ම මේ අර්බුදකාරී තත්ත්වයට විසඳුම් වශයෙන් පවතින්නේ ඉතා සංකීර්ණ විකල්ප කිහිපයක් පමණි.

පළමුව නැවතත් උතුරු කොරියාව න්‍යෂ්ටික වැඩපිළිවෙළ අත්හැරීමේ සාකච්ඡා සඳහා යොමු කරගැනීමයි. එහෙත් ඉතිහාසය පුරාම එය අසාර්ථක වූ ක්‍රියාවලියකි. දෙවැන්න උතුරු කොරියාවේ ප්‍රධානතම අන්තර්ජාතික සබඳතා පවත්වන්නා වන චීනය යොදාගනිමින් උතුරු කොරියාවට දැනෙන ආකාරයේ බලපෑමක් කිරීමයි. බැලස්ටික මිසයිල අත්හදාබැලීම සිදු වන විට චීන ජනාධිපති ෂී ජින් පිං රුසියාවේ රාජ්‍ය චාරිකාවක යෙදෙමින් සිටියේය. එහිදි චීන නායකයා රුසියානු ජනාධිපති ව්ලැදිමිර් පුටින් සමග එක්ව උතුරු කොරියානු ක්‍රියාමාර්ගය හෙළා දකිමින් ප්‍රකාශයක් නිකුත් කළේය. කිම් ජොං අන්ගේ පාලනය යටතේ වඩාත් අත්තනෝමතිකව හැසිරෙන උතුරු කොරියාව මට්ටු කිරිම සදහා චීනය මෑතදි ක්‍රියාමාර්ග කිහිපයක් ගෙන තිබිණ. ඒ අතරින් වඩාත්ම දැනෙන ආකාරයේ ක්‍රියාමාර්ගය උතුරු කොරියාවෙන් ගල් අඟුරු මිලදි ගැනිම සීමා කිරිමයි. එය උතුරු කොරියාවේ දෝෂ දර්ශනයටද පාත්‍ර වී තිබිණ. එහෙත් උතුරු කොරියාව කිසිදු අතකින් අස්ථාවර වනු දැකීම චීනයේ අභිලාශය නොවේ. තම එළිපත්තේ අස්ථාවර හා එදිරිවාදි රාජ්‍යයක් නිර්මාණය කරගැනීමට චීනයට කිසිදු අවශ්‍යතාවක් නැත.

අමෙරිකාව මෙහිදී මුහුණ දෙන ප්‍රශ්න කිහිපයකි. පළමුවැන්න: උතුරු කොරියාවෙන් එල්ල විය හැකි මිසයිල තර්ජනයකට මුහුණ දීමට තම මිසයිල ආරක්ෂණ පද්ධතිය ශක්තිමත්ද යන්නයි. දෙවැන්න: උතුරු කොරියාවට එරෙහිව අන්තර්ජාතික යුද ක්‍රියාමාර්ගයක් අනුගමනය කිරිමට කිසිදු ඉඩකඩක් නැති විමයි. එවැනි යුදමය තත්ත්වයක් ඇති වුව හොත් කොරියානු වැසියන් ලක්ෂ ගණනක් මිය යෑමේ අවදානමක් පවතී. අනෙක් අතට උතුරු කොරියාවේ පාලන වෙනසක් සදහා රහසිගත මෙහෙයුමකටද එම භුමිය මත කිසිදු ඉඩප්‍රස්තාවක් පෙන්නුම් නොකෙරේ. මේ නිසා අමෙරිකාව උතුරු කොරියානු ප්‍රශ්නයේදී බරපතළ අභියෝගවලට මුහුණ දෙයි.

ප්‍රශ්නයට විසදුමක් ලෙස බොහෝ අන්තර්ජාතික සබඳතා පිළිබඳ විශේෂඥයන් දකින්නේ උතුරු කොරියාව සමඟ සංහිඳියාව හා අන්තර්ජාතික බලපෑම් සහිත මිශ්‍ර ක්‍රියාමාර්ගයක් අනුගමනය කළ යුතු බවයි. එළඹෙන ජී 20 රාජ්‍ය නායක සමුළුවේදීද මේ පිළිබඳ රාජ්‍ය නායකයන් අතර පුළුල් සංවාදයක් ඇති වනු නියතය.

ප්‍රසාද් කෞශල්‍ය දොඩන්ගොඩගේ 

Comments